-->

Monday, January 3, 2011

"සන්තූරීගෙ නටන වැස්ස"

"සන්තූරී.... මේ නා කපන වැස්සේ උඹ මොනව කරනවද කෙල්ලේ?
"ආච්චි අම්මේ... මං නටන.....වා........ මේන් බලන්නකෝ"
" අනේ සීවරන් දෙයියනේ උඹට මොන යකා වැහිලද මේ මහ වැස්සේ තෙමෙන්නේ? මට නම් පේන්නේ උඹට ඉස කුඩිච්චියක් දාන්න වෙයි වගේ?"
" හිහ් ..... හිහ් ....හී ... උඹ කියනදේ මට තේරෙන්නෙ නැහැ ආච්චි අම්මේ. අහගෙන හිටපන් ටිකක් වෙලා. එතකොට උඹටත් ඇහෙයි වැස්ස රබන් ගහන සද්දේ. පේන්නේ නැද්ද මේ උඩ පැන පැන වැස්ස නටන හැටි. වැස්ස මට කියනවා..."සන්තූරී... හිතේ පිරිය යනකම් ඇති පදන් නටපන්. මම රබන් ගහන්නම් කියල."
"අනේ මන්දා... මෙව්වා පිට එකෙක් දැක්කොත් නම් මට උඹ කවදාවත් දීගෙක දෙන්න නම් ලැබෙන එකක් නැහැ.උන් සහසුද්දෙන්ම හිතයි උඹට ඔල්මාදෙ කියල".
"ම්හ්... දීගද ආච්චි අම්මේ .....එව්වා එපෝ.. මට මෙහෙම හොඳා. බලපන් මම වැස්සේ ඉගිලෙන කිරිල්ලියක් වගේ නේද? උඹෙ සීවරන් දෙයියෝ දෙන වැස්ස සංගීතෙත් දාල දෙන්නේ අපිට නටන්න මිස වෙන මොකකටද? ඇයි උඹල මාව දීග දීල අර සුගතන් අයියට විතරක් "හිර" ගේන්නේ?"
"එහෙම තමයි බං. කෙල්ලෝ දීග දෙනවා. කොල්ලන්ට "හිර" ගේනවා"
" ඔය මොන බොරුද ආච්චි අම්මේ?. මම හිතුවා ඌට හිර ගෙනාවම වත් ඌ ගම පුරා ‍රැයක් දවාලක් නැතිව ඇවිදින එක නවතියි කියල. මොන... ඔය යස අගේට ඉන්නේ. ඌ වැටිල ඇති "හිරයක්" නැහැ. අර ඌ එක්ක ආව සුගුනවතී නම් ඔන්න හිටි පිළිමෙ වගේ ඉන්නවා. බයෙන්.... බයෙන්...... කාටවත් කතා කරන්නෙත්. හිනාවෙන්නෙත්. ගමන බිමනත් බිම බලාගෙන. ඒත් මම දැක්කා ඒකිගෙ ඇස්. ඒකිටත් මම වගේ දඟලල හිනාවෙලා ඉන්න ඕනෙ. ඒත් බයයි වටපිටේ උන් බනියි කියල. ඉතින් කවුද ආච්චි අම්මේ හිරේ වැ‍ටුනෙ.?"
" අනේ උඹෙ ඔය විච්චූර්ණ ප්‍රශ්න වලට උත්තර දෙන්න මං දන්නෙ නෑ බං. දැන්වත් වරෙන් ගෙට. තෙමිලා නහින්නෙ නැතිව"

6 comments:

  1. යෙහෙළියක් උදව් කරන උසස් පෙළ සිසුවියක් ඉන්නවා. වයස 22 යි. දුප්පත් දෙමව්පි‍යොන්ට කරදර කරමින් ඇයි තවත් ඉගෙන ගන්නෙ කියල ඇයගෙන් ගමේ අය අහනවලු. දීග නොයවා වයසට යනකම් ගෙදර තියාගන්න හදනවාදැයි දෙමව්පියන්ගෙන් ගම්මු අහනවාලු. දුක හිතෙන්නෙ කෙල්ලට දෙවැනි පාරටත් ලකුණු ඇති තරම් නොලැබුනොත් ඉතින් දීග යනවා මිසක් වෙන යන්න තැනක් නැතිකම.

    ReplyDelete
  2. මරු... මරේ මරු....
    ඔයාගේ පෝස්​ට් වල අමුතු ගකියක් තියෙනවා... ඒක ඔයාටම වෙන් වෙච්ච ​​ශෛලියක් වගේ..
    එළ එළ දිග​ටම ලියන්න..

    ජය වේවා...!!

    ReplyDelete
  3. ලස්සනට ලියලා තියෙනවා. සුභ පැතුම් දිගටම ලියන්න

    ReplyDelete
  4. සන්තූරි තුළින් අපි අපිවම දකිනවා... විශිෂ්ඨ නිර්මාණයක්...
    සන්තූරිගෙ ජීවිත කතාවම කියවන්න බලාපොරොත්තු වෙනවා...
    ඔබට ජය!

    ReplyDelete
  5. නටාපන් කෙල්ලෙ උඹ නටාපන්,
    උඹට ඇතිවෙන තුරුම නටාපන්,

    ලස්සනම ලස්සනයි

    ReplyDelete
  6. @arunishapiro : - ඔව්, වෙන කිසිම මාර්ගයක් නැති නිසා ඔය මාර්ගයේ ගිහින් මග වැරදුනොත් ඉතින් අපේ රටේ ඉවරෙටම ඉවරයි.
    @සෝරෝ: - ස්තුතියි. ඔය ඉතින් මට එක එක වෙලාවට හිතෙන දේවල්. ඔහේ ලියාගෙන යනවා. කාටහරි කියවන්න පුලුවන් මට්ටමේ තියනව නම් මට ඒ ඇති.
    @ayesha:- ස්තුතියි. ඔයාගෙ කවි නම් ඉතින් බොහොම ගැඹුරුයිනේ.
    @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත : - හ්ම්.. අපි අපිවම දකිනවා. ඒ ඒ වෙලාවට හිතුනොත් සන්තූරි ගැන ලියන්න බලන්නම් ලියන්න දිගටම.
    @Ravi :- හොඳයි හොඳයි අපි නටන්න ඉඩ දීලා බලා ඉමු. ස්තුතියි.
    මැණික්(සුළඟ)

    ReplyDelete