-->

Tuesday, October 11, 2011

"චීන කෑම සමඟ කළු හාලේ බත්"

Chines Restaurants වලින් කෑම කන්න ඉතින් වැඩි දෙනෙක් කැමතියිනේ. ලඟකදි ඉඳල මටත් දිනපතා මේ චීන කෑම රස බලන්න ඉඩක් ලැබිල තියනවා. ඉන්දියන් සාගරයයි අත්ලන්තික් සාගරයයි පහු කරගෙන ඇවිත් අන්තිමට මම වැ‍ටුනෙ චීනෙට. ප්‍රශ්නයක් තමයි. අත්ලන්තික් වෙනුවට යන්න ඕනෙ පැසිපික් සාගරය උඩින්නෙ. මන්දා මට නම් වුනේ ඉතින් ඒක. හේතුව මට අන්තිමට ඉන්න වුනේ චීන මිතුරියන් පිරිසක් එක්ක. ඉතින් දවසින් වැඩි කොටසක් මට ඇහෙන්නෙ චෑං චූං විතරයි. ඒත් ඉතින් පෙරලුන පිට තමයි හොඳම කියල අර ඔරුවක් පෙරලුනාට පස්සෙ ඔරුවෙ ගිය කෙනා කිව්ව වගේ මමත් හිතුවා මේක තමයි හොඳම අවස්ථාව චීන කෑම හදන්න ඉගෙන ගන්න කියල. ලංකාවට ඇවිත් ඉතින් Chines Restaurant එකක්වත් දාගන්න බැරියැ නේද?   ඉතින් මගේ චීන මිතුරියො ටික කෑම උයන වෙලාවට දහසක් ප්‍රශ්න අසමින් මේ කෑම හදන විදිය ඉගෙන ගන්න මම උත්සාහ කරනවා.
උඩින්ම තියෙන පින්තූරයෙ තියෙන්නෙ කළු හාල්. මම නම් එදා තමයි මුල්වරට දැක්කෙ. වඩා හොඳින් වෙනස හඳුන ගන්න සුදු හාල් ටිකකුත් සමඟම පින්තූරය ගත්තා. 
කළු හාල් බත් උයන්නෙ නම් අපි උයන විදියටම තමයි. සුදුද කළුද කියල වෙනසක් නැහැ.
මේ අය චීනෙන් ගෙනා කළු පාට වේලපු හතු වගයක් උයනවා. මුලින් ඒවා හොඳින් පෙ‍ඟෙන්න දානවා. ඉන් පසුව තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට ගම්මිරිස් කුඩු ටිකක්, තලාගත් සුදුලූනු බික් දෙකක්, කරල් මිරිස් දෙකක් පමන, මිරිස් කුඩු ටිකක්, විනාකිරි, ලුනු සහ සෝයා සෝස් එකතු කරනවා. ඉන්පසුව අර හොඳින් පෙඟුන හතු වතුර බේරා අරන් ඒ මිශ්‍රණයට දානවා. විනාඩි පහකින් පමණ හතු කෑමට සුදානම්. මටත් රස බලන්න දුන්න. අනේ මන්දා ... රසත් තියනවා. ඒත් ඒ හතු ටිකක් රබර් වගේ.
රාබු හදන්නෙ මේ අය අමුතුම විදියකට. රාබු ගෙඩිය හොඳින් පොතු හැරල හීනියට කපාගෙන එය රත්වුනු තෙලට දැමූ ලුනු සහ විනාකිරි මිශ්‍රණයකට එකතු කරනවා. එය යන්තමින් තැම්බී එනවිට රාබු කොළද ලොකු කැබලි වලට කපා එයට එක් කරනවා. රාබු වල අමු රසය නැති නොවන සේ එතරම් වේලා තැම්බෙන්න දෙන්නේ නැහැ. ම්.. අමුතුම වෙනස් රසයක්.
ඊලඟට හැදුවේ අර්තාපල් එක්ක අර කලින් කිව්ව කලු හතු. හතු නම් හැදුවේ කලින් විදියටමයි. අර්තාපල් නම් හීනි පෙති කපල ලොකු ලූණු එක්ක තෙලෙන් බැදුනු ලුනු, විනාකිරි, සුදුලූනු සහ සෝයා සෝස් මිශ්‍රණයකට එකතු කරනවා. මේකට මිරිස් දැම්මෙ නැහැ. කෑම වල පාට ස්සනයි. වෙනස් රසයක්.
ඉතින් ඔය කෑම ජාති කාලා මට නිකම්ම ඉන්න ලැබුනෙ නැහැ. අපේ කෑමත් ඕනෑ කිව්ව නිසා මම ඉතින් අපේ ක්‍රමයට පරිප්පු තෙම්පරාදුවක් හදලා, මල් ගෝවා තෙලට දාලා සුදු බත් හැදුවා. කෑම හැදීම අවසානයේ හැමෝම කන්න ඉඳ ගත්තා. මොකද හිතන්නේ? චීන්නු ටික චීන කෑම පැත්තක තියලා අපේ පරිප්පුව ඉවර වෙනකම්ම බඩ පිරෙන්න බත් කෑවා. දැන් මම උයන්න යන වෙලාවට රහ බලන්න ඇවිත් අන්තිමට මටත් ඉතිරි නොවෙන තැනට වැඩ සිද්ද වෙලා තියෙන්නෙ. මදෑ Chines Restaurant දාන්න හිතා හිටියා. දැන් යන විදියට නම් මට පේන්නෙ Sri Lankan Restaurant එකක් චීනෙ ඇරෙයි වගේ.

