-->

Wednesday, April 21, 2010

කර්ම බන්ධන


ප්‍රේම සම්බන්ධතාවයකදී හෝ විවාහයකදී අප කෙනෙක් ‍තෝරාගන්නේ අප එක් එක් අය සතු මිනුම් දඬු වලට අනුවය. සමහර විටක කෙනෙක් දු‍ටු පමණින් ඔහු හෝ ඇයට අප ආකර්ශණය වේ. එම පුද්ගලයා බොහෝ හුරුපුරුදු බවක්ද සමහර විට දැනෙන්නට පුළුවන. ආරම්භයේදී එම පුද්ගලයාගේ සුන්දර බව හෝ කඩවසම් බව හා තවත් නොයෙකුත් ගුණ අපට පෙනෙන්නට පටන් ගනී. නමුත් සත්‍යය නම් ඊට වඩා බෙහෙවින් සුන්දර හෝ කඩවසම් මෙන්ම ගුණවත් අය තවත් ලොව සිටියත් අපට ඔවුන් නොපෙනී යාමයි. එසේත් නැතිනම් අප ඔවුන්ට ආකර්ශණය නොවීමයි. කන්නිමහර සුමංගල හිමියන් පරිවර්තනය කළ "සංසාර මන්දිර" (මීට පෙර මා ලියූ සංසාර මන්දිර නම් ලිපිය කියවන්න) නම් ග්‍රන්ථයේ 13 වන පරිච්ඡේදයේ විවාහය සහ ප්‍රේමය ගැන මෙසේ සඳහන් වේ.
  
"මනුෂ්‍ය සම්බන්ධතාවන්ගෙන් ඉතාමත් ආසන්න වූ ද ඉතාමත් දුෂ්කර වූ ද සම්බන්ධතාව විවාහයයි. හොඳ වූ විට ඉතාමත් භාග්‍ය සම්පන්න ද නරක් වූ විට කිව නොහැකි තරම් පීඩාකාර ද වන විවාහයෙන් මනුෂ්‍ය සුඛයේ හා බන්ධනයේ අන්ත සීමා දැක්වෙයි. මේ සීමා දෙක අතර නොයෙක් ප්‍රමාණවල සැප දුක් හා බාධක ඇත.
නීතියේ දෘෂ්ටියෙන් බලන විට විවාහය කොන්ත්‍රාත්තුවෙකි. සිවිල් සංවිධානයකි මානසික වෛද්‍ය විද්‍යාවේ දෘෂ්ටියෙන් එය ලිංගික හා භාවික ආවේගයන්ගේ රඟ මඬලකි. ආගමික අතින් එය ශුද්ධ ආගමික චාරිත්‍රයකි. මනෝ විද්‍යාවට එය පෙනෙන්නේ හැසිරීම් හා සකස් වීමේ ප්‍රශ්නයක් ලෙසය. ඇනුම්පද කාරයෙක් විවාහය මෝඩයන් අසුවන උගුලක් ලෙසින් දකී.

පුනර්ජන්ම වාදයෙන් සපයනු ලබන වඩා පුළුල් වූ දෘෂ්ටියට අනුව මේ හැම හැඳින්වීමක්ම හරි නමුත් අසම්පූර්ණය. එයට අනුව විවාහය පිළිබඳ හැඳින්වීම මෙසේ විය යුතුය. විවාහය නම් අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුට තමන්ගේ කර්ම ණය ගෙවා ගැනීමටත් ඔවුනොවුන්ට උපකාර කිරීමටත් ආත්මයේ නව ගුණ ඇති කර ගැනීමටත් ආධ්‍යාත්මික අවබෝධය හා ශක්තිය දියුණු කර ගැනීමටත් ලැබී ඇති අවස්ථාවෙකි."

