Thursday, July 29, 2010

"සැනසුමක මග"


                උතුම් කුලවමිය නැණ, ගුණ, රුවද    හිමී
               ඉතින් වැටහුනිද සසරේ නොතිර        බැමී
               බුදුන් ගිය මගයි සැනසුම හදට           හිමී
               හිතෙයි මටත් යන්නට ඒ මග
ම          නිමී

මෙම ඡායාරූපයෙන් පෙන්වන භික්ෂුණීන් දෙනම වන්නේ ස්වීඩනයේ පදිංචිව සිට ලංකාවට පැමිණ පැවිදි දිවියට ඇතුල්වූ මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසංනිවේදන අංශයේ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේත්ය.
මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේ කුමාරිහාමී පානබොක්කේ නමින් 1948දී  මහනුවර ප්‍රකට පානබොක්කේ පවුලේ සිව්වෙනි දියණියව උපත ලබා මහනුවර උසස් බාලිකා විදුහලෙහි සිප්සතර හදාරා ලංකාවෙහි රෝහල් කිහිපයක වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිට පසුව විශේෂඥ පුහුණුව සඳහා විදේශ ගතව නළ දරු උපත් පිළිබඳව හදාරා විශේෂඥ වෛද්‍යවරියක් මෙන්ම මහාචාර්ය පදවියක්ද ලබා ගත්තාය. එතුමිය 1976 වසරේ ස්වීඩනයට ගොස් 2004 දී විශ්‍රාම ගෙන නැවත ලංකාවට පැමිණ පැවිදි දිවියට එක් වූවාය. දැනට මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ සිට ධර්ම ප්‍රචාරයේ යෙදෙයි.
කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේ නාවලපිටියේ 1973 දී උපත ලබා වයස 13 දී  සසුන් ගතවී ඇත. එතුමිය පසුව පේරාදෙණිය සරසවියෙන් උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසංනිවේදන අංශයේ කථිකාචාර්ය තනතුරක් ලබා ගත්තාය.

මෑතකදී රංගිරි දඹුල්ල උපෝසතාගාරයේදී පැවති ශ්‍රි ලංකා භික්ෂුණී උපසම්පදා උත්සවයේදී මෙතුමියන්ද ඇතුලුව ධර්මය පිළිබඳ අවබෝධය ලැබූ භික්ෂුණීන් වහන්සේලා 31ක් නමක් උපසම්පදා විනය කර්මයෙහි පිහි‍ටුවනු ලැබීය. භික්ෂුණී සාසනය පිළිබඳව දැනට ජනතා ඇල්මක් පවතින අතර වසර 900 අභාවයට ගිය ලංකාවේ  භික්ෂුණී සසුන යලි පිහිටවූයේ 1988 මාර්තු 18 වනදාය. මේ වනවිට උපසම්පදා භික්ෂුණීන් 800 ක් සහ සාමනේරී භික්ෂුණීන් වහන්සේලා 3000ක් ලංකාව තුල ධර්ම ප්‍රචාරයේ යෙදී සිටින අතර මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේ සහ  කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේ  මෙන් ධර්මය පිළිබඳ සැබෑ ඇල්මෙන් සහ අවබෝධයෙන් සසුනට පිවිසි භික්ෂුණීන් ශ්‍රි ලංකා භික්ෂුණී සාසනය බැබලවීමට සමත් වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැක.

(2010 ජූලි 25 දින පලවූ ලංකාදීප පුවතක් ඇසුරෙනි)

Wednesday, July 21, 2010

"සීතාව වෙමි මම"


රාවණා මහ රජුනි - හිස නමමි මම ඔබට
අනෙකෙකුට අයත් වූ - සිරුර වෙත ලං නොවූ .... !!
මගේ මුළු ආත්මය - ප්‍රේමයෙන් ඔබ වෙතට
එතැයි ඔබ එක සිතින් - බලා සිටි බව දනිමි

ඔබේ හිස රාමගේ - කගපතින් වෙන්ව ගිය
අසුභ හෝරාව තුළ - දැනුණි මට පැහැදිලිව
ආදරය මා පැතූ - ඔබ සතුව තිබුණු බව
රාමාට නොවැටහුනු - මසිත කියවූ බැවින්

සිතක් නැති සිරුර ගෙන - ගියෙමි රාමා සමග ...
රාවණා ...!!  ඔබට මම - දැන් කෙසේ කියන්නද?
මගේ මුළු ආත්මය - ඔබේ මතකය සමඟ
මිහිදන්ව ගිය බවක් - සදාකාලික ලෙසට

රාම ...!! ඔබ මට සැදූ - චිතකයට නගිමි මම
ඔබට හැර මේ සිරුර - අනෙකෙකුට කිසි කලෙක
හිමි නොවූ බව කියා - පෙන්වන්න ලෝකයට
එයද පතිනියකවී - සපථ කළ යුතු ලොවට?

