-->

Thursday, May 9, 2013

ජන කවි ස්වර රටා

ජන කවි කියන්නෙ අපේ ගැමි සංස්කෘතියේ ස්වර රටා විදහා පෙන්වීම. ඉපිද මියෙන බොහෝ හැඟීම්, දැනීම් කවියක් තුල සඟවා ඉවත විසි කොට සිත සංසුන් කර ගැන්ම කෙතරම් අපූරුද? එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ගෙතුනු මේ කව්, ගී, රස පූර්න වන්නේ ඒවායෙහි අව්‍යාජ බව මෙන්ම සරල බස් වහර නිසාය. ජන ජීවිතය හා බැඳුන එක් එක් ආකාරයේ ජන ගායනා අතර ගොයම් කවි, කමත් කවි, නෙළුම් කවි, පැල් කවි, පාරු කවි, ගැල් කවි, කුරක්කන් කවි, පතල් කවි, පිරුළු කවි, තේරවිලි කවි, උපදෙස් කවි, නැළවිලි ගී, බඹර කවි, ධීවර කවි මෙන්ම තවත් විවිධ ජන ගී අපට දක්නට ලැබෙනවා.  මේ අතර ඇති සමහර උපදෙස් කවි අකාලික ලෙස අදටත් ගැලපෙනවා.

ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ    කපනු
බො‍රැල්ලේ තරම දැන ගෙන උඩ    පනිනු
කඩුල්ලේ තරම දැන ගෙන වැට      බඳිනු
තමන්ගේ තරම දැන ගෙන කල්      අරිනු

අඳුරු කරුවලේ පඳුරට මුවා          වෙලා
විදුලි එළිය දැක ගිනිහුල ළිඳේ         හලා
අනුන් ලියන් දැක තම ලියට තල     තලා
දුවන මුවන් දැක නොදමවු නෙළූ     පලා

ගොහොරු මඩේ පය තද කර යන්ට   එපා
පාරු පදින සයුරේ පීනන්න             එපා
මෝරු සමග අමු මස් වළඳන්න        එපා
මාරු වුණත් උගතුන් හා වාද           එපා

පිටරට දනෝ මෙහි එති මිල      උපයන්ට
අප රට දනෝ එහි යති ධනවත්     වෙන්ට
පිට රට දනෝ කති බොති දිවි     පවතින්ට
අප රට දනෝ කති බොති මක බෑ  වෙන්ට

කොල්ලන් ගසට ඇර ගස මුල      නොසිටිල්ලා
බල්ලන් බුරා එනවිට පැන           නොදුවල්ලා
සෙල්ලන් කඩේ බඩු තර‍ඟෙට      නොගනිල්ලා
සෙල්ලන් කළොත් නිස්පල වෙයි     දැනගල්ලා

10 comments:

  1. අගෙයි අගෙයි..

    ReplyDelete
  2. ආයේ පාසැල් කාලෙට ගියා වගේ මැණික්. කොච්චර සුන්දර ද අව්‍යාජ ගැමි වහර. මේවා අහන කොට ඉබේම වරදක් කරත්දි උපදේසෙ මතක් වෙනවා නෙ. අද ඉන්න දරුවන් මේ වගේ දේවල් වල වටිනා කම දන්නේ නෑ. පරිගනකයේ එල්ලිලා ඉන්නවා මිසක්. මම දිනක් දහම් පාසැල් ගුරුවරියක ගේ පුතෙක් ගැන ඇහුවා පුතා පරිගනකය දන්නවාද? කියලා. අම්මා එක පාරටම අපෝ පුතාට හොඳට කම්පියුටර් පුළුවන් කියපි. බැලින්නම් පුතා දවසම කරන්නෙ ගේම් ගහන එක. අම්මා හිතන්නෙ එයා ඒකෙන් ඉගෙන ගන්නවා කියලයි. ඔහොම තමයි අද කාලෙ. තුරු සෙවනට ආවම හිතත් නිවෙනවා. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දි. අද අපි හැමෝම හුස්ම ගන්න බැරි තරම් වැඩ වල හිරවෙලා. ඒත් වැඩ අතරතුර වෙහෙස සංසිඳවා ගත් ස්වභාවය හා බැඳුනු පැරණි ක්‍රම වෙනුවට නව ක්‍රම ඇවිත්. එවන් සමහර ක්‍රම පරිගනකය හෝ වෙනත් විද්‍යුත් උපකරණ සමඟ එක්වූ ඒවා. ඒත් ප්‍රශ්නය ඒ නව ක්‍රම වලින් තව දුරටත් සිදු වෙන්නෙ මිනිසා වඩ වඩාත් විඩාවට පත්වීම කියලයි මට හිතෙන්නේ.
      මැණික්

      Delete
  3. සමහර කවි අද තමයි මුලින්ම ඇහුවේ.. ස්තුතියි බෙදා හදා ගත්තට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්. පැරණි දේ සොයා යන්න. වටිනා බොහෝ පාඩම් ඒවායින් උගත හැක.
      මැණික්

      Delete
  4. "අකාලිකෝ ඒහිපස්සිකෝ..." - ජනශ්‍රැතියටත් එකසේ පොදුයි නේද?

    "දර සොයා නොයව් - සතු සොයා වලට යව්
    තම්පලා කඩව් - නැණ නිත්තෙන් පූපිසව්"

    ReplyDelete
    Replies
    1. "අකාලිකෝ ඒහිපස්සිකෝ..." ඔව් එවන් බොහෝ දේ ඇත. ඒ ලියල තියන කවියෙ නම් කුමක් හෝ යටි අරුතක් ඇතිවා වගෙයි. ස්තුතියි ඔබටත්.
      මැණික්

      Delete
  5. අපේ ජන කවියන්ගේ සරල බව එයින් ජීවිතවලට ගත හැකි ආදර්ශය මේ ජනකවි වලින් පිළිබිමු වෙනවා. ඒවා සරල බව වගේම ගැමුරු අරුතකුත් සපයනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. බොහෝ කවි ගැඹුරු, එනම් යටි අරුත් සහිතයි. ඒවා බොහෝ විට සරල මෙන්ම අව්‍යාජ බවින් යුත් නිසා අදහස සිත තුලට කාවදියි. ජනගී ඇසුරෙන් ලියවුන ගීත මෙතරම් ජනප්‍රිය වුනේ ඒ නිසයි.
      "පිලේ පැදුර හේනට අරගෙන යනවා
      එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
      රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
      හිතේ දුකට එතකොට කවි කියවෙනවා"
      ස්තුතියි ඔබටත්.
      මැණික්

      Delete