Thursday, May 23, 2013

"මෙහෙමත් වර්ගීකරණයක්"

මහාචාර්යවරු තිදෙනෙක් පොදු විවේකාගාරය තුළ සුහද සාකච්චාවක. විටෙක දේශපාලනයද, විටෙක රටෙහි ආර්ථිකය ගැනද මෙන්ම තවත් කී නොකී බොහෝදේ ඔවුන්ගේ මාතෘකා වී තිබින. ඒ අතරට සපැමිණෙන කවට කතා බහට අනුකූලව ඇසුනේ කොක් හඬලා සිනාසෙන ප්‍රමුදිත බවයි.
මේ සුපසන් කතා බහ අතරේ එක් අයෙකුගේ ජංගම දුරකතනය නාද වුනා. එහි සඳහන් අංකය කියවූ ඔහුගේ ඇහි බැමි අමුතු ආකාරයකට සකස්වී ගිය අතර වහ වහා ඇමතුමට පිළිතුරු බැන්දා.
"ඔව්, ඔව් මම මේ අතර මග. නෑ ..... නෑ ...... කොහොමටත් අද එහෙම වෙන්නෙ නැහැ. ඔව් ඉක්මනට එනවා. ඉක්මනට එනවා. හරි හරී මට අමතක වෙන්නෙ නැහැ."
ඇමතුම විසංන්ධි කළ ඔහු තුෂ්නිම්භූත වුනා. ඉන් අනතුරුව වඩාත් සිදුවූයේ අනෙක් දෙදෙනාගේ කතා වලට ඔහු හූමිටි තැබීම පමණි. සුලු කාලාන්තරයකින් අනතුරුව අනෙක්  දෙදෙනාගෙන් එක් අයකුටද දුරකතන ඇමතුමක් ලැබුනි. දුරකතනයේ අංකය දෙස බලමින් "හපෝයි" කියැවුන ඔහු හුන් තැනින් නැගි‍ටුනේ හරියටම විදුලු සැර වැදුනකු මෙනි.
"ආ ඔව් ඔව් මම මේ ඉන්නෙ සුපර් මාර්කට් එකේ. ...ඔක්කොම හරි. නෑනෑ අද නම් වරද්දන්නෙ නෑ."
දුරකතනය විසංන්ධි වුනා. නමුත් ඔහුගේ මුහුණ සුදුමැලි පාංඩු පාට වෙස් ගෙන තිබුනි. ඒ හා සමඟම ඉතිරිව සිටි අනෙකාගේද දුරකතනය නාදවුනා. "ජංගම පොලිස් සේවය" යැයි සිනාසෙමින් අනෙක් අයට කියමින් ඔහුද එකිනෙකට පරස් පර පිළිතුරු සපයනු පෙනුනි.
සුහද කතා බහ ඇන හිට තිදෙනාම මොහොතක දෙකක නිශ්ශබ්දතාවයක.
"කවුද බං ඇත්තටම මේ ජංගම දුරකතනය හොයා ගත් එකා?. මේක නොගෙනාවොත් ඒත් කචල්. off කළොත් ඒත් කචල්. පැය විසි හතරෙම පොලීසිය අපේ පස්සෙ."
"හ්ම්ම්ම් ..... මොනව කරන්නද? පිරිමි ඉන්නෙ වර්ග දෙකයි බං. B සහ AB."
"ඒක ඇත්ත B - බය, AB - අම්බානක් බය"
කාටද මේ බය? එය සඳහන් කළ යුතුම යැයි මම නොසිතමි. එහෙත් ස්ත්‍රී පාර්ශවයේ අර්ථ දැක්වීම වූයේ B - භයානක, AB - අති භයානක යන්නයි. එහෙයින්ම ජංගම පොලිස් සේවය නොවැළැක්විය හැකි යැයි කියනු ඇසුනි.

Thursday, May 9, 2013

ජන කවි ස්වර රටා

ජන කවි කියන්නෙ අපේ ගැමි සංස්කෘතියේ ස්වර රටා විදහා පෙන්වීම. ඉපිද මියෙන බොහෝ හැඟීම්, දැනීම් කවියක් තුල සඟවා ඉවත විසි කොට සිත සංසුන් කර ගැන්ම කෙතරම් අපූරුද? එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ගෙතුනු මේ කව්, ගී, රස පූර්න වන්නේ ඒවායෙහි අව්‍යාජ බව මෙන්ම සරල බස් වහර නිසාය. ජන ජීවිතය හා බැඳුන එක් එක් ආකාරයේ ජන ගායනා අතර ගොයම් කවි, කමත් කවි, නෙළුම් කවි, පැල් කවි, පාරු කවි, ගැල් කවි, කුරක්කන් කවි, පතල් කවි, පිරුළු කවි, තේරවිලි කවි, උපදෙස් කවි, නැළවිලි ගී, බඹර කවි, ධීවර කවි මෙන්ම තවත් විවිධ ජන ගී අපට දක්නට ලැබෙනවා.  මේ අතර ඇති සමහර උපදෙස් කවි අකාලික ලෙස අදටත් ගැලපෙනවා.

ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ    කපනු
බො‍රැල්ලේ තරම දැන ගෙන උඩ    පනිනු
කඩුල්ලේ තරම දැන ගෙන වැට      බඳිනු
තමන්ගේ තරම දැන ගෙන කල්      අරිනු

අඳුරු කරුවලේ පඳුරට මුවා          වෙලා
විදුලි එළිය දැක ගිනිහුල ළිඳේ         හලා
අනුන් ලියන් දැක තම ලියට තල     තලා
දුවන මුවන් දැක නොදමවු නෙළූ     පලා

ගොහොරු මඩේ පය තද කර යන්ට   එපා
පාරු පදින සයුරේ පීනන්න             එපා
මෝරු සමග අමු මස් වළඳන්න        එපා
මාරු වුණත් උගතුන් හා වාද           එපා

පිටරට දනෝ මෙහි එති මිල      උපයන්ට
අප රට දනෝ එහි යති ධනවත්     වෙන්ට
පිට රට දනෝ කති බොති දිවි     පවතින්ට
අප රට දනෝ කති බොති මක බෑ  වෙන්ට

කොල්ලන් ගසට ඇර ගස මුල      නොසිටිල්ලා
බල්ලන් බුරා එනවිට පැන           නොදුවල්ලා
සෙල්ලන් කඩේ බඩු තර‍ඟෙට      නොගනිල්ලා
සෙල්ලන් කළොත් නිස්පල වෙයි     දැනගල්ලා