Showing posts with label කම්පන. Show all posts
Showing posts with label කම්පන. Show all posts

Saturday, February 23, 2013

"වෙන කිසිවක්ම නොලියමි"

බාලචන්ද්‍ර වත කමලේ අවිහිංසක රුව               දු‍ටුවම
ගිනි දහසක් නැගුනේ හද මවකගෙ හිත ලැබුනු      පවට?
මපුතුගෙ රුව නුඹේ රුවෙන් වෙනසක් නොදැනුනේ කිමද?
නුඹත් පුතෙකි මිනිස් කුලේ මනුසත් බව ලැබූ       පිනට


යුද්ධයට අප දෙන කවර හේතුවක් වුනත් අවසාන විග්‍රහයේදී අතිශයින්ම අසාධාරණයි. ජාති කුල මල ආගම් ආදී මෙකී නොකී හැම කො‍ටු පවුරකටම ඉහලින් මිනිස් වග නැගී සිටින්නේ කවදාද?

වෙන කිසිවක්ම නොලියමි.

Sunday, December 30, 2012

"ඇය මිලින විය"

ස්ත්‍රිත්වය යදින්නේ ආදරය සහ ආරක්ෂාවය. ඇයට ආදරයද, ආරක්ෂාවද සපයන ඔබේ පෞර්ෂත්වය වන්දනීය වේ.
භාරත දියණියකවූ ඇය සමූහ දූෂණයකට ලක්ව මිලින විය. ඉන්දීය මෙන්ම සිංගප්පූරු වෛද්‍යවරුන්ගේ ඉමහත් උත්සාහයට පවා ඇගේ අවයව වලට සිදුව ඇති හානියට පිළියම් යෙදිය නොහැකි විය. අඳුරු ‍රැයක දිල්ලි නගරයේ බස් රථයක සය දෙනෙකු විසින් ඇගේ සිරුර අනුකම්පා විරහිත ලෙස ඔවුන් අත පත් කෙළිබඩුවක්සේ ගෙන අවසන මහමඟට විසි කොට ඇත. ඒ ඉවත විසි වුණේ ස්ත්‍රිත්වයයි. ඔවුන්ටද උපත දුන් මාතෘත්වයයි.
ගෝත්‍රික සමාජයන්හිදී පවා පුරුෂයන්, ස්ත්‍රින් සහ දරුවන්ගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වූහ. ඔවුහු ඊට මුල් තැනක් දුන් බැවින් දඩයමේ යනවිට තමන් අයත් සමූහයේ සිටි අයගෙන් කෙනෙක් ඒ සඳහා යෙදවීමට වග බලා ගත්හ.
ඒ භාරත දියණියකගේ කතාවයි. අද අප සිටිනුයේ කොතනද? මේ භාරත දියණියගේ කතාව ලොව පුරා අන්තර් ජාල පි‍ටුවල සටහන් වෙද්දී එක් තැනක දකුණේ මින් වසරකට පෙර බ්‍රිතාන්‍ය ජාතික යුවතියක දුෂණය වීමේ සිදුවීමද සටහන් කොට තිබිණි. එහෙත් සටහන් නොවූදේ කොපමණද? කොටකෙතනින් පටන් ගෙන පසුගිය කාල සීමාව තුළ අසන්නට ලැබුණ බාලාපචාර සිදුවීම් සියල්ල එක පෙළට සි‍ටුවනු ලැබුවහොත් අපේ සමාජය කෙතරම් ආරක්ෂාකාරිද යන වග වැටහෙනු ඇත. එය එසේ නොවන බව ඔබ සිතන්නේ නම් ස්ත්‍රී වෙස් ගෙන බස් රථයක කීපදිනක් ගමන් කොට බලන්න.
මේ සියල්ල සිදුවන්නේ සුළු පිරිසක් අතිනි. එහෙත් මේ සුළු පිරිසට මෙවන් හැසිරීමකට ඉඩ දී නිශ්ශබ්දව සිටින්නේ ඔබම නොවේද? මුලු මහත් සමාජ දේහයම කුණුව ගිය කළ එක් තැනක් නිවැරදි කළ නොහැකි බව ඔබේ පිළිතුර වනු ඇත. එහෙත් ඉන් ස්ත්‍රීන් සහ දරුවන් ආරක්ෂා කිරීමේ පිරිමියෙකු සතු ඔබේ වගකීමෙන් ඔබට මිදිය නොහැක.
මේ සටහනේ ඇති පින්තූරය දෙස බලන්න.ඔවුහු සැබැවින්ම දුක් වෙති. මේ මුහුණු කියාපාන්නේ ඔවුන් අතින් ඔවුන් සතු වගකීමක් ගිලිහී ගොස් ඇති බවක් නොවේද?
ස්ත්‍රිත්වය යදින්නේ ආදරය සහ ආරක්ෂාවය. ඇයට ආදරයද, ආරක්ෂාවද සපයන ඔබේ පෞර්ෂත්වය වන්දනීය වේ.

