-->

Friday, March 25, 2011

අලකොල ඇඹුල

හැමදාම කියන කතා වලට වඩා වෙනස් දෙයක් අද ලියන්න හිතුනා. මේ දවස් වල එළවළු ඉතින් ගිනි ගනන් නේ. ඒත් ගමේ ගොඩේ අයට නම් වත්ත පිටියෙන් මොන මොනව හරි දෙයක් හොයා ගන්න පුළුවන්. ඒත් ඒ වගේ උයන්න පුලුවන් දේවල් අඳුනගන්න එක වගේම ඒවා උයන්නෙ කොහොමද කියන එක වැඩි දෙනෙක් දන්නෙ නැහැ. ඉතින් අදින් පස්සේ වරින් වර ඒ වගේ මම දන්න ගමේ කෑම  ගැන ලියන්න ඕනෙ කියල හිතුනා.
වෙල් අලකොල ඇඹුල ඉන් එකක්. නියම ක්‍රමයට උයා ගන්න පුළුවන් නම් ඒක විතරක් ඇති බත් කන්න. හැමදාම කන බෝංචි, බ‍ටු වගේ එළවළු වලට වඩා මේ වගෙ වෙනස් දෙයක් ඉව්වම ආසාවෙන් කන්න පුළුවන්. ඒත් ලොකුම දේ හරි ක්‍රමයට උයා ගන්න එක.  නැත්නම් ඉතින් කට කහන්න ගත්තොත් වෙච්ච් මහන්සිය අහක යනවා. කොහොමද ඉතින් හරි විදියට උයන්නේ?.
පළවෙනිම කාරනේ තමයි උයන්න සුදුසු අලකොල අඳුනගන්න එක. නැත්නම් ඉතින් වෙල් අලකොල කියල හබරල ඉව්වොත් කාල ගොඩයි. වෙල් අලකොල වල කොලේ පුංචියි. වර්ග දෙකක් තියනවා. එකක නාරටිය යන්තම්  රතු පාටයි. අනික යාන්තම් කොල පාටයි. දිය සීරාව තියන කුඹුරු අවට තමයි වැඩිපුර හැදෙන්නේ. මේ අලකොල වල ගොබය තමයි උයන්න ගන්නේ. මුලින්ම මේ ගොබ හොඳින් සෝදලා අව්වේ දාලා මැලවෙන තුරු වේලා ගන්න ඕනෙ. එහෙම කරන්නේ වතුර ගතිය ඉවත් කරන්න. මෙහෙම වේල ගත්තට පස්සේ නැවත වතුර එකතු නොකරන්න වග බලාගන්න ඕනේ.
මේ වේලුන ගොබ වල නාරටි වල පිට පොත්ත නූල් ඇරලා සම්පූර්ණ ගොබයම පොඩිවට කපා ගන්න. ඒකට මිරිස්. තුනපහ, ලුනු කුඩු, උලුහාල්, රම්පෙ, කරපිංචා සහ ගොරක අවශ්‍ය ප්‍රමානයට එකතු කරන්න. තියෙනව නම් රතු ලූනු ගෙඩියක් දෙකක් කපල දාන්න. නැතත් එච්චර ප්‍රශ්නයක් නැහැ. වියලි මිරිස් කරල් දෙකක් කැලි වලට කඩා ගෙන සුදු ලූනු ගෙඩි දෙකක් තලා ගන්න. දැන් තෙල් ටිකක් ලිප තියලා එය පැහෙන විට අබ, වියලි මිරිස් කෑලි සහ සුදු ළුනු එක් කරන්න. ඒවා යන්තමින් බැදී ගෙන එන විට සූදානම් කර ගත් අලකොල එක් කරන්න. මෙය මද ගින්නේ ඉදෙන්න අරින්න. වැරදිලා වත් වතුර නම් එකතු කරන්න එපා. එහෙම වුනොත් ටිකක් කට කහන්න ගන්නවා. හොඳින් ඉදී ගෙන එන විට මිටිකිරි ටිකක් එකතු කරන්න. ලුනු ඇඹුල් පදම බලන්නත් අමතක කරන්න එපා හොඳද? දැන් ඉතින් උනු උනුවෙ බත් ටිකක් එක්ක කාලා බලන්නකො රස කොහොමද කියල.

