-->

Tuesday, March 16, 2010

ඔජායේ නැ‍ටුම

මේ සිද්ධියට සම්බන්ධ පුංචි අක්කෙකුයි මල්ලියෙකුයි. අක්කගෙ වයස අවුරුදු පහයි. මල්ලිගෙ වයස අවුරුදු තුනයි. දවසක් ගෙදරට නෑදෑයෝ කට්ටියක් ඇවිත් අම්මා කළබලේට ආපු අයට කන්න දෙන්න කුස්සියට වැදිල උයනව. නෑදෑ පාර්ශවයේ කාන්තාවනුත් අම්මගෙ උදව්වට කුස්සියට ආවා. පිරිමි පාර්ශවය පුරුදු විදියට එක කාමරයක බර කතාවක්. වෙලාවත් රෑ අටට විතර නිසා තිතට මත තියන්නත් පටන් අරගෙන.
අක්කයි මල්ලියි එකතු වුනාම කරන වැඩ දන්න නිසා අම්මා කොහොමත් කල්පනාවෙන් ඉන්නෙ. ඔන්න ඔය අතරෙදි හිටි ගමන්ම මල්ලියා දුවගෙන කුස්සියට ආවා. ගියා සින්ක් එක ලඟට. ටැප් එක ඇරලා හොඳට අත සේදුවා. අක්කත් මල්ලි පිටිපස්සෙම ආවා. කිසි කතාවක් නැහැ ආයෙමත් දෙන්නා එක්ක දුවගෙන කුස්සියෙන් එලියට ගියා. ඔන්න තවත් විනාඩියක් වත් යන්න ඉස්සර ආයෙමත් මල්ලියා ආවා. අක්කත් ඒ පිටි පස්සෙම ආවා. කලින් විදියමයි. ටැප් එක ඇරියා. අත සේදුවා. ආපහු ගියා. කුස්සියේ හැමෝම හිනාවෙවී කතාකර කර හිටියත් අම්මගෙ ඇහැට යන්තම් ඔය වැඩේ පෙනුනා. මෙන්න තවත් මොහොතකින් අක්කයි මල්ලියි ආයෙමත් කුස්සියෙ ටැප් එක ලඟ. " මල්ලි තව හොඳට ගොඩක් වෙලා හෝදන්න" කිය කියා ඒ සැරේ නම් අක්කා මල්ලිට උපදෙසුත් දෙන්න අරන්.
අම්මට තේරුනා මොකක් හරි දෙයක් වැරදිලා තියන බව. මල්ලිගෙ මූනත් අඬන්න ඔන්න මෙන්න. "මොකද පුතේ උනේ?. අතට මොකක් උනාද". අම්මා මල්ලිගෙ අත අරන් බැලුවා. මල්ලි කෑ ගගහ අඬන්න ගත්තා. අත ටිකක් රතු වෙලා. දිය බුබුලකුත් ඇවිත්. ඒත් මොකක් උනාද කියල දැන් හැමෝටම ප්‍රශ්නයක්. අක්කයි මල්ලියි දෙන්නගෙන්ම ඇහුවට කියන්නෙත් නැහැ. අක්කා නම් ටිකක් මුරංඩු පාටට බලාන ඉන්නවා.
මල්ලි හොඳටම අඬනවා. අම්මා කිව්වා " මල්ලි හොඳටම අඬලා ලෙඩ වෙයිද දන්නෙ නැහැ" කියලා. ඔන්න අක්කගෙ කට ඇරුනා. "මල්ලිගෙ අත පිච්චුනා". "කොහොමද පුතේ උනේ" අම්මා ටිකක් යාප්පුවෙන් ඇහුවා. "අපි ඔජායේ නැ‍ටුවා" උත්තරේ අක්කගෙන්. "එතකොට කොහොමද අත පිච්චෙන්නේ" අම්මගෙන් ප්‍රශ්නයක්. "එන්නකො අම්මි පෙන්නන්න" . හැමෝම දුවගෙන ගියා මේ දෙන්නගෙ ඔජායේ නැ‍ටුම බලන්න.
අනේ දෙවියනේ, සාලයේ එලල තියන කාපට් එක පැත්තක් ගිනි ගන්නවා. "කොහොමද මේක උනේ". "අපි ගින්දර පත්තු කරල. වටේ ගිහින් ඔජායේ නැ‍ටුවා" ඔන්න අක්කගෙ උත්තරේ. "කොහොමද ඉතින් මල්ලිගෙ අත පිච්චුනේ?" අම්මා අක්කගෙන් ඇහුවා. "ගින්දර ඇවිලෙන කොට මම මල්ලිට කිව්වා අතින් ගහල නිවන්න කියලා" හොඳයි නේද අක්කගෙ උපදේසේ. ඇවිලුන ගින්දරට විතරක් නෙවෙයි උනුවුන කාපට් එකත් නිසායි මල්ලිගෙ අත පිච්චිලා තියෙන්නෙ. ඒත් බැනුම් අහන්න වෙන බයට අක්කයි මල්ලියි දෙන්නා තනියමම ප්‍රශ්නෙ විසද ගන්න බලලා. අවුරුදු තුනේ මල්ලි, අක්කගෙ කීමට ඔය තරම් වෙලා ඉවසගෙන හිටි එකයි ලොකුම පුදුමේ. එදා නම් අම්මට ටිකක් තරහ ගියා. කෝ‍ටුවක් අරන් අක්කට දෙකක් ගහලා තමයි මල්ලිගෙ තුවාල වලට බෙහෙත් දැම්මේ. ඔන්න ඔහොමයි අක්කයි මල්ලියි ඔජායේ නැ‍ටුවේ.

3 comments:

  1. ඕයේයේයේයේයේයේයේයේයේයේ ඔජායේයේයේයේයේයේයේ

    අනේ අම්මේ දරුවෝ දෙන්නට කරදරයක් නොවී ඔයින් බේරුනා ඇති

    ReplyDelete
  2. ඔයා පුංචිකාලේ වෙච්ච‍ දෙයක්ද?.

    ReplyDelete
  3. මට මතකයි අපි උ/පෙ කරන කාලේත් පන්තියෙ ඔයවගෙ ඔජායේ නටලා ඩෙස්ක් කකුලකුත් ගිනි ගත්තා.

    ReplyDelete