-->

Monday, March 7, 2011

"සන්තූරිට දුක හිතිලා"

"සන්තූරී... මොකදෑ මේ බලාගත් අතේ බලාගෙන අහස පොළොව ගැටලන්නැහේ කල්පනා කොරන්නේ. උඹට කවුරු හරි සෝලි තිව්වා වත්ද මයෙ දුවේ?"
" නෑ ආච්චි අම්මේ... මට තේරෙන්නෙ නෑ. මට මහ මොකද්ද මොකද්ද වගේ. වෙලාවකට හිතෙනවා අම්මයි අප්පච්චියි ගිය දිහාට මටත් යන්න තිබුන නම් කියල. එදා මං අසනීප නූන නම් මාත් කතරගං ගිහින් අර සුනාමියද මොකද්ද කියන එකත් එක්ක අන්තරස්දාන වෙන්න තිබුනා. ඇත්තටම ආච්චි අම්මේ උඹට හිතෙන්නෙ නැද්ද අම්මයි අප්පච්චියි හොරු අරන් ගියා වගේ කියල?"
" අනේ මයෙ රත්තරනේ, ඔව්වා ගැන දැන් විස්සෝප වෙන්න කාරි නෑ. උඹට මං ඉන්නවනේ."
"ආච්චි අම්ම ඉතින් කොයි කාලයක් ඉඳියිද. ඊට පස්සේ මං ...?"
"ඒක නෙවැ මේ උඹෙ නැන්දම්මයි මායි උඹට පෙළවහක් කරල දෙන්න තනන්නේ."
"ම්... හ... පෙළවහ පැත්තක තියල මට හිතෙනවා අර සිල් ඇත්තෝ ඉන්න උපාසිකාරාමෙට යන්න. මයෙ හිත නිතරෝම කියන්නෙ ඒ ගැන."
"උඹ ඉතින් පුංචිම පුංචි සංදියෙදිත් යන්තං කකුල් උස්සල ඇවිද ගන්න පුලුහන් කාලේ අර ගුරු පාර දිගේ හාංදුරු නමක් වඩින කොට දුවගෙන ගොහින් එතනම දණ නමාගෙන වැඳ වැ‍ටුන එකීනේ. එව්ව කරේ ඉතින් මොකදෑ අපි උඹට කරහන් කියල කියල යෑ. මට මතකයි උඹ ඒ කාළෙත් අනික් පොඩි වුන් ලොකු වුනාම ඉස්කෝළෙ නෝනලා, දොස්තර නෝනලා, නේස් නෝනලා වෙනවා කිව්වත් උඹ කිව්වේ ඉතින් මහණ වෙනවා කියලනෙ. අනෙ අප්පා මං දන්නෑ උඹ මෙව්වා සංසාරේ අරගෙන ආව දේවල්ද කියල. නැත්නන් අහවල් කාරියකට බං ආයෙත් වංගියක් මේ මහණ වෙන කතා කියවන්නේ?"
"දන්නෑ ආච්චි අම්මේ, මටත් හිතා ගන්න බෑ ඇයි මට එහෙම හිතෙන්නේ කියල. මට ලඟකදි ඉඳල හිතිල තියෙන්නේ මගේ මේ දිග කෙස් වල්ලත් මහ කරදරයක් කියල. වෙලාවකට හිතෙනවා සේරෝම ටික බූ ගාලා දාන්න."
"මං දන්නවා අර සාෂා කොල්ලා තමයි උඹෙ ඔය විකාර කතා වලට පොහොර දැම්මේ කියල. ආවදෙන්කෝ උන්දෑ මේ හතර මායිමේ මට මුලිච්චි වෙන්න. කියාපන් ඌට උගෙ ඔය බණ කියන්න වෙන කාව හරි හොයා ගන්න කියල."

3 comments:

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතMarch 7, 2011 at 1:26 PM

    අනේ අර දඟකාර කිරිල්ලියෙක් වගේ වැස්සේ නටාපු, අත්තම්මත් එක්ක හුරතලේට රණ්ඩු අල්ලපු සන්තූරිට මොකද උනේ? ඔය අත්තම්මට තේරිලා තියෙන්නේ සාෂා කියන්නේ ගින්දර නෙවෙයි කියලා. සාෂගෙ නිවිච්ච හිතයි, සන්තුරිගෙ දඟකාරකමයි එකතු වුනොත් කොච්චර ලස්සන වේවිද...

    ReplyDelete
  2. කාලෙකින් සන්තූරිව දැක්කේ....... :D

    ReplyDelete
  3. @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:
    ඇත්තටම මටත් හිතිල තියෙන්නේ දඟකාර කිරිල්ලියෙක් වගේ වැස්සේ නටාපු, හුරතලේට රණ්ඩු අල්ලපු, සිංදු කිය කිය නටපු සන්තූරිට මොකද උනේ කියල? එයාගෙ සතුට හොරු අරන් ගිහින් නේද?
    @හා පැටික්කි : මං දන්නවා ඔයා සන්තූරිට කැමතියි කියල. ඔන්න සන්තූරිත් ඔයා ලියන ඒවා හරි ලස්සනයි කිව්වා.

    @Hero: කනගා‍ටුයි ඔයාගෙ comment එක මෙහි පළ කරන්න බැරි එක ගැන. අසභ්‍ය දේ ගැහැණු අයගෙන් අහලා මෙහෙම ප්‍රසිද්ධ කරන්න ඕනෙ කියල හිතෙන්නෙ ඇයි කියල හොයල බැලුවොත් නරකද? මට නම් හිතෙන්නේ ඕක ලෙඩක්. මේ ටික ලිව්වේ ඔයාගෙ අසනීපය ගැන අනුකම්පාවෙන්. තරහක් නැහැ.

    මැණික්

    ReplyDelete