Monday, October 29, 2012

"෴කර්ම෴ කියැවීම"

කර්ම.... ජීවිතයේ සිදුවීම් අපටද නොදැනී අප ලුහුබැඳ එයි. අපේ මනස තුල යටපත්ව ඇති අපට අමතක ඒ සිදුවීම් අපව මෙහෙයවයි. ප්‍රසන්න ජයකොඩිගේ "කර්ම" පිළිබඳ මගේ කියවීම එයයි. සිනමා පටය මා තේරුම් ගැනීමට යොමුකළේ එහි තිබූ රූපරාමු දෙකක් තුලිනි. මුලු සිනමා පටයේම වඩා වැදගත් රූප රාමු දෙක එයයැයි මට සිතුනි. ඒ අතදරුවෙකු ලෙස මවගේ තුරුලේ ඔහු කිරි උරා බොන විට ඔහුගේ පියා පැමිණ මව අමතමින් මහ හඬින් දොරට දොරට ගසන විට මව වහා ඔහු ඇකයෙන් ඉවත් කිරීම නිසා ඔහු වේදනාවෙන් හඬන දසුනත් සිනමා පටයේ අවසාන දර්ශන පෙල අතර ඇති ළැම නිරුවත් ඇගේ උකුළ මත ඔහු කුඩා දරුවෙකු මෙන් නිදන දසුනත්ය. 
හුස්ම ... එය ජීවිතයයි. සිනමා පටය පුරා තදින් හුස්ම ගන්නා හඬ අවස්ථානුරූපීව ඇසේ. හුස්ම ගනිමින් හඬමින් අපි ජීවිතයට එමු. අපේ හැම ක්‍රියාවකදීම එම හුස්ම ගැනීමේ වේගය අඩු වැඩි වෙයි. කෝපයේදීද, සතුටේදීද, ලිංගික ක්‍රියාවේදීද අවසන ජීවිතයෙන් බැහැරව යන විටදීද හුස්ම වල රිද්මය වෙනස් වෙයි. ඒ රිද්මය, ඒ වෙනස අප තේරුම් ගන්නේ කෙසේද? එය ජීවිතයයි. ඔහුට එම වේගවත් හුස්ම වැටීම ඇසුනේ මවගේ තුරුලෙන් ඉවතට විසිවී වේදනාකාරී හඬා වැටීම අතරේය. එබැවින් එම හුස්ම වැටීම ඔහුට වේදනාවක් සේම කුතුහලයකි. පියා සමග ඇති නොපහන් බව මේ හුස්ම වැටීම හා සම්බන්ධය. මවගේ අවසාන මොහොතේ ඇයගේ තදබල අවසන් හුස්ම ගැනීම දෙස ඔහු ඇස් හැර බැලීමට හෝ අකැමැතිය. යාබද නිවසේ ඇසෙන හුස්ම ගැනීම් ඔහු කළඹන්නේ මේ ඔහු මනස තුල තැන්පත් සිදුවීම් නිසාය. එහෙත් අවසන ඇය තුලින් ඔහු නැවත ඉපදෙයි. ඔහු තුලවූ ඔහු කළඹන "කර්මය්" නිවී යයි.
සිනමා පටයේ රූපරාමු චලනය වීමේ සහ සංගීතය මුසුවීමේ නොගැලපීම් මට දැනුනද අනිකුත් සිනමා පට හා සැසඳීමේදී ප්‍රසන්නගේ ප්‍රයත්නය අගය කළ හැක්කකි. සමහරවිට මට නොතේරුනද එසේ රූපරාමු චලනයෙන් සහ සංගීතය මුසු කිරීමෙන් ඔහු වෙනත් යමක් අපේක්ෂා කළාදැයි නොදනිමි. මගේ අත්දැකීම් වලට අනුව මෙවන් සිනමා පට තේරුම් ගැනීමට ඒවා කිහිප වරක් නැරඹිය යුතුය.
මෑත දිනක අශෝක හඳගමගේගේ "විදූ" රූපවාහිනියේ ප්‍රචාරය විය. අහම්බෙන් මට එහි අවසාන කොටස නැවත නැරඹීමට හැකිවිය. විදූ නොනැවතී දිව එයි. පාසැලේ තාප්පයට නැගී අපහසුවෙන් වේදිකාවට ගොඩ වීමට උත්සාහ කරන දසුන අස්සේ මට එය මින් පෙර නරඹන විට නොදු‍ටු දෙයක් දිස්වුනි. ඒ එම පාසැලේ නම වන "කන්නන්ගර විදුහල" යි. කන්නන්ගර විදුහල්වල සිටි දේශපාලකයන් ලඟ නොනැමෙන ප්‍රතාපවත් විදුහල් පතිවරුද, නොනැවතී දිව එමින් කන්නන්ගර විදුහල් වල උස් තාප්පයෙන් නැගී සමාජ වේදිකාවට ගොඩ වන හති වැ‍ටුන විදූ නම්වූ කන්නන්ගර දරුවන්ද ඒ එක රූපරාමුව ඔස්සේ මසිතට පැමිණිනි.
මෙපරිදිම "කර්ම" දෙස ඉවසිල්ලෙන් සිදුවන්නේ කුමක්දැයි බලා සිටි මට කම්පනයක් ඇති කරමින් මා ඉහත සඳහන් කළ රූප රාමු දෙක අවසන දක්නට ලැබිනි. ඒ මා "කර්ම" කියවූ අන්දමයි. ඔබේ කියවීම මීට වෙනස් විය හැක.
"කර්ම" මීට වඩා වෙනස් ලෙස කියවූ කෙනෙක්ද එදා මට දක්නට ලැබිණි. පන් මල්ලක් ‍රැගෙන සුදු ජාතික ඇඳුමකින් සැරසී ගත් වයස හැත්තෑවක පමණ උපාසක මහතෙකි ඒ. බුදුන් වදාළ "කර්මය" කියවීමට පැමිණ සිටි, අප සිටි අසුන් පෙළෙහිම වාඩිවී සිටි ඔහු, ප්‍රසන්න ජයකොඩිගේ "කර්ම" දෙස් දෙවොල් තබමින් කියැවූ අයුරු නම් අපූරුය.

