-->

Wednesday, March 31, 2010

සංසාර මන්දිර

මීට වසර ගණනකට පෙර පණ්ඩිත කන්නිමහර සුමංගල හිමියන් විසින් පරිවර්තනය කරන ලද "සංසාර මන්දිර නොහොත් ඇමරිකානු දිවැසින් දු‍ටු කර්මය සහ පුනර්භවය" යන පොත මගේ ඇස ගැ‍ටුනේ අහම්බෙනි. මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකදී කියවීමට ලැබුන එය මගේ ජීවිත දැක්ම බොහෝ දුරට වෙනස් කළේය. මෙම කෘතියෙහි මුල් කතෘ ජීනා සෙර්මිනාරා (Gina Cerminara) මෙනෙවිය වන අතර එහි නම Many Mansions ය.  එමඟින් විස්තර කරන්නේ 1877 දී ඇමෙරිකාවේ කෙන්ටකිහි උපත ලබා පසුව "වර්ජිනියා වෙරළේ ප්‍රාතිහාර්යකාරයා" ලෙසින් ප්‍රසිද්ධ වූ දිවැසින් වෙදකම් කළ එඩ්ගා කේසී 
(edgar Cayce (http://en.wikipedia.org/wiki/Association_for_Research_and_Enlightenment), (http://www.caycegoldengate.com/)) 
පිළිබඳවය.  සම්මෝහ නිද්‍රා තත්වයට වැටී රෝගීන් තිස් දහසකට වැඩි පිරිසකට වෙදකම් නියම කොට ඇති මොහු හැම අවස්ථාවකදීම  ප්‍රතිකාර ඔෂධ වලින්, ශල්‍ය කර්මයෙන්, ආහාර මඟින්, විටමින් මඟින්, ජල චිකිත්සාවෙන්, අස්ථි චිකිත්සාවෙන් ආදී නොයෙකුත් ක්‍රම මඟින් ලබා ගන්නා ලෙස ඉතා පැහැදිලි ලෙස උපදෙස් දී ඇත. සාමාන්‍ය ජීවිතයේදී වෛද්‍ය විද්‍යාව ගැන කිසිත් නොදත් සහ ඒ පිළිබඳ කිසි පොතක් පවා කියවා නොසිටි ඔහු  රෝග විනිශ්චය වලදී ව්‍යුහවේදයට (Anatomy) සහ කායික විද්‍යාවට (Physiology) අයත් නියම වචන වලින්ම රෝග තත්වයන් විස්තර කිරීම පුදුම උපදවන සුලු විය. ඔහු හමුවට ආ හැම රෝගියෙකුම පිළිබඳ වාර්තා ඇමරිකාවේ වර්ජිනියා බීච් (Virginia Beach) හි ඔහු නමින් පිහිටවූ ආයතනයක (Association for Research and Enlightenment INC (http://www.edgarcayce.org/)) අදටත් සුරක්ෂිතව  පවතී. මෙම වාර්තා පරීක්ෂා කිරීමට කැමති ඕනෑම සුදුසු කම් ඇති අයෙකුට දැනටත් ඒවා පරීක්ෂා කළ හැක.
එඩ්ගා කේසී රෝගීන්ට වෙදකම් නියම කළා පමණක් නොව ඒවාට මුල්වූ කර්ම හේතුන්ද දැක්වීය. මුල් අවස්ථා වලදී කේසී මෙම කර්ම හේතූන් පිළිබඳව සිට ඇත්තේ බොහෝ කැළඹිලි සහගතවය. හේතුව ඔහු හැදී වැඩුනු ක්‍රිස්තියානු ආගමික පරිසරයේ නැවත ඉපදීමක් ගැන කතා නොකල බැවිනි. එසේම ඔහු බුදු සමයේ සහ හින්දු සමයේ එන ප්‍රධාන ඉගැන්වීමක් වන පුනර්ජන්මය ගැන දැන සිටියේද නැත. මේ කාලයේදී (1927) කේසී පිළිබඳව විස්තර ඇමරිකාව පුරා පුවත් පත් මඟින් පැතිරී යන්නට විය. එබැවින් මුදල් පසු පස යන්නවුන්ද කේසී කරා ආවේය. ඉන් සමහරුන්ට කොටස් වෙළඳ පොළ ගැනද, නිදන් වස්තු ගැනද, රේස් අශ්වයන් ගැනද දැන ගැනීමට උවමනා විය. කිහිප විටක් මෙවැනි දේ සඳහා උදව් කිරීමට උත්සාහ කළද ඒ බොහෝ අවස්ථාවල නිවැරදිව තොරතුරු සැපයීමට අසමත්වූ අතර එවැන්නක් අවසානයේදී තම ශක්තිය පිරිහී ඇති බවත් තමා තමන් සමඟම අමනාපයෙන් පසුවන බවත් ඔහු වැටහිනි. තම ශක්තිය යෙදිය හැක්කේ පීඩිතයන්ට උපකාරී වීමට පමනක් බව අවසානයේදී ඔහුට තේරුම් ගියේය. මෙවැනි උපකාර අන්‍යනට සිදු කළත් ඔහු ඉන් අසාධාරන ලෙස මුදල් ඉපයීමට සිතුවේ නැත. දීර්ඝ කාලයක් වෙහෙසී සේවය කිරීම ඔහුගේ ස්නායු ශක්තියට විශාල හානියක් වූ අතර 1945 ජනවාරි 3 වැනිදා හැටහත්වැනි වියේදී කේසී මෙලොව හැර ගියේය.
මෙම පොතෙහි කර්ම විපාක, කර්මය සහ සෞඛ්‍ය ප්‍රශ්න, මනුෂ්‍ය චරිත වර්ග, විවාහය සහ එහි ගැටළු, හුදකලා වීම, මාපියෝ සහ දරුවෝ, වෘත්තීය දක්ෂතා සහ චරිත ගති වේග පිළිබඳව කේසී වාර්තා මඟින් උපුටා ගැනුන අදහස් දක්වා ඇත. මුල් පරිච්ඡේදයේ (පි‍ටු අංක 32-33) එක් කොටසක් පමනක් ඔබේ අවධානය පිණිස මෙසේ දක්වමි.

