-->

Friday, January 14, 2011

"සන්තූරිට මනමාලයෙක්"

"අනේ.. හරිම මහන්සියි කෙල්ලේ. කකුල් කෙඩෙත්තුව අම්මේ..... බැරුවා...... මේ නහින දෙහින වයසට ඔය රට රාජ්ජ වල ගමන් අපිට ඔරොත්තු දෙන්නේ නැතිවා...."
"හා ... හා..... හිටින්න ...  හිටින්න ... මම ඕං ..... පොල්පලා තම්බලා ඇති. හකුරු ඇබින්දක් එක්ක බීවම ආච්චි අම්මට ඔය කෙඩෙත්තුව නැතිවෙලා යාවි."
"හ්ම්... ඒක මිසක්... මං දැක්කා ඕං උඹ හරි අපූරුවට මිදුලෙ රටා තියල අතුපතු ගාල තියනවා. මම ඉන්න කොට උඩ පැන්නට ඔය යස අගේට වැඩ පල තේරෙන්නේ."
"එහෙම තමයි ආච්චි අම්මේ,.. නටන්න, උඩ පනින්න, සිංදු කියන්න හිතෙන කොට එව්වා ඒ ඒ වෙලාවට. වැඩ කරන කොටත් ඉතින් අපි එහෙම තමයි."
"ඔව් ..... ඉතින්..... උඹ වැඩ පල ටික අගේට ඉගෙන ගන්න එක කොහොමත් හොඳයි. ඔය උඹේ ලොකු නැන්දම්ම කියන්නේ විගහට උඹව කැන්දන් යන්න ඕනෙ කියල අර වසවර්තියට"
"හැබෑට.... එහෙනම් මේ ඒකයි උදේ පාන්දරින්ම ආච්චි අම්මා කුකුළත් අතේ ඇන්න නැන්දම්මලා අහ ගියේ. හ්ම්... මම දන්නවනම් අද මම කොහොම හරි ඔය ගමන අංශ වරද්දා තියනව."
"එහෙම කියල කොහොමද මගෙ දුවේ. උඹටත් යන කල දසාවක් තියෙන්න එපායැ."
"ඒකද මම වසවර්තියෙකුට දෙන්න යන්නේ? අනෙ අම්....මේ ..... මට නම් බෑ උන්දෑ එක්ක යන්න. යස අගේට ඉන්න මාව ඇයි ආච්චි අම්මේ උඹ මාරයෙකුට දෙන්නේ?. උඹ හදන්නෙ මාවත් ගල් පිලිමයක් කරන්නද?"
"මම මෙව්වා කරන්නේ ඉතින් උඹේ හොඳටනේ. මම නැති කාලෙක නැත්නම් උඹට මොනවා වෙයිද කවුදෑ දන්නේ?"
" හ්ම්... ඇයි ආච්චි අම්මේ අපිට තනියම ඉන්න බැරි?. කවුද කියල තියෙන්නේ ලෝකෙ හැම කෙනෙක්ම එකම විදියෙ දේවල් කරන්න ඕනෙ කියල.? . මාව ගින්දරට තල්ලු කරන්න එපා ආච්චි අම්මේ. මට පුලුවන් මගේ ගැන බලා ගන්න."
"හ්ම්... හ්ම්... බලමුකෝ බලමුකෝ.."

7 comments:

  1. අයියෝ! මං හිතුවෙ නෑනේ සන්තුරී මෙච්චර ඉක්මනට දීග යන වයසකට ඒවි කියලා. මං හිතුවේ තාම අවුරුදු අටක දහයක කෙලි පැංචියෙක් කියලනේ...

    ReplyDelete
  2. "හ්ම්... හ්ම්... බලමුකෝ බලමුකෝ.."
    ඕං බලන්ටකො වැඩේ. . .

    ReplyDelete
  3. අනේ සන්තුරි ඔහොම හිටපු දෙන් නිදහසේ. මනමාලයෝ එපා. එහෙම උනොත් අගේට හිටපු සන්තුරි පව් දෙයියනේ

    ReplyDelete
  4. සන්තූරිගෙ කතාව හැමදාම බලනවා, ලස්සනට ගලාගෙන යනවා, මැණික්,

    ReplyDelete
  5. ගෙනෙන පණ නළ
    හමන මද නළ (සුළඟ)
    කොයිබදෝ අද
    මන්ද නිහඬව?

    ReplyDelete
  6. @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:
    ඔව් සන්තූරි කියන්නේ මායාවට අහුනොවුනු පුංචි හිතක් තියන ගැහැනු ළමයෙක්
    @හා පැටික්කි : ස්තුතියි ඉතින් හ්ම්.. හ්ම්.. කියනවට
    @raala: ඒකනෙ කියන්නේ. සන්තූරිටත් වෙන වැඩ නේද?
    @ayesha: ඔව් ayesha මාත් කැමතියි සන්තූරිලා හැමෝටම එහෙම ඉන්න තරම් හයිය හිතක් ලැබෙනව නම්.
    @Ravi: අනේ මංදා මාත් ඔහෙ හිතට එනදේ ලියනවා.
    @Anonymous:
    යලි නොලියමියි සිතුවත්
    නිහඬව සිටිනු හැකි වෙද
    ඔබ වන් හිතැතියන් ලඟ
    සුළඟ සිහිලද කියනු මැන මට

    මැණික්(සුළඟ)

    ReplyDelete