-->

Tuesday, March 29, 2011

"විල්ලියාගෙ වික්‍රම"

"බිරිඳ ඔබ හැර ගියාද?. පෙම්වතා ඔබ රවටා වෙන්ව ගියාද? අත් දු‍ටුවයි සත්තයි. දින තුනෙන් දෙපා ලඟටම ගෙන්වමි. බොරු කාරයන්ට ‍රැවටෙන්න එපා. දරුව..!! මගේ මේ වෑයම ඔබට සේවයක් කිරීම පමණයි."
අනේ මේ මං එහෙම නෙවෙයි ඔය කතාව කිව්වේ. ඒත් දැන් පත්තරවල වගේම සමහර වෙලාවට රූපවාහිනියෙත් අර යටින් යන තීරුවේ ඔය වගේ දැන්වීම් දකින්න ලැබෙනවා. ලංකාවෙ කොයි පලාතෙත් ඉතින් ඔය රස්සාව අගේට කරගෙන ඉන්න අය ඉන්නවා. ඒක හරි ලේසි වගේම ලාබදායි රස්සාවක් නිසාද මංදා මේ වගේ තැන් හතු පිපෙනවා වගේ ඇතිවෙන්නේ. ඒ වගේම අපේ අය රවටන්න වගේම ‍රැවටෙන්නත් අති දක්ෂවීමත් එක හේතුවක් වෙන්න ඇති.
මහනුවර මැණික්හින්න කියන පලාතේ මේ වගේ ස්වයං ‍රැකියා කරන විල්ලියා ගුරුන්නාන්සේලයි දේව මෑණි වරුයි ගෙයක් ගෙයක් ගානේ වැඩ වාසය කරනවා. දවසින් දවස මේ අයගෙ ප්‍රමාණයත් බලා ඉඳිද්දි වැඩි වෙනවා. ඔන්න දවසක් "සුමනසිරි" මහත්තයා පත්තරයක් බලමින් ඉන්න කොට පත්තරේ අන්තිම පි‍ටුව පුරාවටම තියෙන මේ වගෙ දැන්වීම් අතරේ මහත්තයා අඳුනන කෙනෙකුගේ ඡායාරූපයකුත් දැක්කා. මූන පුරා ‍රැවුල වවාගෙන තාපස ඇඳුම් ඇඳගෙන හිටියත් කාලයක් නිතර දෙවේලේ ඇවිත් බැහැ දැකපු මැණික්හින්න පලාතෙන්  ආව පුද්ගලයා අඳුනන්න ඉතින් අමාරු නැහැනේ. මේ මනුස්සයගෙ පුරුදු රස්සාව වුනේ රබන්, බෙර එහෙම හදාගෙන ඇවිත් තැන් තැන් වල ඇවිදිමින් විකුනපු එක. ඒත් අරුමේ කියන්නේ පත්තරේ ඉන්නේ මේ මනුස්සයම වුනත් නම නම් වෙනස්. ".......  විල්ලියා" කියන අමුතු නමක් තමයි තිබුනේ. මුල් නම නොදාන්නෙ ඒ නමින්ම මේ පුද්ගලයා තවමත් පෙනී සිටින නිසා. ඒ කාලේ මෙහෙම වෙළදාමේ යන කොට සුමනසිරි මහත්තයා ඉන්න තැනටත් නිතර දෙවේලේ එනවා. මනුස්සයගෙ වෙළදාමට පොඩි පහේ උදව්වක් එහෙම කරන නිසා සුමනසිරි මහත්තයා එක්ක මේ "විල්ලියා" බොහොම කුළු පඟ වෙලා හිටියේ. ඒත් කාලයක් දකින්න නොලැබී තිබිලා මේ අහම්බෙන් තමයි පත්තරෙන් පෙනී හිටිනවා දැක්කේ. කොහොම නමුත්  "විල්ලියගෙ" අළුත් රස්සාව ගැන නම් සුමනසිරි මහත්තයට හිතට ඇල්ලුවෙ නැහැ. කෝකටත් කියල පත්තරේ දාල තියන දුරකතන අංකයට කතා කළා.
"ඔව්, මේ විල්ලියා ගුරුන්නාන්සේ තමයි කතා කරන්නේ?. ඇයි මහත්තයා මොකක් හරි ප්‍රශ්නයක්ද?"
දැන් ඔන්න ගුරුන්නාන්සේ කතා කරනවා. ඒත් මේ තමන් දන්නා අඳුනන මහත්තයා කියල දන්නෙ නැහැ. සුමනසිරි මහත්තයා තමන්ගෙ නම ගම කියන්න ගියෙත් නැහැ.
"අනේ ගුරුන්නාන්සේ හරි වැඩේනෙ. මගෙ නෝනා පැනල ගියානෙ. මම මේ ළමයි දෙන්නෙක් එක්ක අතරමං වෙලා. මට ඉතින් ඔබ තුමාගෙ පිහිට තමයි", කියල සුමනසිරි මහත්තයා බොහොම දුක් මුසු ලීලාවෙන් කිව්වා.
"බය වෙන්න එපා මහත්තයා. මහත්තයට මොනවද කෙරෙන්න ඕනෑ. නැත්තටම නැති කරන්නද? එහෙම නැතිනම් ගෙන්නල දෙන්නද? ඔය කොයිදේත් මං සතියක් ඇතුලත කරල දෙන්නම්"