"කෙසේ හෝ ඉකුත් දශක කීපය තුළදී අපි වඩාත් අති පණ්ඩිත වී සිටිමු. අපි දන්නා දේ ගැන නැතහොත් දන්නවා යයි සිතා ගෙන සිටින දේ ගැන වැඩි වැඩියෙන් සැක කරන්නට පටන් ගෙන සිටිමු. කිසිවකට ගරු සරු නොදක්වා ඉඳුරන් වහල් කොට ගෙන අප විසින් තනා ගන්නා උපකරණම සරදමකට මෙන් අනෙක් අතට හැරී ඇත. එසේ නිපදවා ගන්නා ලද උපකරණ වලින්ම අපගේ ඉන්ද්‍රිය නමැති ආයුධය අසම්පූර්ණ බවත් ඇති සැටියෙන් වූ ලෝකය පිළිබඳව අපට දැනීමක් ලබා දීම සඳහා ප්‍රමාණවත් නොවන බවත් පෙන්වා දී ඇත. මෙහිදී අපගේ කාලයෙහි මතුව ඇති අමුතු දේවලින් කීපයක් ගැන වත් සඳහන් කිරීම සුදුසුය. රේඩියෝ තරංග, විකිරණශීලතාව හා පරමාණුක ශක්තිය යන මෙවැනි ඉඳුරනට අසු නොවන තරංග වලින් හා ශක්ති ස්පන්දනයන්ගෙන් අප වටවී ඇති බවත් ඉතා කුඩා ද්‍රව්‍ය කැබැල්ලෙක පවා අපගේ සිතීමට වත් අසු කර ගත නොහැකි තරම් විශාල වූ ශක්තීන් අඩංගුව ඇති බවත් සැකයේ සේයාවකුදු ඉතිරි නොකොට ඔප්පු කරයි.
දැන් අපි තරමක් නිහතමානී වී සිටිමු. අපගේ ශරීරය ඇස් හා කන් නමැති කුඩා සිදුරු වලින් යුත් වැසුනු කුටියක් බඳුය. අපට බාහිර ලෝකය පිළිබඳව තොරතුරු එන්නේ මේ සිදුරු තුලිනි. දැන් අපි ඒ බව දැන සිටිමු. අප ආසන්නයෙහි පවා නොයෙක් තරාතිරම් වල ආලෝක හා ශබ්ද විශාල ප්‍රමාණයක් ඇති නමුදු අපට ඒවායින් හසුකර ගත හැකි වන්නේ ඉතා ස්වල්ප වූ ප්‍රමාණයෙකි. කඩයෙන් ශත පණහකට මිළට ගත් බලු නළාවෙන් නැගෙන හඬ අපේ බල්ලාට ඇසෙයි. එහෙත් ඒ හඬ අපගේ ඇසීමේ ඉහළම සීමාවත් ඉක්මවා ඇති හෙයින් අපට නො ඇසෙයි. දැකීම ඇසීම හා ගඳ සුවඳ දැනීම පිළිබඳ වූ අපගේ සීමා වලට වෙනස් වූ සීමා ඇති බොහෝ මෘගයෝත් පක්ෂීහූත් කෘමීහූත් ඇත්තාහ. ඉඳුරන් වහල් කොට ගෙන අපට අසු කර ගත නොහැකි බොහෝ දේවල් ඔවුන්ගේ ලෝකයේ ඇත.
බුද්ධිමත් මිනිසා උඩඟු වී සිටින මනුෂ්‍ය වර්ගයා ගැනම සිතා මවිත වෙයි. ඇති සැටිය දැකීමේදී මෘගයෝත් පක්ෂීහුත් කෘමීහුත් මිනිසාගේම නිපැදවීම් වන සියුම් උපකරණ සහ ඔහුත් ඉක්මවා ගොස් සිටිති. බුද්ධිමත් මිනිසා ඉඳුරනට අසු නොවන මේ නන් වැදෑරුම් වූ වස්තූන් ගෙන් කොටසක්වත් තමාටම අසු කර ගත හැකිදැයි සිතන්නට පටන් ගෙන තිබේ. නිදසුනක් ලෙසින් කිසියම් විදියකින් ආලෝකය හා ශබ්දය දැන ගැනීමට මිනිසාට ඇති ශක්තිය ටිකෙකින් හෝ වැඩි වන සේ අපගේ ඉන්ද්‍රියන් පුහුණු කර ගන්නට හෝ දියුණු කර ගන්නට හෝ හැකි වූවා යයි සිතමු. එවිට අපට කලින් ගොදුරු කොට ගත නොහැකි වූ බොහෝ වස්තූන් ගැන දැන ගන්නට නොලැබේද?. නැතහොත් ටිකක් විශාල වූ දැනීමේ සීමාවක් ඇති පුද්ගලයන් කීප දෙනෙකුන් අප අතර උපන්නාහයි සිතමු. සෙස්සන් දකින්නේ හෝ අසන්නේ හෝ නැති දේ ඔවුන් දකින්නේත් අසන්නේත් නැතිද? තමා තුළ පිහිටි රේඩියෝවකින් මෙන් ඔව්හු දුර සිට ශබ්ද නාසත්ද? තමා තුළ පිහිටි ටෙලිවිෂනයෙකින් මෙන් ඔව්හු දුර සිට රූප නොදකිත්ද?"

