-->

Monday, February 28, 2011

"සිංහයා සමග වාසය"

ඊයෙ පෙරේදා පුවත් පතක දකින්න ලැබුන ප්‍රවෘත්තියක් වුනේ මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම 46% කින් වැඩි වෙලා කියල. රටේ ආර්ථිකය ගැන හිතන කොට සතු‍ටුදායක ආරංචියක් වුනත් මට ඒ එක්කම මීට වසර කිහිපයකට කලින් මුහුන දෙන්න වුන සිදුවීමක් සිහියට ආවා . එය පෞද්ගලික සිදුවීමක් වුනත් රටක් වශයෙන් හිතන කොට එහි යම් වැදගත් කමක් ඇතැයි මට සිතෙනවා.
අධ්‍යාපන කටයුතු සඳහා මා ජර්මනියේ සිටි කාලයේ දැන හඳුනා ගත් ජර්මන් යුවලක් වසර දෙක තුනකට පෙර සංචාරකයන් සමූහයක් සමග ලංකාවට පැමිණියා.  ජර්මනියේ ඔවුන් පැමිණි සංචාරක ආයතනයට සම්බන්ධ ලංකාවේ සංචාරක ආයතනයක් මගින් සැපයූ සංචාරක මග පෙන්වන්නෙක් සමග ඔවුන් රට තුල බොහෝ තැක් දැක බලා ගෙන එක් දිනක් මා හමුවීමටද පැමිණියා. ලංකාවට ආවේනික ආහාර රස බලමින්, පැරණි මතකයන් සිහි ගන්වමින් හා විශේෂයෙන් අපේ මිනිසුන්ගේ මුව මත නිතර ‍රැඳී ඇති සිනහව අගයමින් එදා ඔවුන් බොහෝ සතු‍ටු වුනා. එහෙත් හදිසියේ සිමොන් මහතාට යමක් මතක්වී සිනාසෙන්නට වුනා. දෙරටක සංස්කෘතීන් දෙකකට අයත් වුවත් මිතුරන් ලෙස අපට ඒ සීමාවන්ගෙන් මිදී බොහෝදේ කතා කළ හැකිව තිබුනා. සිනහවට කරුන විමසන විට ඔහු මගෙන් විමසුවේ මෙවන් දෙයක්.
"සංචාරක මග පෙන්වන්නා කී පරිදි සිංහල ජාතිය ඇතිවුනේ සිංහයෙක් සමග සහ වාසය කළ කුමරියකගෙන් උපන්නෙක්ගෙන් බව කියන්නේ ඇත්තද?"
තිරිසන් සතෙක් සමග සහවාසයෙන් උපන් මිනිසෙක්? ..........   ජීව විද්‍යාත්මකව හෝ මෙය පිළිගත හැකි දෙයක්ද? සිතට නැගුන ප්‍රශ්න වැලක්ද සමග  මම පිළිතුරක් නැතිව  මොහොතකට ගොලුව ගියා.
"නැහැ ඔහු සිංහයෙක් නෙවෙයි. සිංහ වංශික මිනිසෙක්"  
වහා කල්පනා කළ මා එවන් පිළිතුරක් දුන්නා.
"සංචාරක මග පෙන්වන්නා කිව්දේ වැරදි නම්  ඔබලාගේ කොඩියේ සිංහයෙක් සිටින්නේ වෙනත් කරුණක් නිසාද?"
ඇත්තෙන්ම එයටද මා එවේලේ සිතට නැගුන කිසියම් පිළිතුරක් දුන් බව මතකය. අපද කුඩා කළ සිට උගත් මේ සිංහ කතාව තවමත් ඒ අයුරින්ම පරපුරෙන් පරපුරට යනු මිස එය විය හැක්කක්ද නැද්ද යන්න කවරෙකු හෝ ප්‍රශ්න කර ඇද්ද?. ලැජ්ජාවට කරුන නම් මටද ඒ විදේශිකයා සිනාසෙමින් එම ප්‍රශ්නය නගන තුරු එහි පැවතුන විසුළු බව තේරුම් නොයාමය. තවමත් අප ජාතියක් වශයෙන් පරපුරෙන් පරපුරට පැමිණි මේ ඉතිහාස කතාවේ අගමුල නොවිසමින් මතු පරපුරටද දායාද කරමු. එපමනක් නොව රට නියෝජනය කිරීමේ අවස්ථාවන්ටද මහත් ආඩම්බරයෙන් ඉදිරිපත් කරමු. මෑතකදී පැවති ලෝක කුසලාන ක්‍රිකට්  සමාරම්භක උළෙලටද මෙය ඉදිරිපත් කොට තිබෙනු දැක මට නැවත මගේ විදේශික මිතුරාගේ සිනාව දෙසවන් තුල දෙදරමින් ඇසෙන්නට විය. පැරණි හිතළු කතාවලින් මිදී රටේ සියළු ජාතීන් නියෝජනය වන පරිදි රටක් නියෝජනය කළයුත්තේ කෙසේදැයි දැන්වත් අපට අළුතින් සිතන්නට නොහැකිද?