ගුරුන්නාන්සේ බොහොම උජාරුවට කියනවා.
"මම මේ අළුත්ගම ඉඳල කතා කරන්නේ. අනේ මට ඕනෙ මේ දරු දෙන්නා ගැන හිතලා නෝනව ආපහු ගෙන්න ගන්න. හොඳයි දැන් මම මොකද කරන්න ඕනෙ?. ලොකු ගානක් යයි නේද ගුරුන්නාන්සේ?"
"මහත්තයා කෙලින්ම බස් එකේ නැගල නුවරට එන්න. ඉන් පස්සේ ඔරලෝසු කනුව ලඟ බස් ස්ටෑන්ඩ් එකෙන් මැණික්හින්නට යන බස් එකක් අරන් මැණික්හින්න ටවුමේ බහින්න. එතනින් ත්‍රිවීල් එකක් අරන් මගෙ නම කිව්වම ගෙදරටම ඇරලවයි. හැබැයි මහත්තයෝ අපේ ගෙදර දවස් තුනක් වත් ඉන්න වෙනවා. එච්චර ලොකු ගානක් යන්නෙ නැහැ මහත්තයෝ වැඩේට. දවස් තුනක ඉඳුම් හි‍ටුම් වලටයි ඔය පූජා බඩු ටිකටයි ඕන්නම් රුපියල් තිස්දාහක් විතර යයි"
ගුරුන්නාන්සේ අපේ සුමනසිරි මහත්තයට උපදෙස් දෙනවා.
"හපෝ.. එච්චර ලොකු ගානක් මා ලඟ නෑනේ ගුරුන්නාන්සේ? බැරිද ඉතින් මට අනුකම්පා කරල ගාන ටිකක් අඩු කරන්න."
සුමනසිරි මහත්තයා ගාන අඩු කර ගන්න පිංසෙන්ඩු වුනා. අන්තිමේදි ඔන්න ගාන රුපියල් දහ අටදාහට බැස්සට පස්සේ මහත්තයා මැණික්හින්නේ එන්න කැමති වුනා. ඒත් ගෙදර හොයා ගන්න අමාරු වෙයි කියල කෙඳිරි ගෑවට පස්සේ "විල්ලියා" ගුරුන්නාන්සේ මැණික්හින්න ටවුමට ඇවිත් ඉන්න බවට පොරොන්දු වුනා.
මේ කතාව වුනේ උදේ නමයට විතර. ඉතින් ඉන් පැය තුනකට විතර පස්සේ ඉඳල විල්ලියා ගුරුන්නාන්සේ සැරින් සැරේ කෝල් කර කර අහනවා එයාගෙ සේවාදායකයා මේ වෙලාවෙ කොයි හරියෙන් එනවද කියල දැනගන්න. ඉතින් සුමනසිරි මහත්තයත් නුවර ඉඳන් ගමන් විස්තර කියනවා. අන්තිමේදි සුමනසිරි මහත්තයා මැණික්හින්න බස් එකට නැග්ගා කිව්වම ඔන්න අපේ ගුරුන්නාන්සේ එයාගෙ ත්‍රීවීලර් එකෙන් මහත්තයා එක්ක යන්න ටවුමට එන බව කිව්වා.
ඉන් පස්සේ විනාඩි පහෙන් පහට ගුරුන්නාන්සේ කතා කරන්න ගත් නිසා මේ කරදරයෙන් බේරෙන්න සුමනසිරි මහත්තයා ජංගමය නිවා දැම්මා.  පහුවදා උදේම ඔන්න ජංගමයට කෝල් එකක් එනවා.
"මහත්තයා කොහෙද ඉන්නේ. මම ඊයෙ කීය වෙනකම් බලාගෙන හිටියද?"
"අනේ ගුරුන්න්නාන්සේ මම ඉතින් ඊයෙ ආවනේ. බස් එකෙන් බහින කොටම නවත්තපු ත්‍රිවීල් එකේ මම නැග්ගා. මම ගුරුන්නාන්සෙගෙ නම කිව්වම හරි හරි කියල ඔන්න එක්ක ගියා කවුද මෑණි කෙනෙක් ගාවට. පටස් ගාල ඒ මෑණියෝ මගෙ වැඩේ කරල දුන්නා." මහත්තයා හිනාවෙමින් කිව්වා.
විල්ලියා ගුරුන්නාන්සෙට හොඳටම කේන්ති ගියා. කවුද කෙනෙක්ගෙ නමක් කියමින් ඇය බොරු කාරියක් බවත් ඔහුගේ සේවාදායකයන් හොර පාරේ ගෙනියන්නේ ඇය බවත් කියමින් බැන වදින්නට වුනා. සුමනසිරි මහත්තයා හෙමින්ම කතාවට තිත තිබ්බා. එතනින් එහාට කතාව නම් මම දන්නෙ නැහැ. ඒත් මේ වගේ හොර බොරු වලට දහස් ගනන් නිකරුනේ මුදල් වියදම් කරමින් ‍රැවටෙන අය කොයිතරම් රටේ ඉන්නවද. නැතිනම් මේ ජාවාරම මේ තරම් මුල් අදින්නේ නැහැනේ.