Saturday, October 27, 2012

"දියණියේ ඔබටයි"

මේ සටහන මා තැබිය යුතුව තිබුනේ මීට කලිනි. එහෙත්.... ඔබ මසිතට ඇතුල් කළ හැඟීම් ගැන මට මෙන්ම, මේ සටහන කියවන අන් අයටද නැවත සිතන්නට ප්‍රවෘත්තියේ උණුසුම නිමාව යමින් ඇති මේ මොහොත තෙක් පමා වන්නට මට සිදුවිය. ඔබ දිරිය දියණියකි. එමෙන්ම සාම්ප්‍රදායික හැඳිමිටේ මිනුම ඔබට අදාල කළ නොහැකි බව ඔබ පසක් කොට ඇත. නමුත් ඉදිරියේ ඔබ යායුතු මග එතරම් පහසු නොවන බව මම ඉඳුරා දනිමි. ඊට එක් හේතුවක් වන්නේ ඔබ ඉපදුන, දැනටද ජීවත්වන, ඔබ දැනුම සොයා යන පරිසරය මාද හඳුනන බැවිනි.
ඔබ ඉපදී හැදුන වැඩුන මහමැදගම දුෂ්කර ගම්මානය මීට වසර බොහෝ ගනනකට පෙර මා එදා දු‍ටු ගම හා සිතින් සසඳමි. මගේ මවගේ අතේ එල්ලී මුලින්ම අකුරු කරන්නට පළමුවන පන්තියට මා ගියේ මහමැදගම ප්‍රාථමික පාසලටය. මගේ මවට ඇගේ මුල්ම ගුරු පත්වීම ලැබුනේද මේ කුඩා පාසැලටය. එදාද ඒ කුඩා පාසැලට යන්නට බස් තිබුනේ නැත. ආවෝ ගියෝ දෙපයට පින් දුන්හ. එහෙත් එදා ඒ කුඩා පාසැලේ ළමුන් බොහෝ සංඛ්‍යාවක් ඉගෙනුම ලැබූ බව මට මතකය. විවේක කාලයේ බනිසුත් සමග ලොකු කිරි ජෝගුවක් බොන්නට ලැබුන බැවින් කුසගිනි මතින් මිදී ඒ දුෂ්කර ගමේ ළමුන් වැඩි කොටසකට තම ගමේම පිහිටි පාසැලෙන් අධ්‍යාපනය ලැබීමේ වරම හිමිව තිබිනි. ඉහල පන්තියක ළමුන් කිහිප දෙනෙක් බනිස් සමග අමු මිරිස් කනු දැක මට මෙන්ම නංගීටද එසේ කෑමට ආසා සිතී එසේ කෑමෙන් අනතුරුව පාසැල දෙවනත් වෙන්නට හැඬූ අයුරුද මතකයන් අතර ‍රැඳී ඇත. එදා ඒ තත්වයේ තිබූ ඔබේ ගමේ පාසැලට නොගොස් උදේ පහට අවදිව දුර කතර ගෙවා පුංචි ඔබට තලාතුඔය ප්‍රාථමික විදුහලට එන්නට සිදුවූයේ ඇයි?  අද එම මහමැදගම ප්‍රාථමික පාසැල කුමන තත්වයක ඇතිදැයි මට සිතේ. මෙතරම් කාලයක් ගතවුන පසුවත් එවැනි කුඩා පාසැල් තිබුන තත්වයෙනුත් පහලට ඇද වැටෙන්නේ කාගේ වරදින්ද? අප ජාතියක් ලෙස ගමන් කරන්නේ ආපස්සටද?
දියණියනි... ඔබ දැනට ඉගෙනුම ලබන තලාතුඔය ප්‍රාථමික විදුහල මගේ දෙවන පාසැලයි. එය තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයයි. කලක් මෙරට උගතුන් වියතුන් බිහි කිරීමට රට පුරා පිහිටි මධ්‍ය මහා විද්‍යාල වැඩි දායකත්වයක් සපයනු ලැබුනි. මෙකල රටේ කියැවෙන පළමු පෙල පාසැල් වලට නොදෙවෙනි ලෙස කරට කර සිටින්නට කලක් මේ මධ්‍ය මහා විද්‍යාල සමත්ව සිටියහ. එහෙත් ..... තවමත් තලාතුඔය ප්‍රාථමික විදුහල එදා මා දු‍ටු විදුහලට වඩා පහසුකම් අතින් වැඩි ප්‍රගතියක් අත් කරගෙන නැත. තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිය පහව ගොසිනි. ගතව ගිය වසර ගනනාව තුල මේ විදුහල් නිසි පරිදි ‍රැක බලා ගැනුනා නම් අද ඒවාද සුපිරි හෝ සපිරි පාසැල්ය. දියණියෙනි........ එය එසේ වූවා නම් ඔබට හෙට දවසේ තව දුර ගෙවා මහනුවර සුපිරි පාසැල් කරා යන දුෂ්කර ගමනේ නොයෙදී යම් තරමක හෝ පහසුවකින් ඉගෙන ගන්නට ඉඩ තිබිනි. ඔබට පමණක් නොව තලාතුඔය කේන්ද්‍ර කර පිහිටා ඇති අනිකුත් සියලු දුෂ්කර ගම්මාන වල ළමුන්ට  එමඟින් වෙහෙසකින් සහ පීඩනයෙන් තොර අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩ තිබිනි. තලාතුඔය ප්‍රාථමික විදුහලට පැමිණ හවස පහට ගෙදර යන ඔබ මහනුවරට පැමිණ ගෙදර යන්නේ හවස හතටද? ඔබ වැනි දරුවන්ට මේ තත්වය උදා කළ වරදට වැඩිහිටි අප සියල්ලම වග කිවයුතු නොවේද?
ලංකාවේ පළමු වෙනියා වූවාට කොළඹ විශාකා විද්‍යාලය ‍තෝරා නොගැනීමට තරම් ඔබ අදුරදර්ශී නොවීම ගැන මම සතු‍ටු වෙමි. ගමේ කඳු හෙල් අතර හැදුන වැඩුන ඔබට,  ඉසිඹුවක් නැති ඔබට නොගැලපෙන කොළඹ පරිසරය ඔබට මිතුරු නොව සතුරු වනු නො අනුමානය. කොළඹ ළමුන් හා එක පෙලට ගැටී අකුරු කරන්නට යන ඔබට ඔබේ බුද්ධියේ හැකියාව නොව ආර්ථිකයේ නොහැකියාව පීඩා කරනු ඇත.
තලාතුඔය ප්‍රාථමික විදුහලෙන් පසු මා ඉගෙනුම ලැබූවේ ගම්පොළ ගඟසිරිපුර ප්‍රාථමික විදුහලෙනි. මමද ඔබ මෙන්ම එකල ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වීමි. නමුත් ඔබ මෙන් පළමුවෙනියාව නොවේ. කොළඹ විශාකා විද්‍යාලයට තේරී එක් දිනක් එම පාසැලට ගොස් බොහෝ කරදර විඳ මහනුවර විදුහලකට මා නැවත ඇතුල් කරන්නට මගේ දෙමව්පියන්ද කටයුතු කළේ නුපුරුදු පීඩාකාරී පරිසරය මගේ ඉගෙනුමට තිත තබනු ඇතැයි බියක් ඔවුන් තුල හටගත් බැවිනි. ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගය නොවුන එකල නිදහසේ අකුරු කරන්නට මෙන්ම කඳු හෙල් තුල ඇවිද පරිසරය විඳින්නටද, ඇති තරම් සෙල්ලම් කරන්නටද හැකි සුන්දර ළමා කාලයක් ලැබී තිබිනි. ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගය වීමට එක් හේතුවක්වී ඇත්තේ මේ සුපිරි පාසැල් පොරයයි. පළාත්බද පාසැල්වල පහසුකම් වැඩි දියුණුකොට දක්ෂ ගුරුවරුන් අනුයුක්ත කෙරේ නම් ශිෂ්‍යත්ව විභාග පීඩනය දරුවන්ගෙන් තුරන් වනු ඇත. ප්‍රාථමික අධ්‍යාපනය සකස් විය යුත්තේ දරුවන්ගේ සහජ කුසලතා වැඩි දියුණු වන ආකාරයෙන් මිස ඔවුන් රොබෝ වරුන් කිරීමේ අරමුණෙන් නොවේ. පස්වන පන්තිය දක්වා අධ්‍යාපනය සකස් විය යුත්තේ පරිසරය හා අනුබද්ධව අනාගත ජීවිතයේ අඩිතාලම මැනැවින් සකස් කෙරෙන විනය ගරුක පුරවැසියෙකු බිහි කෙරෙන ආකාරයටය. එසේ නොමැතිව කට පාඩම් කරන රොබෝවරුන් හදා ඒ අය පාලනයට කර්නල්ලා පත් කිරීම විසඳුමක් යැයි සිතමුද? සරසවි වලට පිවිසෙන්නේද විභාග පීඩනයෙන් වසර දොලහක් දහතුනක් මනස ඔද්දල් කරගත් වැඩි පිරිසක් විනා අලුත් ඇසකින් ලොව දකින්නට සමත් නිදහස් මනසක් ඇතියවුන් නොවේ. එහි වරද එම ළමුන්ගේ නොව රොබෝවරුන් බිහි කරන මෙම ක්‍රමයේ වරදය.
දියණියෙනි........ ඔබ යායුතු මග දුෂ්කරය. එහෙත් එය කළ නොහැක්කක් නොවේ. නිසි ලෙස අකුරු කරන්න. ඔබේ පරිසරය, මිනිස්කම අමතක නොකරන්න. අධ්‍යාපනය ජීවිතය නොව ජීවිතය අධ්‍යාපනය බව සිතන්න. මම නැවත ඔබට කියමි. සියලු අපහසුකම් අභිභවා හිනැහෙන ඔබ දිරිය දියණියකි.

