-->

Monday, October 29, 2012

"෴කර්ම෴ කියැවීම"

කර්ම.... ජීවිතයේ සිදුවීම් අපටද නොදැනී අප ලුහුබැඳ එයි. අපේ මනස තුල යටපත්ව ඇති අපට අමතක ඒ සිදුවීම් අපව මෙහෙයවයි. ප්‍රසන්න ජයකොඩිගේ "කර්ම" පිළිබඳ මගේ කියවීම එයයි. සිනමා පටය මා තේරුම් ගැනීමට යොමුකළේ එහි තිබූ රූපරාමු දෙකක් තුලිනි. මුලු සිනමා පටයේම වඩා වැදගත් රූප රාමු දෙක එයයැයි මට සිතුනි. ඒ අතදරුවෙකු ලෙස මවගේ තුරුලේ ඔහු කිරි උරා බොන විට ඔහුගේ පියා පැමිණ මව අමතමින් මහ හඬින් දොරට දොරට ගසන විට මව වහා ඔහු ඇකයෙන් ඉවත් කිරීම නිසා ඔහු වේදනාවෙන් හඬන දසුනත් සිනමා පටයේ අවසාන දර්ශන පෙල අතර ඇති ළැම නිරුවත් ඇගේ උකුළ මත ඔහු කුඩා දරුවෙකු මෙන් නිදන දසුනත්ය. 
හුස්ම ... එය ජීවිතයයි. සිනමා පටය පුරා තදින් හුස්ම ගන්නා හඬ අවස්ථානුරූපීව ඇසේ. හුස්ම ගනිමින් හඬමින් අපි ජීවිතයට එමු. අපේ හැම ක්‍රියාවකදීම එම හුස්ම ගැනීමේ වේගය අඩු වැඩි වෙයි. කෝපයේදීද, සතුටේදීද, ලිංගික ක්‍රියාවේදීද අවසන ජීවිතයෙන් බැහැරව යන විටදීද හුස්ම වල රිද්මය වෙනස් වෙයි. ඒ රිද්මය, ඒ වෙනස අප තේරුම් ගන්නේ කෙසේද? එය ජීවිතයයි. ඔහුට එම වේගවත් හුස්ම වැටීම ඇසුනේ මවගේ තුරුලෙන් ඉවතට විසිවී වේදනාකාරී හඬා වැටීම අතරේය. එබැවින් එම හුස්ම වැටීම ඔහුට වේදනාවක් සේම කුතුහලයකි. පියා සමග ඇති නොපහන් බව මේ හුස්ම වැටීම හා සම්බන්ධය. මවගේ අවසාන මොහොතේ ඇයගේ තදබල අවසන් හුස්ම ගැනීම දෙස ඔහු ඇස් හැර බැලීමට හෝ අකැමැතිය. යාබද නිවසේ ඇසෙන හුස්ම ගැනීම් ඔහු කළඹන්නේ මේ ඔහු මනස තුල තැන්පත් සිදුවීම් නිසාය. එහෙත් අවසන ඇය තුලින් ඔහු නැවත ඉපදෙයි. ඔහු තුලවූ ඔහු කළඹන "කර්මය්" නිවී යයි.
සිනමා පටයේ රූපරාමු චලනය වීමේ සහ සංගීතය මුසුවීමේ නොගැලපීම් මට දැනුනද අනිකුත් සිනමා පට හා සැසඳීමේදී ප්‍රසන්නගේ ප්‍රයත්නය අගය කළ හැක්කකි. සමහරවිට මට නොතේරුනද එසේ රූපරාමු චලනයෙන් සහ සංගීතය මුසු කිරීමෙන් ඔහු වෙනත් යමක් අපේක්ෂා කළාදැයි නොදනිමි. මගේ අත්දැකීම් වලට අනුව මෙවන් සිනමා පට තේරුම් ගැනීමට ඒවා කිහිප වරක් නැරඹිය යුතුය.
මෑත දිනක අශෝක හඳගමගේගේ "විදූ" රූපවාහිනියේ ප්‍රචාරය විය. අහම්බෙන් මට එහි අවසාන කොටස නැවත නැරඹීමට හැකිවිය. විදූ නොනැවතී දිව එයි. පාසැලේ තාප්පයට නැගී අපහසුවෙන් වේදිකාවට ගොඩ වීමට උත්සාහ කරන දසුන අස්සේ මට එය මින් පෙර නරඹන විට නොදු‍ටු දෙයක් දිස්වුනි. ඒ එම පාසැලේ නම වන "කන්නන්ගර විදුහල" යි. කන්නන්ගර විදුහල්වල සිටි දේශපාලකයන් ලඟ නොනැමෙන ප්‍රතාපවත් විදුහල් පතිවරුද, නොනැවතී දිව එමින් කන්නන්ගර විදුහල් වල උස් තාප්පයෙන් නැගී සමාජ වේදිකාවට ගොඩ වන හති වැ‍ටුන විදූ නම්වූ කන්නන්ගර දරුවන්ද ඒ එක රූපරාමුව ඔස්සේ මසිතට පැමිණිනි.
මෙපරිදිම "කර්ම" දෙස ඉවසිල්ලෙන් සිදුවන්නේ කුමක්දැයි බලා සිටි මට කම්පනයක් ඇති කරමින් මා ඉහත සඳහන් කළ රූප රාමු දෙක අවසන දක්නට ලැබිනි. ඒ මා "කර්ම" කියවූ අන්දමයි. ඔබේ කියවීම මීට වෙනස් විය හැක.
"කර්ම" මීට වඩා වෙනස් ලෙස කියවූ කෙනෙක්ද එදා මට දක්නට ලැබිණි. පන් මල්ලක් ‍රැගෙන සුදු ජාතික ඇඳුමකින් සැරසී ගත් වයස හැත්තෑවක පමණ උපාසක මහතෙකි ඒ. බුදුන් වදාළ "කර්මය" කියවීමට පැමිණ සිටි, අප සිටි අසුන් පෙළෙහිම වාඩිවී සිටි ඔහු, ප්‍රසන්න ජයකොඩිගේ "කර්ම" දෙස් දෙවොල් තබමින් කියැවූ අයුරු නම් අපූරුය.

5 comments:

  1. විදු නම් මමත් බැලුවා අහම්බෙන්.. ඔබ තරම් අවදානයෙන් නොබැලු නිසා මට අර වැදගත් ටික සිතට දැනුනේ නැහැ..

    ReplyDelete
  2. හොද විස්තරයක්.. ෆිල්ම් එකනම් ඉතින් බලන්න වෙයිද කියන්න දන්නේ නෑ..

    ReplyDelete
  3. මටත් තවම මේ ෆිල්ම් එක බලන්න බැරිවුණා. මටත් හිතෙන්නේ ෆිල්ම් එකෙන් වැදගත් ඉසව්වක් කතාකරනවා කියලා

    ReplyDelete
  4. හොඳ විවරණයක්!!! ෆිල්ම් එකක් බලන්ට ඕනි කියන අදහස හිත තුල ඇති උනා. නලු නිලියන් පිලිබඳ විස්තරත්, දැම්මානම් හොඳයි කියලත් හිතුනා.

    ReplyDelete
  5. ප්‍රසන්නගේ කලින් ෆිල්ම් එකත් බලන්න බැරි වුනා මිස්ටේක් එකකින්. මේක නම් අනිවාර්යෙන්ම බලන්න ඕනේ. ප්‍රසන්නලා එක්ක වැඩ කරපු මගෙ අයාළුවෙක් නම් කිවුවේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් කෙනෙක් කියලා.

    ReplyDelete