6 comments:

  1. සහෝ... අද උදේ කෑම එක ඔතලා තිබුණ පත්තර කොලේත් මේ දැන්වීම දැකලා මොනවා හරි කුරුටු ගාම්දෝ නැත්දෝ කියලා සිතුනා. හැබැයි මට කලින් ඒ වැඩේ හොඳට ඔයා කරලා තියෙනවා. මේ වගේ උන් හින්දා වෙන්නේ මිනිස්සු ගැන තියෙන ගෞරවයත් නැතිවෙලා යන එක...

    ReplyDelete
  2. අපෝ මේ වගේ වංචාකාරයෝ අපේ රටේ කොච්චර ඉන්නවද? මිත්‍යාවෙන් මුලාවෙලා ඉන්න අය මේ අයට හැමදාම අහුවෙනව. අපිට දෙයක් වෙන්නේ අපි ගෙනාව කර්ම ශක්තිය අනුවයිනේ. හොද දේ කලාම ඒ නරක විදිහට පලදෙන කර්මත් අහෝසි වෙනව කියලයි මම නම් අහල තියෙන්නෙ. හොද දැනුවත් කිරීමක් නංගි. ස්තූතියි !

    ReplyDelete
  3. මමත් දැන් අවුරුද්දක් තිස්සෙ ට්‍රයි කරණව කෙල්ලෙකුට.කැමති වෙන්නෙම නෑ.විල්ලියටවත් කියල ගුරුකමක් කර ගන්න ඕනෙ.

    ReplyDelete
  4. රොඩී දැහැනින්.. වශීගුරුකම්.. මං ඔය මැණික්හින්නත් දන්නවා.. එකේ ඉන්න ඔය බොරුකාරයෝ ගැනත් හොදටම දන්නවා.. අපෝ අහුවෙන්න නම් එපා.. මේ ගැන හොද ලිපයක්.. ඔය බුරුවන්ගේ ඇඩ් දාන පත්තරේකම තිබ්බා :D

    ReplyDelete
  5. ගොඩක් මිනිස්සු කරදරේක වෑටුනම, අසරණ වුන වෙලාවල් වලට මෙහෙම තෑන් වලට ගිහින් පිළියම් හොයනවා.මේ මිනිස්සු කපටිකම් බොරු බේගල් ඇදබාල ඒකෙන් ප්‍රයෝජන ගන්නවා.

    ReplyDelete
  6. අනේ මන්දා මේ මිනිස්සු ඔය මිත්‍ය පස්සේ දුවන්නේ ඇයි දන්නෑ.හැබැයි ඔය බොරු කාරයන්ට දිගු පැවැත්මක් නම් නෑ.

    ReplyDelete