Monday, September 23, 2013

"බොහොමත්ම ස්තුතියි"

අවුරුදු තුනහමාරක්ම නොනමින් වල්පල් ලිව්වා ඇති කියලයි හිතිල තියෙන්නේ. මුල් කාලේ නම් ලිව්වෙ හරිම කැමැත්තෙන්. මෙහෙම ලියන එක මුල් කාලෙදි අළුත් අත්දැකීමක් වුනා. ඉතින් හිතට එන එන දේ ඔහේ ලියාගෙන ගියා. මුලින්ම මගේ නියම නමින්ම ලියන්න පටන් ගත්තත් වැඩි දෙනෙක් නොනමින් ලියනවා දැක්කම මමත් ඒ ක්‍රමයම අනුගමනය කළා.  ඉතින් ඇයි නොනමින් ලියන්නෙ? ලියන දේ කියවූ දන්නා හිතවතුන් විටෙක විමසුවා. නොනමින් ලියන්නෙ ඇයි කියල මටත් හිතුනා. පළමු කරුණ වුනේ ලියන දේ ගැන හොඳ නරක අදහස් දැන ගන්න එයින් හැකියි කියල මට හිතුන නිසා. ලිවීමට ආධුනිකයෙක් නිසා ලියන ශෛලිය දියුණු කර ගැනීමට එය වඩා හොඳ මගක් කියලත් මට හිතුනා. අනිත් අතට නියම නමත් එක්ක බැඳුනු අට අනූවක් විච්චූරන නැතිව "මම" යැයි මා තුල සිටින්නා පමණක් ඉස්මතුවීම ඉන් සිදු කළ හැකි යැයි මට හිතුනා. ඉතින් මගේ බොලඳ මෝඩ අදහස් වගේම පණ්ඩිත කියල හිතාගෙන ලිව්ව මෝඩ අදහසුත් හැම කෙනෙක්ම කියවන්න ඇති. මම දැක්කා ලිවීමෙන් මම වගේම කියවීමෙන් අනිත් අයත් යම් තරමකට සතු‍ටු වුනා කියල.
සමහර වෙලාවට මම දුක් වුනා ලිව්ව දේ කියවූ අයට අදහස් දැක්වූ අයට පිළිතුරු සපයන්න වෙලාවක් හොයා ගන්න බැරිවීම ගැන. ඒ වගේම ඉඩ ලැබෙන වෙලාවක අනිත් අය ලියා ඇතිදේ උඩින් පල්ලෙන් කියවා සටහනක් නොතබා යාමට සිදුවීමත් මා ලියන දේට අදහස් දක්වන අයට කරන අයුතු දෙයක් කියල නිතරම හිතුනත් කාලය එක්ක සටනක ඉන්න කොට ඊට වඩා දෙයක් මට කරන්න හැකි වුනේ නැහැ.
ඒත් නොනමින් ලියනවා කියල හිතුවත් මේ ඩිජිටල් පද්ධතිය තුල සැරි සරන අපි කවුරුත් සාමාන්‍ය ජීවිතයේදීටත් වඩා අනාවරනය වෙන බව බොහෝ අය දන්නෙ නැහැ. අපි හිතන පතන පිළිවෙල අපි කැමතිදේ අපි වඩාත් ගනුදෙනු කරන අය එක මොහොතකින් මේ ඩිජිටල් ලෝකය තුල පහසුවෙන් සොයා ගන්න හැකියි. අවශ්‍ය වෙන්නෙ දැනුම පමණයි. ඉතින් ඒ නිසා මම දන්නවා මම ඉන්නෙ නොනමින් කිව්වට ඒක එහෙම නොවන බව. දන්නෝ දනිති.
ඉතින් අවුරුදු තුනහමාරක්ම නොනමින් වල්පල් ලිව්වා ඇති. ආයෙමත් දවසක නියම නමින්ම එන්නම්. නොකියාම යනවට වඩා නොදු‍ටු හිතවතුන්ගෙන් සමුගෙන යාම හොඳයිනේ.  ඔබේ දයාබර දිරි ගැන්වීම් වලට බොහොමත්ම ස්තුතියි. ඉතින් එහෙනම් යන්න අවසරයි!!!.

Wednesday, September 11, 2013

අයිශ්චයිරිය එහෙමයි!!!

විස්මයක් ඇයි මේ
පිල්ලේ මැතිණියනි ඔය
අයිශ්චයිරිය එහෙමයි
ගෝත්‍රිකයන්ගේ ලොව

මෙ රටේ සිටින්නේ
කෑලි, ගෙඩි, බඩු පමණය
මවුන් සොහොයුරියන්
දියණියන් මෙහි කොහි වෙද ?

එක හමාරේ දැරියද
අසූ නමයැති මැහැලිද
කෑලි, ගෙඩි, බඩු පමණකි
අමනයන්ගේ ලොව තුල

ඒ ගෙඩි, කෑලි, බඩු ටික
පල්ලි, පන්සල්, කෝවිල්
තුල සරණය සොයයි
හෙම්බත්ව පීඩනයෙන්

ආගමේ නාමෙන්
පල්ලි, පන්සල්, කෝවිල්
තුල වැඩ හිඳින්නෙත්
දේව වෙස් ගත් යකුන්, රකුසන්

පෙනෙන්නැති ඔබවත්
කෑල්ලක් ලෙස රසවත්
විවාහ ඇරයුමක් සේ
පිටවුනේ ඒ මනදොළ

වෙන රටක සිදුවුනි නම්
පදවි අහිමිව දඟ ගෙහි
නඩු, බඩු දෙකම මෙහෙ
හාමුදුරු රජ ඇත්තගෙ

මොන මොන පරික්ෂණ
කළත් ඉන් නැත කම් පල
කළ යුතු වේය වෙදකම
හේතුව සොයා දැන ගෙන

හැකිනම් එවනු මැන
සාම සාධක මුළුවක්
මානසික වෙදුන්ගෙන්
පමණක් සැදුම් ලත්වූ

අහන්න දකින්න ලැබෙන බොහෝ දේ ගැන ඇතිවුන කළකිරීම නිසා මේ ටික ලියවුනත් එය පල කිරීම පමා කලේ ඉන් සුගතියක් වේදැයි සිතමින්. ප්‍රතිපලය නොව හේතුව ප්‍රශ්න කළ යුතු යුගයක අපි සිටිමු. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර එකිනෙකා හා පැවතිය යුතු ගෞරවය බිඳ වැටීම මීට හේතුවද?
පැරණි සමාජයේ මානසික බිඳ වැටීම් හමුවේ පන්සල ඒ සියලු දුක් නිවන තැනක් වුනා. අද එහි එදා පැවති ගෞරවය මෙන්ම ‍රැකවරණයද නොමැත. ස්ත්‍රී දූෂණ වලින්ද පෙරමුන ගෙන ඇති මානසික රෝගී සමාජයකට අවශ්‍ය තරම් මානසික වෛද්‍යවරුන් අපට සිටිනවාද?