-->

Tuesday, March 1, 2011

"බොරුවෙන් නො‍රැවටීම"

ජර්මානුවන් ගැන සිහියට නගන විට අපට නිතැතින්ම සිහි වන්නේ ලොවම හෙල්ලු හිට්ලර් නම් ආඥාදායකයාය. එමෙන්ම බොහෝවිට අප අසා ඇත්තේ ජර්මානුවන් ආඩම්බරකාර ජාතියක් ලෙසය. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ජර්මන් ජාතිය හිට්ලර් බල ලෝභයෙන් කළ කුරිරුකම් පසෙක තැබූවිට ලෝකයට බොහෝදේ දායාද කල ජාතියක් ලෙස ප්‍රකටය. එබැවින් එක් අතකින් ඔවුන්ට ආඩම්බරවීමට තරම් බොහෝදේ පවතී.
ජර්මානුවන් ලේසියෙන් පිට‍රැටියන් හා මිතුරු වන්නේ නැත. සිනාවන්නේද  ඉතා කලාතුරකිනි. එහෙත් කිසියම් අයුරකින් අප ඔවුන්ගේ සිත් ගෙන  මිතුරු වුවහොත් එය කාලාන්තරයක් පවතින බව මගේ අත්දැකීමයි.
ගාබී මට සිටිය ඉතා ලෙන්ගතු  ජර්මන් මිතුරියකි. කතා බහ අඩු තමන්ගේ පාඩුවේ නිශ්චලව අධ්‍යාපන කටයුතු කර ගෙන ගිය ඇය මට මුන ගැසී ටික කලකින්ම අප ඉතා සමීප මිතුරියන් වුනා. අප දෙදෙන එක්ව දහවල් ආහාර ගැනීම නොකඩවා සිදුවූ අතර බොහෝවිට ඇගේ පෙම්වතා  බර්නාඩ්ද අපට එකතු වුනා. බර්නාඩ් කුඩා දරුවෙකු මෙන් නිතර සිනාසෙන කිසිවක බරක් පතලක් සිතට නොගන්නා සැහැල්ලු චරිතයක් ඇත්තෙක්. ගාබී කියන කරන කුමක් හෝ අල්ලාගෙන විහිළු කරමින් සිනාසෙන බර්නාඩ් නිසා ගාබීට බොහෝ විට ඔහු සමග කේන්ති ගියා. මේ දෙදෙනාගේ තරහ මරහ මැද මට සිදුවුනේ තුෂ්නිම්භූතව බලා සිටීමටයි. අපේ රටේදී මට දැක පුරුදුවී තිබුනේ පෙම් කරන කාලයේ අනෙකාගේ සිත නොරිදවමින් හැකි උපරිම අයුරින් තමන්ගේ වැරදි වසා ගනිමින් අනෙකා ඉදිරියේ හැකි තරම් විනීතව හැසිරීම බැවින් මේ දෙදෙනාගේ කුලල් කා ගැනීම් මට වටහා ගත නොහැකි වුනා. මේ වෙනස නිසාම ඔවුන් එකිනෙකාට නොගැලපෙන්නවුන් බව මට බොහෝ විට සිතුනා. එහෙත් කුමක් සිදුවුනත් බර්නාඩ් නැවත සිනාසෙමින් පසුදාත් ඇය සොයා පැමිණියා.
එක් දිනක් කිසියම් දෙයකට සිත රිදී ගාබී ඈ තුල තිබූ සියළු තරහ එක විට පිට කරන විට බර්නාඩ් ඇය අස්වසන්නට තැත් කලා. මින් තවත් කිපුන ඇය,
"මේ මගේ විදිය. මේ තමයි ඇත්ත මම. ඔයා ඒ ඇත්තට කැමති නම් විතරක් මා සමග ඉන්න. මාව වෙනස් කරන්න පුලුවන් කියල හිතල මාව ආශ්‍රය කරන්න එපා. මට එහෙම වෙනස් වෙන්න බැරි වුනොත් අපි දෙන්නම අමාරුවේ. අනික ඇයි මම මාව බලහත්කාරයෙන් වෙනස් කරගන්නේ. මම මාව විදියට පිළිගන්න."
කියමින් ඉවතට ගියා. පෙම්වතුන් පෙම්වතියන් කෙසේ හෝ තමන් වෙත රඳවා තබාගැනීමට උත්සාහ කරන පරිසරයකින් ගිය මට මෙය අළුත් අත්දැකීමක් වුනා. මේ ගැන ඇගෙන් පසුව විමසන විට  ඇය මට දුන්නේ මෙවන් පිළිතුරක්.
"මට දෙතුන් වරක් විවාහ වෙන්න වුවමනා නැහැ. ඒ නිසා මට අවශ්‍ය මගේ ඇත්ත චරිත ලක්ෂණ පෙන්වා ඊට කැමති අයෙක්. එසේ නැතිව මට අවශ්‍ය නැහැ ඔහු ප්‍රිය කරන චරිතයක් මා තුල බලහත්කාරයෙන් ඇතිකර පෙන්වා ඔහු සමග එක්වී මගේ සිතේ නිදහස අහිමි කර ගැනීමට"
හ්ම්.... ඉතින් මම මොනව කියන්නද. කතාව සම්පූර්ණ ඇත්තනේ?
ඕනෑම මිනිසෙකු හෝ ගැහැණියක තුල දේව ගතිද, යක්ෂ ගතිද, තිරිසන් ගතිද සම්මිශ්‍රණයවී ඇත. විවාහයට පෙර තමන් විවාහ වීමට බලාපොරොත්තු වන තැනැත්තාට අයත් මේ සියළු ගති ලක්ෂණ යම් පමණකට හෝ හඳුනා ගත හැකි නම් එවිට තමන්ට ගැලපෙන යක්ෂණියක හෝ යක්ෂයෙකු ‍තෝරා ගත හැකි වනු ඇති අතර, විවාහයෙන් මද කලකට පසු තමන්ට ලැබී ඇත්තේ තමන්ට නොගැලපෙන යක්ෂණියක් හෝ යක්ෂයෙකු බව කීමට සිදු නොවනු ඇත.  මේ අරුතින් ගන්නා කළ මගේ මිතුරිය ගාබී ඉතා නිවැරදි නොවේද?