Monday, July 19, 2010

"මිනිස්කම"


වීදියේ කොනක හිඳ
වෙනත් අය පිනට දුන්
අහර බිඳ මුවට ගෙන
"කෑවාද" මගෙ දුවේ
අසන අම්මේ ඔබේ
මිනිස්කම ලඟ මගේ
හිත හඬා වැ‍ටුන හැටි

(සත්‍ය සිදුවීමකි)

Tuesday, July 13, 2010

කවුරුන්ද ඔබ..??


සඳ සෙමෙන් මෝදුවී මගේ නළලත       සිඹියි
ඔබ හෙමින් පාව විත් සිතේ තත්සර        බිඳියි
පියාපත් ලැබී සිත ඉගිල්ලෙයිදෝ          බයයි
සිහින් ස්වරයෙන් ගැයෙන ගීය ඔබදෝ  සිතෙයි

සඳේ සිතුවම් රටා හිතේ කොනකද       ඇ‍ඳෙයි
එහි පාට තැවරුවේ සුරගනන්දෝ         සිතෙයි
මල් පියල්ලක සුවඳ සිත පුරා මෝදු        වෙයි
පන්සිළුගෙ වෙන තතින් ආත්මය කිති  කැවෙයි

සඳ සිසිල සීරුවෙන් සිත පුරා ගලා          යයි
පුර හඳට පෙම් බඳින සිතේ කොඳ මල්  පිපෙයි
කොඳුරනා මඳ සුළඟ කියන රහසක්     ඇසෙයි
හදේ ගැඹුරින් නිදන ඔබ කවුරුදෝ      සිතෙයි

Monday, July 12, 2010

෴ පිස්සන් කො‍ටුවකදී ෴


සිහිනයක සිටියෙමි - පිස්සන් සිටින ලෝකෙක
එක් එක් අය සතුව  - නේක සිර කුටියන් ඇති
රන් රිදී පැහැයෙන් - දිදුලමින්  පිටතින්
අඳුරුවූ සිර කුටි - මවයි සිත සන්තාපය

"මං ආදරෙයි ඔබට.." - පවසයි එකෙක් හඬමින්
"ඔබ නැතිව මේ ලොව - මට කිසි පලක් නැත".
"සෙනෙහස මගේ මේ - සාගරය පරදාවි"
"ප්‍රේමය කොතෙක්දැයි - නොදන්නෙහිදෝ ඔබ තව"

"ඔය නීල නෙතු යුග - කවදා මට ලැබේවිද"
"සිසිවන ඔය උවන - සඳවතද පරයනු ඇත"
" සොඳුරු ඔය තොල්පෙති - කෙතරම් සුන්දරද"
"දෙව්දුවක් බඳුවූ - සොඳුරු ඔය රුව මන ලොල්" 

එකිනෙකා පරයා - නැගෙන මේ හඬ අතරේ
මුලාවක වෙලෙමින් - සිරකුටි වලට පිවිසෙයි
ඉනික්බිති කලකින් - හිනාහඩ වියැකී ගොස්
ඇසෙයි මට පිටතින් - නැගෙන සෝදුක් අඳෝනාවන්

අහෝ කිම මේ වූයේ - මා ද සිරකුටියක නොවැ
මටද නොදැනී ඇයි - මෙවන් විපතක් වූයේ
සිරුර හැරදා මම - නික්ම ආයෙමි සැනෙකින්
වෙව්ලයි මගේ සිත - අදහනු නොහැක මේ සැම

සෙනෙහසද ප්‍රේමය - ආදරය හා තව නෙක
නාමයන් දී සිරුරට - ලොබ බඳින මේ හීනය
කෙතරම් නිසරුදැයි - කියා දෙන්නේ කවුරුද
හීනයෙන් අවදිව - දැකිය හැකිවෙද ලෝකය