Thursday, September 27, 2012

"Yes Sir"

ඒ අපේ සමාජය මෙතෙක් ගමන් කළ විදියයි. හරි හෝ වැරදි වේවා සියල්ලටම Yes Sir කියා නිහඬ වීම හෝ තමන් දරනා මතය  අවශ්‍ය අවස්ථාවේ කෙළින්ම නොපවසා තැන තැන මුමුණමින් විරුද්ධ අදහස් පල කිරීම තවමත් අපේ බොහෝ දෙනෙකු වඩා කැමති ආකාරයයි. සමහරවිට එය අපේ සංස්කෘතියට අනුකූලව අප ලද යමක් විය හැක (???). ඊට එක් හේතුවක් ලෙස මා දකින්නේ බටහිර රටවල් මේ තත්වයෙන් විතැන්ව ඇති නිසාය. ඔවුහු අනිකා කැමති වුවත් නැතත් තමන් දරන අදහස එළිපිට ප්‍රකාශ කරති. අකැමැති දේට තම අකැමැත්ත ප්‍රශ්නය පැන නැගුණ අවස්ථාවේම ප්‍රකාශ කරති. එහෙයින් ප්‍රශ්න ඔඩු දුවන්නට පෙර සංවාද විවාද මගින් ඒවා සමනය වනු දැකිය හැක.
එහෙත් අපි No Sir කියන්නට පැකිලෙමු. දිගු කලක් No Sir යැයි අසා නොමැති ඔවුහුද අපෙන් Yes Sir පිළිතුරම බලාපොරොත්තු වෙති. එහෙයින්ම තමන් කැමති දෙයක් තමන් රිසි ආකාරයට කිරීමට තමන්ට හැකි යැයි ඔවුහු සිතති. ඒ අනුව ක්‍රියා කරති. No Sir යැයි අහම්බෙන් හෝ ඇසුණ කල කිපෙති. මේ Yes Sir පිළිතුරු අපේක්ෂාව සමාජයේ පහළ සිට ඉහළ දක්වා ගමන් කොට ඔඩු දුවා අවසන්ය. දැන්වත් අපි No Sir යැයි සාමූහිකව හෝ කියන්නට උගත යුතු නොවේද?.