6 comments:

  1. ජාතික කොඩියක් කියන්නෙ පරිකල්පනයක් විතරයි. මොකද ජාතිය හෝ රට කියන එකත් පරිකල්පනයක් විතරයි. රටවල් වෙන්කරගෙන තියෙන්නේ මිනිස්සුන්ය. මේ දේශසීමා ඔක්කොම පරිකල්පන දේවල් මිස සැබවින් පවතින දේවල් නොවේ.
    තමන්ගෙ ජාතිය සත්වයෙකුට සමාන කරගන්න එකත් පරිකල්පනයක්. ඒත් මනුෂ්‍යයෝ සත්වයින් විදියට පරිකල්පනය කිරීම කියා පාන්නෙ ඔවුන් තවමත් තිරිසන් ගති ලක්ෂණ පෙන්නුම් කිරීමද කියන එක නොදනිමි. ඒ වගේම සත්වයෝ වීරයෝ නිශ්පාදනය කරන්නෙ නෑ. සිංහයා කායිකව බලවත් නිසා අනෙකාව මර්ධනය කර නැගී සිටිනවා ඇති. ඒත් සිංහයා වීරයෙකු ලෙස අනෙකුත් සතුන් පරිකල්පනය කරනු ඇතැයි මා නොසිතමි.

    ReplyDelete
  2. jathika kodiye sinhayagen nirupanbaya wannee sinhala jaathiya noww. sinhala jaahtiya niruupanaya karannee kodiye athi rathu pahayai.

    Sinhayagen niruupanaya wanne bauddha darshanaye ena muulika sankalpa (sinha keshara, sinhayaage walgaye athi rataa).
    oba wisin danagatha yuththe sinha seewalee prawaadaya jaathika kodiya mul weemata hethuwak nowuu bawai.
    thawa duratath pawasanne nam America wala raajya salakuna raajaliya wana athara bangladeshaye eya wyagrayaai.
    Rataka purawasiyeku washayen oba meeta wada rata gana, ehi muulayan gana danagatha yuthuwa thibe yanna mage hangeemai. kisidhu hethuwak nomathiwa wargika arbudayatath kodiya waradee keema muwa hamata thaleemak pamani. manda yath waargika arbudayanta kodiya hethuwak nowuu nisaaya.
    karunaakara sri lankawe jaathika kodiyen niruupanaya wana arthaya soya balaa danaganna. mandayath wena karwara kodiyakatath wada ema kodiya arthawath wana bewini.
    Liyannata aiyithiyak thibuu pamanin ohe noliya thamunge wagakeema hari hati ishata karanna. meeta wada danuwath wenna...

    ReplyDelete
  3. එකල අපේ රටේ යක්ශ හා නාග වර්ගයට අයත් මිනිසුන් සිටි බව අපි ජාතක කතා වල අසා ඇත්තේමු.. නමුත් ඔවුන් ඇත්තටම යක්ශයින්වත් නාගයින්වත් නොව ගෝත්‍රික කොටසක් බව අපි දන්නෙමු.. මා හිතන පරිදි ඒ සිංහ වංශයකට අයත් මිනිසෙක් විය හැකිය...

    ReplyDelete
  4. කෝ මේ අපේ ජාති මාමක, ජාති හිතයිශී, ජාතිකාභිමාණී සෙට් එක, වරෙව් පොළු අරං. මෙන්න අපි උපන්නෙ කකුල් හතරේ සිංහයාහෙන් නෙමෙයිලු. :)

    ReplyDelete
  5. ජාතියෙ සංකෙතයක් පමණයි සිංහයා. සුදු ජාතියකයා හිනා වුණ එකට දුකවත් , කලකිරිමවත් ඇති කර ගැනිම අවශ්‍ය නැහැ. ජර්මානුවන්ගෙ ඉතිහාසය කියවන්න,

    එක සිංහ බාහු පුරාවෘත්තයක්(MYTH) එකක් පමනයි. ඔප්පු කිරිමක් නැහැ.

    ReplyDelete
  6. ස්තුතියි හැමෝටම. සතුන්ගේ රුව ඇතුලත් කොඩි බොහෝ රට වල ඇත. මෙහිදී එම විදේශිකයා පටලවා ගත්තේ සංචාරක මග පෙන්වන්නා මුලින් සිංහ පුරා වෘත කතාව කියා එම කතාවද කොඩියට සම්බන්ධ කර තිබුන බැවිනි. ඇත්තෙන්ම ඔහුට ප්‍රශ්නයක් වී තිබුනේ කොඩිය නොව අර පුරා වෘතයයි.සිංහ බාහු පුරාවෘත්තයක්(MYTH) වුවත් අපේ සංචාරක මග පෙන්වන්නන් එය සඳහන් කරන්නේ එය සත්‍ය සිදුවීමක් ලෙසිනි.
    මැණික්

    ReplyDelete