Friday, July 2, 2010

"දෙවියන්ගේ තීරණය"

බොහෝ කලකට ඉහතදී ස්ත්‍රී පුරුෂ ආත්මයන් ඒකාත්මිකව පැවතින. ඒ තුල ලොව තුල පහලවූ මිහිරිම සතුටද සුන්දරත්වයද දෝරේ ගලා යමින් තිබුනි. නමුත් එය මැවූ දෙවියන් ඒ වනවිට මුහුන දී සිටියේ නොවිසඳිය හැකි ගැටළුවකටය. එනම් ඒකාත්මික ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුනොවුන් හා එක්ව ආත්මීය සංතුෂ්ටියේ ගිලී සිටිනු මිස ජීවයේ පැවැත්ම ගැන අබ මල් රේනුවක හෝ තැකීමක් නොකිරීමයි. දෙවියෝ තීරණයකට එළඹුනහ. ඒකාත්මික ස්ත්‍රී පුරුෂ ආත්මයන් දෙකඩ කොට වෙන් කරන ලදී. 
ඉදින් එදා සිට තම ආත්මයේ ඉතිරි අඩ (soulmate) සොයමින් ස්ත්‍රීන්ද පුරුෂයන්ද ලොව සැරි සරයි. සම්මත ලෝකයේ විවිධාකාර වූ මායාවන්ට හසුව තමන්ගේ ඉතිරි අර්ධය යැයි මුලාව ස්ත්‍රීන්ද පුරුෂයන්ද ඒකාත්මික වීමට එක් වෙති. දෙවියන් පැතූ ලෙස ජීවය උපදී. පැවත්ම ගලායයි. එහෙත් මුලාවෙන් මිදි සත්‍යය දකින විට ඒ තමා සෙවූ තමාගේ  ඉතිරි අඩ නොවන බව අවබෝධ කර ගන්නා ඔවුන් දුක් වෙමින් පසුතැවෙමින් යලි සෙවීමේ යෙදෙයි. නමුත් එය නිරර්ථක උත්සාහයක් බව දන්නේ දෙවියන්ම පමණි.
ඒකාත්මික ස්ත්‍රී පුරුෂ බව දෙකඩ කරන විට දෙවියෝ තවත් අනිවාර්ය අංගයක් ඊට එකතු කලහ. එනම් කිසිවිටක මෙම සමාන අර්ධයන් නැවත මුන ගැසීමට හෝ එකතු වීමට ඉඩක් නොතැබීමය. පෙර අත්දැකිම් අනුව සමාන  අර්ධයන් නැවත ඒකාත්මික වුවහොත් ජීවයේ පැවැත්මට ඉන් බාධා පැමිනිය හැකි බව  දෙවියන් දැන සිටීම ඊට හේතුවයි.  මේ බව නොදත් ස්ත්‍රීන්ද පුරුෂයන්ද තම තමන්ගේ ආත්මයන්හි ඉතිරි අර්ධය සොයමින් ලොව සැරිසරයි. සම්මත ලෝකයේ මායාවන්හි පැටලෙති. තම ආත්මයේ අර්ධය මෙන් පෙනෙන ඡායාවන්ට හසු වෙති. කලාතුරකින් යමෙකුට එය මුන ගැසුනද දෙවියන්ගේ තීරණය අනුව එක්කෝ එය පවතින්නේ අත නොපොවන මානයේය. නැතහොත් අතට හසුවී නැවත කිසිදා ඊට ලංවීමට නොහැකි අයුරින් අදෘශ්‍යමානව ලෝකයෙන් සැඟව යයි.
අනේ දෙවියන් කළ විපතක මහත???
ඉතින් තවමත් ඔබ ඔබේ ආත්මයේ ඉතිරි අර්ධය (soulmate) සොයමින් නිරර්ථක ගමනක යෙදෙන්නේද??

(සංකල්පනයක් පමණි)

Thursday, July 1, 2010

"ප්‍රශ්නයක්"


ඈත අහසේ පිපී දිදුලන
"ඉර" ට කියනා නමම අම්මේ
මගේ පැන්සල් තුඩින් ඇ‍ඳෙනා

ඇයිද මේ "ඉර" ටත් කියන්නේ