ඉතින් ඔබත් හැකිනම් මේ පොත කියවා බලන්න. බුදු දහමින් අපට උගන්වා ඇති බොහෝ දේ එවන් ආගමික පරිසරයකින් නොපැමිණි තැනැත්තෙකු විස්තර කර ඇති අපූරුව එවිට ඔබටත් පසක් වනු ඇත. එමෙන්ම ඔබගේ ජීවිත දර්ශනයත් යම් පමනකට හෝ වෙනස් වේ නම් මා මෙය ලියූ පරමාර්ථයද සපිරේ.

1 comment:

  1. ගොඩක් කාලෙකට ඉස්සර සංසාර මන්දිර මම කියෙව්ව මතකයි. මමත් එදා පුදුම වුණා ඇමෙරිකාව වගේ රටකින් මේ වගේ අත්දැකීම් පැමිණීම ගැන. ඒ වගේම Gina serminara ගේ තවත් කෘතියක් සිංහලට පරිවර්තනය කරල තිබුණ අධ්‍යාත්මික ලෝකය කියල. පරිවර්තනය කාගෙද කියල මතක නෑ.
    එඩ්ගාර් කේසි වගේ දිවැස්වරයෙක් මනුෂ්‍යත්වයට කොයිතරම් සම්පතක්ද?
    ඔයාගේ සටහන හරිම වටිනා සටහනක්. ස්තූතියි ඒකට...

    ReplyDelete