Monday, September 24, 2012

"හන්තාන අඳුරුය"

පරිසරය අඳුරුය. පාලු මං පෙත් දිග ඇවිද යමි. හන්තාන කඳු පෙළ මත අඳුරු වලාකුල් පතිතව ඇති සෙයකි. තාරුණ්‍යයේ  අයිතිය හිමි මේ බිම පිරී ඉතිරුන සිනාවන් වියැකී ගොසිනි. එහෙත් ඊයේ මෙන් අදද, හෙටද ජාතියක පෙර ගමන වෙනුවෙන් ඔවුන් කැප වෙනු ඇත. නන්දා මාලනියගේ සිහින් හඬ මට ඇසේ.

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු, සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ

කුසින් අඩක් දළ අහරින් සතපා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උනුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

හන්තාන අඩවියේ ....................




Thursday, September 20, 2012

"බුදිද බං???"


කෝ මේ සිංහයෝ
උන් බුදිද බං ?

නැත්නම් ඉන්නෙ 
තැන තැන මුමුනන
හිවල්ලුම විතරක්ද ?

මුසා බස් දොඩමින් 
කවටයින් සේ රඟන
කේවට්ටයන්ගෙ මුව
වසුරු අහුරක් ලන්න
අනේ එක සිංහයෙක්
බේතකටවත් නැද්ද?

Tuesday, July 24, 2012

"අවසානය අත ලඟද?"

මුරුගසන් වරුසාව වැටෙනවා
උනුන් කා කොටා ගෙන මියෙනවා

නොදරුවන් නොහඳුනන
තිරිසනුන් සේ බමන
විපරීත කාලයක
ලකුනු දස අත පෙනෙයි

අධර්මය රජ කරන
පාපතරයන් සරන
විකල් ලොව නුදුරෙහිම
නිමාවක් දකින්නෙද?

මුරුගසන් වරුසාව වැටෙනවා
උනුන් කා කොටා ගෙන මියෙනවා

Monday, February 28, 2011

"සිංහයා සමග වාසය"

ඊයෙ පෙරේදා පුවත් පතක දකින්න ලැබුන ප්‍රවෘත්තියක් වුනේ මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම 46% කින් වැඩි වෙලා කියල. රටේ ආර්ථිකය ගැන හිතන කොට සතු‍ටුදායක ආරංචියක් වුනත් මට ඒ එක්කම මීට වසර කිහිපයකට කලින් මුහුන දෙන්න වුන සිදුවීමක් සිහියට ආවා . එය පෞද්ගලික සිදුවීමක් වුනත් රටක් වශයෙන් හිතන කොට එහි යම් වැදගත් කමක් ඇතැයි මට සිතෙනවා.
අධ්‍යාපන කටයුතු සඳහා මා ජර්මනියේ සිටි කාලයේ දැන හඳුනා ගත් ජර්මන් යුවලක් වසර දෙක තුනකට පෙර සංචාරකයන් සමූහයක් සමග ලංකාවට පැමිණියා.  ජර්මනියේ ඔවුන් පැමිණි සංචාරක ආයතනයට සම්බන්ධ ලංකාවේ සංචාරක ආයතනයක් මගින් සැපයූ සංචාරක මග පෙන්වන්නෙක් සමග ඔවුන් රට තුල බොහෝ තැක් දැක බලා ගෙන එක් දිනක් මා හමුවීමටද පැමිණියා. ලංකාවට ආවේනික ආහාර රස බලමින්, පැරණි මතකයන් සිහි ගන්වමින් හා විශේෂයෙන් අපේ මිනිසුන්ගේ මුව මත නිතර ‍රැඳී ඇති සිනහව අගයමින් එදා ඔවුන් බොහෝ සතු‍ටු වුනා. එහෙත් හදිසියේ සිමොන් මහතාට යමක් මතක්වී සිනාසෙන්නට වුනා. දෙරටක සංස්කෘතීන් දෙකකට අයත් වුවත් මිතුරන් ලෙස අපට ඒ සීමාවන්ගෙන් මිදී බොහෝදේ කතා කළ හැකිව තිබුනා. සිනහවට කරුන විමසන විට ඔහු මගෙන් විමසුවේ මෙවන් දෙයක්.
"සංචාරක මග පෙන්වන්නා කී පරිදි සිංහල ජාතිය ඇතිවුනේ සිංහයෙක් සමග සහ වාසය කළ කුමරියකගෙන් උපන්නෙක්ගෙන් බව කියන්නේ ඇත්තද?"
තිරිසන් සතෙක් සමග සහවාසයෙන් උපන් මිනිසෙක්? ..........   ජීව විද්‍යාත්මකව හෝ මෙය පිළිගත හැකි දෙයක්ද? සිතට නැගුන ප්‍රශ්න වැලක්ද සමග  මම පිළිතුරක් නැතිව  මොහොතකට ගොලුව ගියා.
"නැහැ ඔහු සිංහයෙක් නෙවෙයි. සිංහ වංශික මිනිසෙක්"  
වහා කල්පනා කළ මා එවන් පිළිතුරක් දුන්නා.
"සංචාරක මග පෙන්වන්නා කිව්දේ වැරදි නම්  ඔබලාගේ කොඩියේ සිංහයෙක් සිටින්නේ වෙනත් කරුණක් නිසාද?"
ඇත්තෙන්ම එයටද මා එවේලේ සිතට නැගුන කිසියම් පිළිතුරක් දුන් බව මතකය. අපද කුඩා කළ සිට උගත් මේ සිංහ කතාව තවමත් ඒ අයුරින්ම පරපුරෙන් පරපුරට යනු මිස එය විය හැක්කක්ද නැද්ද යන්න කවරෙකු හෝ ප්‍රශ්න කර ඇද්ද?. ලැජ්ජාවට කරුන නම් මටද ඒ විදේශිකයා සිනාසෙමින් එම ප්‍රශ්නය නගන තුරු එහි පැවතුන විසුළු බව තේරුම් නොයාමය. තවමත් අප ජාතියක් වශයෙන් පරපුරෙන් පරපුරට පැමිණි මේ ඉතිහාස කතාවේ අගමුල නොවිසමින් මතු පරපුරටද දායාද කරමු. එපමනක් නොව රට නියෝජනය කිරීමේ අවස්ථාවන්ටද මහත් ආඩම්බරයෙන් ඉදිරිපත් කරමු. මෑතකදී පැවති ලෝක කුසලාන ක්‍රිකට්  සමාරම්භක උළෙලටද මෙය ඉදිරිපත් කොට තිබෙනු දැක මට නැවත මගේ විදේශික මිතුරාගේ සිනාව දෙසවන් තුල දෙදරමින් ඇසෙන්නට විය. පැරණි හිතළු කතාවලින් මිදී රටේ සියළු ජාතීන් නියෝජනය වන පරිදි රටක් නියෝජනය කළයුත්තේ කෙසේදැයි දැන්වත් අපට අළුතින් සිතන්නට නොහැකිද?