2 comments:

  1. ජර්මානුවන් ගැන ඔයා කියනදේ සහතික ඇත්ත.
    ඔවුන් තමන්ගේ අනන්‍යතාවය රැක  ගැනීමට නිතර උත්සහ කරනවා
    හොඳම උදාහරණය තමයි භාෂාව
    තමන්ගේ භාෂාව පමණක් කථාකිරීමෙන්, ඒ බව තහවුරු වෙනවා.
    පිටරැටියන් තම  භාෂාව, ගති සිරිත් ඔවුන්ගේ රටට ගෙන ඒම ඔවුන් අකමැතිම දෙයක්.
    තමන්ගේ ජාතියේ වුවත් එකපාරටම ඔවුන් මිතුරන් වන්නේ නෑ.
    මටත් විශ්වවිද්‍යාල මිතුරන් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්.

    ReplyDelete
  2. කරන කියන දෙයට නැතිනම් තමාටත් අනුන්ටත් අවංක වීම ජාතියකට අයිති ලක්ෂණයක් විදියට මමනම් හිතන්නෙ නෑ. එය පුද්ගලයාගේ පරිණාමීය තත්වයන්ගේ අවස්ථාවක් විය යුතුය.
    ‍මේ අපේ සමාජයේ වුව ඕනෑ තරම් මෙවැනි අවංක මිනිසුන් සිටිති. විශේෂයෙන්ම දැනට විනාශ වෙමින් යන ගැමි පරිසරයේ අතීත මිනිසා තුල පැවැති මේ අවංකභාවය වර්තමානයේද තරමක් හෝ දැක ගත හැකිය. බොහෝ දුරට ආත්ම වංචාව සහ බොරුවෙන් ජීවත්වීම ස්වභාවය බවට පත්ව ඇත්තේ උගත් ශිෂ්ඨ සම්පන්න කියන සමාජය තුළ බව තමයි සාධාරණ නිරීක්ෂණයක් කරන්නේනම් සොයා ගත හැකිවන්නේ. ඔවුන් ශිෂ්ඨ ලෙස පෙනී සිටින්නේද තමන් තුළ පවතින නරුමත්වය සඟවාගෙන සිටින බැවිනි.

    ReplyDelete