9 comments:

  1. අලකොළ ඇඹුල කියන්නෙ මගෙ ප්‍රියම කෑමක්. ඒත් අපෙ අම්ම ඕක හදන්න දන්නෙ නෑ. ඉස්සර ආච්චි හදල දීල තියෙනව. මෑතකදි කාර්යාලෙ අක්ක කෙනෙක් හදන් ඇවිත් තිබුණ. අර කිව්වත් වගේ හරි පදමට හදාගත්තනම් ඒක විතරක් ඇති බත් කන්න.

    ගමේ කෑම ගැන දිගටම ලියමු එහෙනං!

    ReplyDelete
  2. මෙන්න අර මගේ "මාළු කොඩිතුවක්කුයි...... " පෝස්ට් එකේ තලප කන්න හදාපු වෙල් ගහල ආනම. ඕක කෑවට හදාගන්න විදිය දැනගත්තෙ අද තමා. ඉස්සර මම ඕකට වැඩිය මනාප නැතු උනාට මේක කියෙව්වම ආයෙ හදාඅගෙන කන්න හිතුන.

    http://nawammawatha.wordpress.com/2011/02/21

    ReplyDelete
  3. මම ඔක කල තියනවා, ඉට අමටරව පේර ඇම්බුල, කොල්ලු මාලුව,මය්ය්යොක්කා කොල මැල්ලුම, වගෙ දේවල් මෙ කොළබ හොයා ගන්න වත් නැහෙනෙ. පේර අම්බුල මටක් වෙනකොට දැනටත් කටට කෙළ උනනවා

    ReplyDelete
  4. ඔය අල කොල වල පොටෝවක් දැම්ම නම් මරු... නැත්තන් අනිවා අපේ අය හබරල කොළත් අලකොල කියලා හිතයි.. :D

    ඒ වගේම පුවවන් නම් උයාපු වෑන්ජනේත් පිංතූර කෑල්ලක් දාන්න පුළුවන් නම් මරු..

    ජය වේවා...!!

    ReplyDelete
  5. මැණික් "රසසරණියක්" පටන් ගෙන වගේ

    ReplyDelete
  6. "බිත්තියේ ගහපු අලකොළ" කථාවේ එන්නේත් ඕවාම නේද...?

    ReplyDelete
  7. @hare. ස්තුතියි. හොඳයි ඉඩක් ලැබෙන විට ලියන්නම්.
    @nawammawatha: කාල බලන්නකො මෙ විදියට හදල. ස්තුතියි.
    @Anonymous: ම්.. පේර ඇඹුල නම් මම කාලා නැහැ. ඔව් කොල්ලු මාලුව, මය්යොක්කා කොල මැල්ලුම නම් රසයි. ස්තුතියි.
    @සෝරෝ: මමත් පොටෝ එකක් දන්න හිටියේ. පස්සෙ වෙලාවක බලමු. ස්තුතියි.
    @ayesha : රස නම් කොහොමද මංදා. ස්තුතියි.
    @තිස්ස දොඩන්ගොඩ : "බිත්තියේ ගහපු අලකොළ" කථාව???. මොකද්ද ඒ. මම නම් දන්නෙ නැහැ. ස්තුතියි.

    මැණික්

    ReplyDelete
  8. Don't take green one only use red/brown one

    ReplyDelete
  9. මමත් අහලා තියෙනවා අලකොල කන බවක්. ඒත් කාලා නෑ වෙන්න ඕනේ. කොහෙද ඉතින් අද වෙනකොට ලංකාවට ආවත් පරිප්පුයි කුකුල් මසුයි අලයි අර සැලඩ් ලීව්ස් වලින් හදන සලාදයි විතරනේ කන්න දෙන්නේ...

    මේ වගේ පෝස්ට් නිතරා දානවා නම් මම කැමතියි... අතීතයට ගිහින් හරි රස බලන්න හිතෙනවා එටහ්කොට.

    ReplyDelete