-->

Thursday, March 17, 2011

"බලාගෙනයි !!! කෙල්ලො වසයි"

පහුගිය දවස් ටිකේ වැඩිපුරම කිව්වේ කතන්දර. ඒත් ඒ එකක් වත් ගොතපු කතන්දර නම් නෙවෙයි. සැබෑ ලෝකයේ අපි අතරම ජීවත් වෙන අයට සම්බන්ධ සත්‍ය සිද්ධි නිසා මට වැඩි වෙහෙසක් නොගෙන ඒවා ලියන්න පුළුවන් වුනා. අද කතාවත් එහෙම එකක්.
අද කාලේ මෝස්තරයක් තමයි පාසැල් වල තියන උත්සව වලට ප්‍රභූන් කියල බෝඩ් ගහ ගත්ත උදවිය ගෙන්නන එක. විදුහල්පතිතුමා හරි තුමිය හරි වැඩියෙන්ම කැමති ඉතින් මැති ඇමති ගොල්ල ගෙන්න ගන්න. ඒත් ඉතින් ඔය කවුරු ආවත් කරන්නේ ළමයින්ගෙ උත්සවේ කඩා කප්පල් කරන එක කියලයි මට නම් හිතෙන්නේ. කතා කරන්න ගත්තම මේ අයගෙන් වැඩි දෙනෙක් වැඩකට ඇතත් නැතත් තමන් දන්න හැම දෙයක්ම කියල ඉවර කරල තමයි ස්ටේජ් එකෙන් බහින්නේ.
මේ සිද්ධිය වුනේ ප්‍රසිද්ධ බාලිකා පාසැලක. පාසලේ උත්සවයකට ආරාධනා කරල තිබුනේ ප්‍රදේශය බාර ඇමති කෙනෙකුට. අපි කියමුකො ඒ තමයි ලොකුම ඇමති කියල. ඉතින් ඇමතිතුමා කතාව පටන් අරන් දැන් පැයකටත් වැඩියි. කෙල්ලෝ ටිකට දැන් හොඳටම ඇතිවෙලා ඉන්නේ. මොනව කරන්නද නවත්තන පාටක් පේන්න නැහැ. හැම පැත්තටම ඇඹරි ඇඹරි නිදි කිරා වැටි වැටි වැඩි දෙනෙක් ලඟ ඉන්න අයත් එක්ක කතාව. ඔන්න හිටිය ගමන් මයික් එක වැඩ කරන්නෙ නැතිව ගියා. ප්‍රශ්නයක් නෑ. ආයෙමත් තත්පර ගානකින් හරි ගියා. ඒත් මෙන්න ආයෙමත් තව ටිකකින් වැඩ කරන්නෙ නැහැ. ඒත් ආපහු හරි ගියා.  මේ වැඩේ සැරින් සැරේ වීම නිසා අපේ ඇමති තුමත් මයික් එකට තට්‍ටු කරනවා ආයෙ කතා කරනවා.
"ම්... මේකෙ මොනව හරි ප්‍රශ්නයක් වගෙයි.  මොකද මේ?"
කියල ඇමතිතුමා ගුරු මංඩලය දිහා බලන්න ගත්තට පස්සේ සංවිධායක කටයුතු බාර ගුරුතුමිය දුවගෙන ගිහින් පාසලේ ශිෂ්‍ය නායිකාවන් හමුවුනා.
"නෑ මැඩම්, අපිට නම් ප්‍රශ්නයක් තියනවද කියල හොයා ගන්න බැරිවුනා. අපිත් මේ දඟලන්නේ ඒකයි"
කියමින් හරිම කළබලේකින් එහෙ මෙහෙ දුවමින් ශිෂ්‍ය නායිකාවන් මයික් එකට සම්බන්ධ වයර් චෙක් කරන්න ගත්තා.
දැන් මේ කතා කර කර නවත්තමින් මයික් එකට බනින ඇමති උත්තමය දිහා බල බල කෙල්ලො ටික සේරම හිකි හිකි ගගා හිනාවෙන්න පටන් අරන්. දන්නවනේ කෙල්ලො රෑනක හිනාවට අහුවුනාම වෙනදේ. ඒත් අපේ ඇමතිතුමාට තව කතා කරන්න ගොඩක් දේ තියන පාටයි. තවම ස්ටේජ් එක උඩ. කොහොමින් කොහොම හරි කඩින් කඩ ඇහුන ටිකත් අන්තිමට නැවතුනා. ඉන් පස්සේ ඇමතිතුමත් ස්ටේජ් එකෙන් බැහැල තමන්ගෙ ආසනේ වාඩිවුනා.
ඒත් ඉන් පස්සේ වැඩ ටික නම් අපූරුවට කෙරුනා. අර මයික් ලෙඩේ ඉබේම නැවතුනා. කොහොමද එහෙම වෙන්නේ? ලොකු ඉස්කෝල වල තියන ඔය උපකරන සවි කරන එක කරන්නේ පාසලේ ශිෂ්‍ය නායිකාවො. ඇමති තුමාගෙ වැඩකට නැති කතාව නවතින්නෙ නැති තැන කෙල්ලො ටික කරල තියෙන්නේ මයික් එකට සම්බන්ධ ස්විච් එක සැරින් සැරේ off කරල අන්තිමට එක තැනක වයර් එකකුත් ගලවලම දාලා.
ඉතින් මේ කතාව කියවන ඇමති ගොල්ල හරි වෙන ඉස්කෝල වල කතා පවත්වන්න යන ප්‍රභූන් හරි ඉන්නවනම් මතක තියා ගන්න මයික් එක නැවතෙනවා කියන්නේ කතාව ළමයින්ට අහගෙන ඉඳල ඇතිවෙලා කියලයි. ඒ වගේම අපිට වැදගත් දේ ඒ අයට වැදගත් නැති නිසා කතා කරන කොට කෙටියෙන් ළමයින්ට අදාළදේ විතරක් කතා කරන්න. ඊටත් වඩා හොඳයි ළමයින්ගෙ උත්සව තමන්ට අදාළ නැත්නම් ඔය වගේ ආරාධනා බාර නොගෙන ඉන්න එක. අප්‍රසන්න දේ නවත්තන්න ළමයින්ට කරන්න පුළුවන් අහිංසකම විරෝධය තමයි මේ දක්වල තියෙන්නේ. ඒත් ඒක වැඩිහිටි අපි හැමෝටම පාඩමක්.

1 comment: