Thursday, December 20, 2012

"රුවල් ඉරී ගිය නෞකාවේ"


ජීවිතයත් හරියට මුහුද වගේ. සංසුන් දිය ‍රැල අතර නිශ්චලව ගලා යන ජීවන නෞකාව විටෙක ............ චණ්ඩ රළ මැද නොසංසුන් වනවා. රුවල් ඉරී ගිය නැවක කවුරුන් නවතීද? දියබත්ව සුන්බුන්ව යන නැව් බඳ දැක දැක කාට කෙසේ නවතින්න යැයි කියමුද? 
නියමුවාණනි පිටව යනු මැන. .... 
තවත් නැවතී සිටිනුයේ මන්ද?

රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනි
නොගිලී දල රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ

දෝතට එක් කල වැසි දිය පොවමින් - පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් - උණුසුම
මා ‍රැක ගත් ඔබ ‍රැක ගත යුතුවේ - අද දින
දියඹේ නවතිමි යනු මැන පෙර මග - තනිවම

රුවල් ඉරී ගිය නෞකාවේ .............

සුන්බුන් නැව් බඳ දියබත්වී යයි - හිමිහිට
අත් හල මැන දැන් මෙතුවක් මට බැඳි - සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය - ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් සිත - දැඩි කොට

රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනි
නොගිලී දල රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ

නන්දා මාලනී

Tuesday, December 4, 2012

"දකින සිහිනය"

ඇඟිලි ගනිමින් සිටිමි මම
උදාවන තුරු
දෙසැම්බර් විසි එක....!!!
විනාශව අලු දූලි වනු දක්නට
මේ විසුලු රූපී ලෝකය
උඩු බුරන බලු ‍රැලද සමඟින්

අහා කෙතරම් සුන්දරද ....!!!
දෙසැම්බර් විසි දෙක
නැගෙනු ඇත යුක්තියේ හිරු
මනුෂ්‍යත්වය මිටින් ගෙන
දයාවේ එලියෙන් එකළුවී

Monday, November 19, 2012

"පරිශුද්ධ උතුමනි"

ගංඟානම් ග‍ඟෙන්
පවිත්‍රව ගෙට පැමිණ
සුදු වතින් සිනාසෙන
පරිශුද්ධ උතුමනේ !!
දිය නයි ගඳ මොකද
තොපේ ලඟ
දැනෙන්නේ...??

සුදු නෙළුම් පරවෙලා
කිඩාරම් මල් පිපී
එන්න දැන් පේලියට
ගල් ගසා මරන්නට
පව්කාර ඇය ඉතින්...
ආමෙන් ..... !!!

Friday, November 16, 2012

"෴බිය නොවෙව෴"

අසත්‍යය නැගිටිමින්
දබ‍රැඟිලි ඔසවාවි
සුජාත දියණියේ
බිය නොවෙව
කිසි ලෙසින්

කියමු අපි ...... !!!
දබ‍රැඟිලි යට ඉන්න
අළුත් සත්වයෙක් හෙට
නිමවන්න වන බවද

Thursday, November 15, 2012

ඇය/ඔහු ඔබට ගැළපේද?

පුවත්පතක් කියවනවිට වැදගත් යැයි සිතෙන යමක් ඇත්නම් එම පි‍ටු වෙන් කර ළඟ තබා ගැනීම කුඩා කළ සිටම ඇති මගේ පුරුදු වලින් එකකි. ළඟදී දිනක එසේ තබා ගෙන සිටි පුවත් පත් පි‍ටුවක කොටසක් අහම්බෙන් මා අතට පත්විය. එහි සඳහන්ව තිබූ කරුණු වල සත්‍යය අසත්‍යතාවය ගැන මට කිසිවක් කිව නොහැකි වුවත් මගේ සටහන් කියවන ඔබට ඒ පිළිබඳ විනිශ්වය කිරීමට ඉඩ තබමින් එහි සඳහන් කරුණු මෙය ලිවීමට පාදක කර ගතිමි.
"කර්ම බන්ධන" නමින් මා මීට පෙර ලිවූ සටහනක විවාහ බන්ධන ගැන, ජීනා සෙර්මිනාරා (Gina Cerminara) මෙනෙවිය විසින් රචිත  Many Mansions  නම් කෘතියෙහි සිංහල අනුවාදය වන කන්නිමහර සුමංගල හිමියන්ගේ "සංසාර මන්දිර" නම් ග්‍රන්ථයේ 13 වන පරිච්ඡේදයේ   වූ පහත වැකි පෙළ උපුටා දැක්වූයෙමි.
"නීතියේ දෘෂ්ටියෙන් බලන විට විවාහය කොන්ත්‍රාත්තුවෙකි. සිවිල් සංවිධානයකි මානසික වෛද්‍ය විද්‍යාවේ දෘෂ්ටියෙන් එය ලිංගික හා භාවික ආවේගයන්ගේ රඟ මඬලකි. ආගමික අතින් එය ශුද්ධ ආගමික චාරිත්‍රයකි. මනෝ විද්‍යාවට එය පෙනෙන්නේ හැසිරීම් හා සකස් වීමේ ප්‍රශ්නයක් ලෙසය. ඇනුම්පද කාරයෙක් විවාහය මෝඩයන් අසුවන උගුලක් ලෙසින් දකී."
මෙම කෘතියෙන් විස්තර කර ඇත්තේ  1877 දී ඇමෙරිකාවේ කෙන්ටකිහි උපත ලබා පසුව "වර්ජිනියා වෙරළේ ප්‍රාතිහාර්යකාරයා" ලෙසින් ප්‍රසිද්ධ වූ දිවැසින් වෙදකම් කළ එඩ්ගා කේසී

(edgar Cayce (http://en.wikipedia.org/wiki/Association_for_Research_and_Enlightenment), (http://www.caycegoldengate.com/)) නම් මහත්මයා පිළිබඳවය.
ඔහුට අනුව විවාහයකදී මානසික, කායික  මෙන්ම ආධ්‍යාත්මික ආකර්ෂණයක්ද පැවතිය යුතුය. මෙහි ආධ්‍යාත්මික යන්නෙන් වඩා ගැඹුරට ගිය සද්ගුණ හඳුන්වන අතර දෙදෙනෙක් අතර බලවත් ආකර්ෂණයක් හට ගෙන ඇති බව දැනෙන්නට වූ විට පරිස්සම් විය යුතු බව ඔහු කියයි. අප කුමන හේතූන් දැක්වූවද මෙම ආකර්ෂණයට හේතුව පූර්ව කර්ම විපාකයක් විය හැකි බැවින් ඊට නතු වීමට පෙර එම ආකර්ෂණය මානසික, කායික හා ආධ්‍යාත්මික යන සමපාද පදනම සපුරා ඇත්දැයි තීරණය කළයුතු බව ඔහු සඳහන් කොට ඇත.
මානසික සහ ආධ්‍යාත්මික ගැළපීම් විවාහයකට පෙර යම් තරමකට හෝ සසඳා බැලිය හැකි වුවත් කායික ගැළපීම් සොයා බැලීමට අපේ සංස්කෘතිය තුළ ඉඩක් නැත. හරි හෝ වැරදි හෝ වේවා මේ සඳහා යොදා ගන්නා එක් ක්‍රමයක් වන්නේ ජන්ම පත්‍රය සහ පොරොන්දම් ගැලපීමය.  ජ්‍යෙතිෂය දන්නා අය එය කරන පිළිවෙළ පැහැදිලි කරනු ඇත. එහෙත් මීට වෙනස් ක්‍රමයක් ගැන මා සතු එම පුවත් පි‍ටු කැබැල්ල දක්වයි.  දිනය හෝ පත්‍රයේ නම සඳහන් කොටස එහි නොමැති නිසා එය කුමන පත්‍රයේ පළවූවාදැයි මට මතක නැති වුවත් එය ජ්‍යෙතිෂ පුවත් පතක් බව නම් ස්ථිරය.
මෙම ක්‍රමය මූලිකව දෙදෙනා අතර වයස් පරතරය, සහ ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ රියන මැනීමෙන් ලැබෙන ප්‍රථිපලය මත රඳා පවතී. දෙදෙනා අතර වයස් පරතර කොටස් හතරකට බෙදා ඇත.
1. දෙදෙනා සම වයස් වීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට මැදඟිල්ලේ අවසානය තෙක් මනින්න. එය වියත් දෙකක් නම් දෙදෙනා ඉතා හොඳින් ගැළපේ. වියත් දෙකට අඩු හෝ වැඩි වීම සුදුසු නැත.

2. අවුරුදු 10 දක්වා වයස් පරතරයකින් යුතුවීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට වෙදඟිල්ලේ අවසානය තෙක් මනින්න. එය වියත් දෙකට අඩු නම් පමණක් දෙදෙනා ඉතා හොඳින් ගැලපෙන බව දක්වා ඇත.

3. අවුරුදු 11-15 දක්වා වයස් පරතරයකින් යුතුවීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට සුළැඟිල්ලේ අවසානය තෙක් මනින්න. එය වියත් දෙකක් නම් දෙදෙනා ඉතා හොඳින් ගැලපෙන බව සඳහන් කොට ඇති අතර වියත් දෙකට අඩු හෝ වැඩි වීම නොගැලපීමකි.

4. අවුරුදු 16-20 දක්වා වයස් පරතරයකින් යුතුවීම
මෙවිට ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ කෙළවර සිට දබ‍රැඟිල්ලේ අවසානය තෙක් මනින්න. මෙහිදීද මිනුම වියත් දෙකකට සමවේ නම් දෙදෙනා ඉතා හොඳින් ගැළපේ. වියත් දෙකට අඩු හෝ වැඩි වීම සුදුසු නැත.

මෙම ක්‍රමය ශරීරාංග වල මිනුම් මත රඳා පවතින බව පෙනේ. ශරීරාංග ගැන සඳහන් කරන විට අපගේ අත මිට මෙළවූ විට එය හදවතෙහි විශාලත්වයට සමාන බවත්, වැලමිටේ සිට අතැඟිලි අතර ඇති දිග පාදයේ දණහිසෙන් පහත කොටසට සමාන බවත් අපි දනිමු.  ඉතින් ශරීරාංග මැන බලන මෙම ක්‍රමයෙහි සත්‍යය අසත්‍යතාවය තීරණය කිරීම ඔබට බාරය. එහෙත් අවසානයේ මතක තබා ගත යුතු කරුණ වන්නේ මේ හැම පරීක්ෂණයම සමත්ව විවාහයෙන් අසමත් වන්නන් මෙන්ම එම පරික්ෂණ සියල්ල අසමත්ව විවාහය සමබරව ගෙවන්නන්ද සිටින බවය.

Monday, October 29, 2012

"෴කර්ම෴ කියැවීම"

කර්ම.... ජීවිතයේ සිදුවීම් අපටද නොදැනී අප ලුහුබැඳ එයි. අපේ මනස තුල යටපත්ව ඇති අපට අමතක ඒ සිදුවීම් අපව මෙහෙයවයි. ප්‍රසන්න ජයකොඩිගේ "කර්ම" පිළිබඳ මගේ කියවීම එයයි. සිනමා පටය මා තේරුම් ගැනීමට යොමුකළේ එහි තිබූ රූපරාමු දෙකක් තුලිනි. මුලු සිනමා පටයේම වඩා වැදගත් රූප රාමු දෙක එයයැයි මට සිතුනි. ඒ අතදරුවෙකු ලෙස මවගේ තුරුලේ ඔහු කිරි උරා බොන විට ඔහුගේ පියා පැමිණ මව අමතමින් මහ හඬින් දොරට දොරට ගසන විට මව වහා ඔහු ඇකයෙන් ඉවත් කිරීම නිසා ඔහු වේදනාවෙන් හඬන දසුනත් සිනමා පටයේ අවසාන දර්ශන පෙල අතර ඇති ළැම නිරුවත් ඇගේ උකුළ මත ඔහු කුඩා දරුවෙකු මෙන් නිදන දසුනත්ය. 
හුස්ම ... එය ජීවිතයයි. සිනමා පටය පුරා තදින් හුස්ම ගන්නා හඬ අවස්ථානුරූපීව ඇසේ. හුස්ම ගනිමින් හඬමින් අපි ජීවිතයට එමු. අපේ හැම ක්‍රියාවකදීම එම හුස්ම ගැනීමේ වේගය අඩු වැඩි වෙයි. කෝපයේදීද, සතුටේදීද, ලිංගික ක්‍රියාවේදීද අවසන ජීවිතයෙන් බැහැරව යන විටදීද හුස්ම වල රිද්මය වෙනස් වෙයි. ඒ රිද්මය, ඒ වෙනස අප තේරුම් ගන්නේ කෙසේද? එය ජීවිතයයි. ඔහුට එම වේගවත් හුස්ම වැටීම ඇසුනේ මවගේ තුරුලෙන් ඉවතට විසිවී වේදනාකාරී හඬා වැටීම අතරේය. එබැවින් එම හුස්ම වැටීම ඔහුට වේදනාවක් සේම කුතුහලයකි. පියා සමග ඇති නොපහන් බව මේ හුස්ම වැටීම හා සම්බන්ධය. මවගේ අවසාන මොහොතේ ඇයගේ තදබල අවසන් හුස්ම ගැනීම දෙස ඔහු ඇස් හැර බැලීමට හෝ අකැමැතිය. යාබද නිවසේ ඇසෙන හුස්ම ගැනීම් ඔහු කළඹන්නේ මේ ඔහු මනස තුල තැන්පත් සිදුවීම් නිසාය. එහෙත් අවසන ඇය තුලින් ඔහු නැවත ඉපදෙයි. ඔහු තුලවූ ඔහු කළඹන "කර්මය්" නිවී යයි.
සිනමා පටයේ රූපරාමු චලනය වීමේ සහ සංගීතය මුසුවීමේ නොගැලපීම් මට දැනුනද අනිකුත් සිනමා පට හා සැසඳීමේදී ප්‍රසන්නගේ ප්‍රයත්නය අගය කළ හැක්කකි. සමහරවිට මට නොතේරුනද එසේ රූපරාමු චලනයෙන් සහ සංගීතය මුසු කිරීමෙන් ඔහු වෙනත් යමක් අපේක්ෂා කළාදැයි නොදනිමි. මගේ අත්දැකීම් වලට අනුව මෙවන් සිනමා පට තේරුම් ගැනීමට ඒවා කිහිප වරක් නැරඹිය යුතුය.
මෑත දිනක අශෝක හඳගමගේගේ "විදූ" රූපවාහිනියේ ප්‍රචාරය විය. අහම්බෙන් මට එහි අවසාන කොටස නැවත නැරඹීමට හැකිවිය. විදූ නොනැවතී දිව එයි. පාසැලේ තාප්පයට නැගී අපහසුවෙන් වේදිකාවට ගොඩ වීමට උත්සාහ කරන දසුන අස්සේ මට එය මින් පෙර නරඹන විට නොදු‍ටු දෙයක් දිස්වුනි. ඒ එම පාසැලේ නම වන "කන්නන්ගර විදුහල" යි. කන්නන්ගර විදුහල්වල සිටි දේශපාලකයන් ලඟ නොනැමෙන ප්‍රතාපවත් විදුහල් පතිවරුද, නොනැවතී දිව එමින් කන්නන්ගර විදුහල් වල උස් තාප්පයෙන් නැගී සමාජ වේදිකාවට ගොඩ වන හති වැ‍ටුන විදූ නම්වූ කන්නන්ගර දරුවන්ද ඒ එක රූපරාමුව ඔස්සේ මසිතට පැමිණිනි.
මෙපරිදිම "කර්ම" දෙස ඉවසිල්ලෙන් සිදුවන්නේ කුමක්දැයි බලා සිටි මට කම්පනයක් ඇති කරමින් මා ඉහත සඳහන් කළ රූප රාමු දෙක අවසන දක්නට ලැබිනි. ඒ මා "කර්ම" කියවූ අන්දමයි. ඔබේ කියවීම මීට වෙනස් විය හැක.
"කර්ම" මීට වඩා වෙනස් ලෙස කියවූ කෙනෙක්ද එදා මට දක්නට ලැබිණි. පන් මල්ලක් ‍රැගෙන සුදු ජාතික ඇඳුමකින් සැරසී ගත් වයස හැත්තෑවක පමණ උපාසක මහතෙකි ඒ. බුදුන් වදාළ "කර්මය" කියවීමට පැමිණ සිටි, අප සිටි අසුන් පෙළෙහිම වාඩිවී සිටි ඔහු, ප්‍රසන්න ජයකොඩිගේ "කර්ම" දෙස් දෙවොල් තබමින් කියැවූ අයුරු නම් අපූරුය.