Monday, May 31, 2010

පියවරු කොහිද



අසූචි වලක හිනැහෙන මේ       දරුවන්නේ
ඉරණම මෙලෙස ලිව්වේ ඇයි    දෙවිඳුන්නේ
මහමෙරකට උසලු දරු පෙම      පියවරුනේ
පියවරු කොහිද අම්මේ මේ       දරුවන්නේ

දවසින් දවස අසන්නට ලැබෙන්නේ ගඟකට දැමූ, අසූචි වලකට වීසි කල, කසල ගොඩකට වීසිකල දරුවන්ගේ කතාය. මේ කතා වල පසු බිම තවත් බොහෝ කතා තිබෙන්නට පුළුවන. ඒ අතර දරිද්‍රතාවයද, නූගත්කමද, පියෙකු නැති දරුවෙකුට මවක වීමට නොහැකි ලංකාවේ සංස්කෘතික පසුබිමද තිබුනා වන්නට ඇත. එහෙත් මෙවන් තත්වයකට පත් නොවීමට ස්ත්‍රියකගේ වගකීම එක් පසෙක තිබෙනු මෙන්ම ඊට වගකිවයුතු තවත් පාර්ශ්වයක්ද තිබෙන බව අපට බොහෝ විට අමතකය. දරුවෙකුට ස්වභාවිකවම මවකගේ අයිතිය උරුම වේ. එහෙත් ස්වාභාවික පියකු සිටියද පියකුගේ අයිතිය බොහෝ විට ලැබෙනුයේ නීතිය මගිනි. එබැවින් මෙවැනි සිදුවීමකදී බොහෝ විට මාධ්‍ය මගින්ද අනාවරණය වන්නේ දරුවාගේ මව පිළිබඳව පමණි.  අවසන් වරද සිදුවී ඇත්තේ මව අතින් බැවින් දඬුවම ඇයට පමණි. මට මෙහිදී මතක් වන්නේ බයිබලයේ සඳහන් පව්කාරයාට ගල් ගැසීමේ සිද්ධියයි. එහෙත් නීතිය ඉදිරියේ දරුවන්ගේ භාරකාරත්වයද ඔවුන්ගේ පෝෂනයද පවරා ඇත්තේ පියවරුන්ටය. දෙවියන් බඳු පියවරුන්ද සිටින අප සමාජයේ මෙවැනි දේ හැකිතාක් දුරකට වලක්වාලීමට නම් මේවාට සම්බන්ධ පියවරුද හෙලිදරව් විය යුතු නොවේද?

Wednesday, May 26, 2010

යසෝදරාවත සිහිවී


කැලේ තියෙන කොයි දේවත් රස වේවා
මලේ බමරු මෙන් පිරිවර ඇති     වේවා
අව්වේ තියෙන ‍රැස් මාලා අඩු       වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග         සෑදේවා

සුවඳ බොජුන් වැලඳූ මගෙ හිමි       සඳට
නිබඳ බොජුන් රස කර දුනි       වලඳන්ට
සුවඳ පලාපල වැවියන්           හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන්         කඳට

මේ මා යසොදරාවතේ ඉතාම ආදරය කරන කවි දෙකයි. අපේ රටේ යුද්ධය නිසා පමණක් 49,000 ක වැන්දඹු ළඳුන් සිටින බව ප්‍රවෘත්තියක සඳහන් විය. 71 සහ 88 සිද්ධීන් සහ තව නොයෙකුත් හේතූන් නිසා ඊට අයත් තව බොහෝ සංඛ්‍යාවක් සිටිනු ඇත. මේ ඛේදවාචකයට අමතරව නොයෙකුත් ආර්ථික හේතූන් මත තම හිමියන් මේ රටේම හෝ වෙනත් රට වලට ගොස් තමන්ගෙන් දුරස්ව සිටීම නිසා යසෝදරාවන් මෙන් හිතින් වැලපෙන ළඳුන් බොහෝය. මේ අයට විවාහයක ස්ත්‍රී පුරුෂ භූමිකා දෙකම ඉ‍ටු කිරීමට සිදුව ඇතිවා පමණක් නොව තම හිමියන්ගේ ‍රැකවරණයද අහිමිය. ඉතින් අපේ කාලයේ මගේ සොයුරියන් වන ඒ යසෝදරාවන්ටයි අද මගේ මේ සටහන.