13 comments:

  1. කලු හාලේ බත් ඇර අනෙක් හැම එකම රහා පාටයි...:D

    ReplyDelete
  2. මට මේ බ්ලොග් එක අතෑරිලද මංදා... කොහොම හරි අද ඔන්න ගොඩ උනා..මමත් බොහෝම ආසා විෂයක් තමා රට රටවල ආහාර වර්ග ගැන දැන ගන්න එක..පුළුවන්නං තව ඉදිරියටත් චීන කෑම ගැන ටිකක් ලියන්න බලන්න... ඔය හතු කතාව කිව්වම මටත් මතක් උනේ හතු හදන විදිය දාන්න හිටියට මට තාම ඒක කරන්න උනේ නැහැ නේද කියලා...
    රසවත් ලිපියක්.. මොනවා කලත් අපේ පරිප්පුවට කොහේ ගහන්නද උන්දලා...

    ReplyDelete
  3. කළු හාල් ලංකාවෙත් තිබුනා නේද ඉස්සර නම්. කළු හීනටි හෙම කියන්නේ ඒවට නේද? නම මතකයි. හාල් වල පාට නම් මතක නෑ.
    කළු හාල් ගුණයෙන් වැඩියි. හැබැයි ඉතින් ලංකාවේ මිනිස්සු කන විදියට බත් ගොඩාක් කන්න නම් බෑ. අනික ඔය චීනෙන් ගෙන්වන කෑම නම් ටිකක් අඩුවෙන් කෑවට කමක් නෑ මැණික්. එහේ තියෙන අපිරිසිදුකම දැක්කොත් ඕක් තමයි.
    මෙහෙත් අඟලින් අඟලට චීන අවන්හල් තියෙනවා. හැම වැඩක්ම කරන්නෙත් චීන්නු. බැරි වෙලා හරි චීන කෑම කෑවම මට නම් ලිවර් එක බුම් බුම් ගානවා ටිකක් වෙලා යද්දි. ඒක හින්දා බඩ ගින්නේ හිටියත් මම නම් කන්නේ නෑ. මාත් පොඩි කෙල්ල කාලේ චීන අවන්හල් මැක්ඩොනල්ඩ්ස් වල හෙම පදිංචි වෙලා හිටියානේ. දැන් තමයි ඒවයේ වන්දි ගෙවන්නේ.
    බලාගෙන ගෙම්බෝ හෙම උයලා කන්න දෙයි ඔන්න යාළුවෝ....

    ReplyDelete
  4. ලබන සතියේ චීනෙට යනවා. මැණික් කැෆේ එකෙන් කන්න පුලුවන්ද ? වැඩිය ඕන නැහැ අර පරිප්පුයි බතුයි හොඳයි.. මාරයෝ මෙන්න මැණික් සරනියකුත් පටන් අරන් !!

    ReplyDelete
  5. ගිනි ගත්ත කුඹුරක වී වලින් ගත්ත හාල් ඕව

    ReplyDelete
  6. මාරයා කියන්නා වගේ මමත් අදමයි මේ බ්ලොග් එකට ආවේ.

    අපේ නංගිත් ඉන්නෙ ඔහෙ. එයාටත් තියෙනවා ඔයා කිව්ව වගේ අද්දැකීම්.

    එයාලත් පරිප්පු උයලා බත් එක්ක කන්න හෙන ආසයිලු......

    ඔයාට දැං අර කූරුදෙකෙන් කැවැකිද?

    ReplyDelete
  7. කලු හාල් දවසක් මටත් කන්න හම්බුනා.. ඒතරම් වෙනසක් නෑ... අර සමහර දාට සුදු හාල ඇහිදිද්දි අතපසුවේමින් අතහැරුන කලු හාල් ඇටයක් කෑවා වගේ තමයි....

    ReplyDelete
  8. dekkama kanna asa hithuna. eth ane oya kema apita hari yavida danne

    ReplyDelete
  9. හීල් බත් එක්ක පොල් සම්බෝලෙ රහට ගහන්න එකක් නෑ....

    ReplyDelete
  10. කලු හාල් ලංකාවෙත් තියෙනවා, ටිකක් තැම්බෙන්න වෙලා යනවා. හැබැයි ගුණය අතින් අපි නිතරම කන රතු හාල් වලට වඩා ගොඩාක් වැඩියි. වියලි හතු පොඟන්න දාල කන එක රබර් වගේ උනාට හරියට වැඩියෙන් තැම්බුවාම කන්න පුලුවන් නංගි. මම නම් ඒ රසට හා සුවඳට ආසයි. මහත්තයා චීනෙ යනකොට මම ගේන්න කියන්නෙ ගොඩක් වෙලාවට වියලි හතු හා හොඳ වර්ගයේ ඩාක් සෝයා සෝස් එකක් තමයි. මම නම් හරිම ආසයි චීන කෑම වලට. කොහොමත් මම එක එක රටවල කෑම ජාති අත්හදා බලනවා.

    ReplyDelete
  11. කාලෙකට පස්සෙ මේ සටහනත් වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත් බව පෙනුනා. නිතරම පිළිතුරක් ලියන්න මට පමාවෙනවා. තරහ ගන්න කාරි නෑ ඒකට. පොඩ්ඩි, මාරයා, Il mondo di una povera pazza, සරත්, outsider, කතන්දර, බුද්ධි, Dinesh, ayesha, Chandi, ඔබ නොදු‍ටු ලොවක්, නිතර comment නොකලත් මමත් ඔය හැමෝගෙම සටහන් කියවනවා. ස්තුතියි හැම කෙනෙකුටම.
    මැණික්

    ReplyDelete