Tuesday, March 23, 2010

උතුරු සුළඟ


"මා තොටින් එන උතුරු සුළඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුලු හංගන - සරෝජා මගෙ දෝණියේ
 වෙඩි හඬින් පොඩි අකුරු ඇද වෙයි - මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මම සිසුවියයි ඔබ - ඒත් අපි එක පංතියේ"
 
ඊයෙ හවස් යාමේ ආයෙමත් දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන මේ ගීය අහන්න ලැබුනා. හැමදාමත් වගේ මේ ගීය ඇසෙන කොට මගේ ඇස් අගට කඳුලක් උනන්නේ මටත් හොරෙන්. හේතුව මේ ගීතයක් එක්ක මගේ පුංචි සම්බන්ධයක් තියන නිසයි. කාලය 1999 සිට ගිය වසර (2009) දක්වා දිව යනවා. උතුරු කොනට තරම්ම නොවුනත් දකුනේ හිටි අපිටත් ඒ වසර තිහක කාලය ගෙවුනේ එක්තරා විදියක නොසන්සුන් සිතකින්. ඒක කොයි තරම් අපේ සිත් වලට බලපාල තිබුනද කියන එක තේරුනේ යුද්දේ ඉවරයි කියන ආරංචිය ලැබීමත් එක්ක දැනුන සහනදායි හැඟීම අපේ සිත් වෙලා ගත් අසිරිය මතකයට නැගෙන කොටයි.
1999 වසරෙ ඉඳලා හැම වසරකම එක්තරා අධ්‍යාපනික වැඩ සටහනකට උතුරේ අපේ සහෝදර සහෝදරියනුත් සහභාගි වුනා. මේ අයගෙන් සමහරු ඒ තමයි දකුනට ඇවිත් තිබුන පළමු වතාව. වෙඩි හඬවල් මැදින් සැකෙන් බියෙන් බොහොම අමාරුවෙන් ආව ගමනක් ඒක. තව පැත්තකින් ඒ අයගෙන් සමහරුන්ට මේ ගිනිගත් දේශයෙන් පිටමන් වෙන්න මේ වැඩසටහන හරහා අවකාශයක් ලැබෙයි කියන පූංචි බලාපොරොත්තුවකුත් තියෙන්න ඇති. ටිකක් හිතන්න, ඉපදුන දවසෙ ඉඳලා තමන්ගේ සතුරෝ කියල හඳුන්වන මිනිස් කොට්ටාශයක් ලඟට එන්න වෙන පළමු දවසේ ඒ අයගේ හැඟීම් කොහොම වෙන්න ඇත්ද කියලා. ‍තෝරා ගැනීමේ පරීක්ෂනයට මුහුන දුන්නට ඒ අයගෙන් වැඩි දෙනෙක් හිටියේ බය වෙලා වගෙයි. ඒ ඇස්, ඒ මුහුනු තාමත් මට මැවිලා පෙනෙනවා.  වැඩ සටහනට සහභාගි වෙන්න ඒ අයට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් තිබුනත් කිසිම කෙනෙක්ගෙ මුහුනේ ආසාවටවත් දකින්න හිනාවක් තිබුනේ නැහැ. අහන ප්‍රශ්නෙකටත් දුන්නෙ ඉතාමත් කෙටි පිළිතුරු. ඒත් වාසනාවකට මේ අයගෙ මේ තත්වය ‍තෝරා ගන්නා මණ්ඩලයේ වැඩි දෙනෙක් තේරුම් අරන් තිබුනා. ත්‍රස්තවාදීන් කියන ඇසෙන් බලන්න ඒ කාටවත්ම ඕන උනේ නැති නිසා ආව වැඩි දෙනෙක්ම හැම වසරකම වැඩ සටහනට තේරුනා. වැඩ සටහන ඇරඹුන පසු හැමදාමත් මගේ ඇස් ඒ අයටත් හොරෙන් එයාල ලඟ නතර වෙලා තිබුනා. දවසින් දවස ඒ අය හිනා වෙන්න ඉගෙන ගත්තා. වසර අවසාන වෙනකොට හිනාව පිරුනු ඒ මුනූ දිහා බලලා මටත් හිනාවෙන්න පුලුවන් වුනා.
මේ සිදුවීම හැම වසරකම මේ විදියට සිදු වුනත් එක් වසරකදි මට අමතක නොවන සිදුවීමකට මුහුන දෙන්න සිදුවුනා. ඒ වතාවේ ඇවිත් හිටියා ඉතාමත් ලස්සන ගැහැනු ළමයෙක්. හරියටම උතුරු සුළගට පාවෙලා ආ සමනලියක් වගේ. ඒත් එක්තරා ප්‍රශ්නයක් නිසා මේ සිසුවිය එදාම වැඩ සටහනට බඳවා ගන්න පුලුවන් වුනේ නැහැ.  ඒ බව ඇයට දැනුම් දී අවශ්‍ය අනෙකුත් සහතික සපයන ලෙස කිව්වා. මට තේරුනා ඉන් ඇය හුඟක් කළබල වුන බව. ඇය නොතේරේදෝ යන සැකය ඇයට ඇතිවුන බවත් පෙනුනා. මම දැක්කා අනික් හැම දෙනෙක්ම ‍තෝරා ගැනීම් අවසානයේ පිටව ගියත් ඇය තවත් පුද්ගලයෙක් සමඟ ‍රැදී සිටිනවා. ඒ තැනැත්තා ඉදිරියට විත් මා සමග කතා කරන්න අවශ්‍ය බව කිව්වා. ඒ ඇයගේ පියා. ඔහු රජයේ සේවකයෙක්. දිර්ඝ කාලයක් දකුනේ සේවය කර 1983 කළබල නිසා දරුපවුල සමග යාපනයට ගිහින්. "මට හොඳට සිංහල කතා කරන්න පුලුවන්" ඔහු කතාව පටන් ගත්තා. ඇය ඒ අවස්ථාවේ ‍තෝරාගැනීමට ඇති අපහසුව මා විස්තර කර දුන්නා. ඒත් ඒ පිළිතුර ඔහුගේ දෙගිඩියාව සමනය කලේ නැහැ. ඔහුටත් තිබුනෙ තම දියණිය මේ වැඩ සටහනට නොතේරේවිදෝ යන සැකය. ඔහු තවත් විස්තර කියන්න උත්සාහ කළත් එකපාරටම කටහඬ බිඳී ගියා. ඔහුට ඔහුවම පාලනය කර ගත නොහැකි වුනා. මට කිසිම සම්බන්ධයක් නැති වැඩිහිටි පිරිමියෙකුගේ හඬාවැටීම හමුවේ මම නිරුත්තර වුනා.  ඒ පියෙකුගේ කඳුලු. ඔහුට තවත් තම දියනිය ඒ යුදපිටියට ගෙන යන්න අවශ්‍ය වෙලා තිබුනේ නැහැ. ‍රැක ගත යුතු වයසේ සිටින සුන්දර දියනියක් ‍රැක ගැනීමේ වගකීම ඒ පියානන්ට කෙසේ තිබෙන්නට ඇත්දැයි කීමට තවත් අ‍ටුවා ටීකා කුමකටද? ඉතා අපහසුවෙන් නැවත වරක් ඔහුට ඇතිව තිබෙන අඩුපාඩු පැහැදිලි කලා. මේ සිදුවීමත් එක්ක ඇතිවුන කම්පනය දින, සති ගනනාවක් මගේ හිතේ ‍රැදුනා. දීපිකාගේ මේ ගීය ඇහෙන සෑම අවස්ථාවකදීම එම කම්පනය නැවත අවදිව මගේ ඇසට නිරායාසයෙන් කඳුලක් ගෙන එනවා.
යුද්ධය ඉවරයි. ආයෙමත් එවැන්නක් කවමදාකවත් ප්‍රාර්ථනා නොකරමු. යුද්ධයට අප දෙන කවර හේතුවක් වුනත් අවසාන විග්‍රහයේදී අතිශයින්ම අසාධාරණයි. ජාති කුල මල ආගම් ආදී මෙකී නොකී හැම කො‍ටු පවුරකටම ඉහලින් සිහිල් සුළඟක්ව අපට පවතින්නට හැකිනම්!!

Thursday, March 18, 2010

දේශපාලනය සහ මාධ්‍යය

මේ දිනවල හැම තැනම දේශපාලන උනුසුම. මනාප දෙන්නෙ කාටද කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ. ගස් ගල් තාප්ප වල හිනාවෙන මූනු දිහා බලල චන්දෙ දෙන්න බැහැනෙ. ඒත් මේ දිනවල මාධ්‍ය වල පෙනෙන දකින ප්‍රවෘත්ති නිසයි මේක ලියන්න හිතුනෙ. විශේෂයෙන්ම රූප මාධ්‍යයෙ දැනට වසර කීපයක ඉඳල එක එක starts ලා ‍තෝරනවනෙ. මේ දවස්වල ඒ අය Political joker star ‍තෝරනවද කියලයි මට හිතෙන්නෙ. මට හිතෙන විදිය වැරදිද මන්දා. මාධ්‍ය මඟින් හැමදාම දකින්නෙ එදා දවසෙ හොඳම විහිලු කතාව කිව්ව පුද්ගලයන්ව. ලස්සන වැඩේ කියන්නෙ හුඟක් වෙලාවට එකම දේශපාලකයො කණ්ඩායමම තමයි ඉන්නෙ. මේ සිද්ධ වෙන දේ හරිද? අපිට ඕනෑ හොඳ දේශපාලකයොද නැත්නම් විහිලු කාරයො ටිකක්ද? දේශපාලකයෝ වැඩි දෙනෙක් විහිලු කාරයෝ බව ඇත්ත. ඒත් මේ මාධ්‍ය ප්‍රචාරය දිහා බලාගෙන ඉන්න දේශපාලකයො හැමෝම මේ ප්‍රචාරක වාසිය ගන්න විහිලු කරන්න ගත්තොත් මොකක්ද වෙන්නෙ?. ඒක නිසා අනේ අපේ මාධ්‍ය බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලමුද පස්සෙ වෙලාවක Political joker star ව sms මඟින් ‍තෝරන්න තියල මේ දැන් අපිට රටට වැඩක් කරල තියන වැදගත් දේශපාලන අදහස් ඉදිරිපත් කරන අයව (ඉන්නවනම්) පොඩ්ඩක් හඳුන්වල දෙන්න කියල. මාධ්‍ය ගැන මට ඒතරම් ලොකු දැනුමක් නැහැ. ඒත් මාධ්‍ය වල වගකීම අපව හරි විදියට දැනුවත් කරන එක නේද?