මෙම පුනර්ජන්ම වාදයට අනුව විවාහය පිළිබඳ අර්ථ දැක්වීම දී ඇත්තේ කේසී කියවීම් වලට අනුවය. එඩ්ගා කේසීට අනුව විවාහයකදී මානසික හා කායික ආකර්ශණයක් පමනක් නොව ආධ්‍යාත්මික ආකර්ශණයකුත් පැවතිය යුතුය. මෙහි ආධ්‍යාත්මික යන්නෙන් වඩා ගැඹුරට ගිය සද්ගුන හැඳින්වේ. එමෙන්ම දෙදෙනෙක් අතර බලවත් ආකර්ශණයක් හට ගෙන ඇති බව දැනෙන්නට වූ විට පරිස්සම් විය යුතු බව ඔහු කියයි. අප කුමන හේතූන් දැක්වූ වද මෙම ආකර්ශණයට හේතුව පූර්ව කර්ම විපාකයක් විය හැකි බැවින් ඊට නතු වීමට පෙර එම ආකර්ශණය මානසික, කායික හා ආධ්‍යාත්මික යන සමපාද පදනම සපුරා ඇත්දැයි තීරණය කළයුතු බව කියයි. එසේ නොවේ නම් දෙදෙනා අතර ඇති කර්ම ණය විවාහවී ගෙවනවාට  වඩා වෙනත් ක්‍රමයකින් ගෙවා දැමීම සුදුසු විය හැක. හේතුව දෙදෙනෙකු අතර ඇතිවන ආකර්ශනය කර්ම ණයකට යටත් ආදරණීය සම්බන්ධතාවක් මෙන්ම ගිනි ගෙන පුපුරා හැලෙන්නට ආසන්න පූර්ව කර්මයක්ද විය හැකි බැවිනි. අපාගතව ජීවත් වන්නාක් සේ ගෙවන සමහර විවාහයන් දෙස බැලූ විට මෙම කියමන කෙතරම් සත්‍යයක්දැයි හොඳින්ම වැටහේ.

මේ ලිපිය ලිවීමට මට සිතුනේ නිනව්වක් නැතිව දුකා සෙවූ "පතී පරමේෂ්" සහ රවාගේ "සදාකාලික ආදරයක් තියනවද?" කියන ලිපි සහ ඒවායේ තිබුනු අදහස් කියවූ පසුයි. සම්මත ලෝකයේ බොහෝ විට සිදු වන්නේ එකිනෙකා වෙත පළමුව කායික ආකර්ශනයක් හට ගැනීමයි. එම ආකර්ශණය නිසා අනෙකා තමා සතු කර ගැනීමට ඔහුට හෝ ඇයට අනුව තමාටද අනෙකා සතු මානසික සහ ආධ්‍යාත්මික ගුණ ඇති බව පෙන්වීමට යත්න දරයි. දෙදෙනාගේ සැබෑ චිත්‍රය එලියට එන්නේ බොහෝ විට විවාහයෙන් පසුවයි. එතනින් පසු සියල්ලම අහවරය. අවංකවම තමා කැමති අකමැති දේ සහ තමාගේ ගුණ අගුණ එලි දක්වන්නේ කීයෙන් කී දෙනාද?  එහෙත් පතී පරමේෂ්ලාද, නොබිදී එහෙත් වෙනස් වෙමින් දළුලමින් යන ආදරයෙන් බැදී සිටින්නන්ද ලොව සිටිති. ඒ තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් හැඩගැසීමට කැමති අනෙකෙකුගේ වරදකට සමාව දීමට තරම් සංවේදී සිත් ඇත්තන් අතර යැයි කියා මට සිතේ.


 

7 comments:

  1. සංසාරගත බැඳීම කියන්නෙත් ඒකම වෙන්න ඇති. එක්ව ගෙවිය යුතු කර්මයක් වේනම් එය ගෙවීමටම එක්වීමට සිතේ.
    කෙසේ වුවත් විවාහය බොහෝ විට එකිනෙකා සියුම්ව සූරා කෑමකි. හිමිවන දේට වඩා ඒ තුළින් පුද්ගලයාට අහිමිවෙන දේ වැඩිය. ඒත් සමාජයට එයින් හිමිවන දේ වැඩි විය හැක.
    සැමියෙක් බිරිඳක් වීමට වඩා කෙනෙක් සැබෑ මිනිසෙක් වීමට උනන්දු වේනම් සාර්ථකත්වය ගොඩක් දුරට ළඟා කර ගැනීමට අවකාශ ඇත.

    ReplyDelete
  2. "සැමියෙක් බිරිඳක් වීමට වඩා කෙනෙක් සැබෑ මිනිසෙක් වීමට උනන්දු වේනම්"
    ඇත්තටම සැබෑ මිනිසෙක් කියන්නෙ කවුද? මට නම් හිතෙන්නෙ හැකි තාක් දුරට බැදීම් අඩුකර ගත හැකි නම් අඩුම තරමින් ජීවිතයට සැනසීම ලං වේවි.

    ReplyDelete
  3. මම එහිදී අදහස් කලේ විවාහය තුළදී කෙනෙක් සැමියාගේ හෝ බිරිඳගේ භූමිකාවම කරන්න යනවනම් වැරදීම් වැඩිවිය හැකිය යන්නයි. මන්ද මේ චරිත වලට අලුත් විධියට පණ පොවන්න ‍බැරි තරමට ගතානුගතික අදහස් වලින් පිරී ගිහින්. ඉතින් එක් චරිතයක සම්මත ස්වරූපය ටිකක් හෝ චලනය වෙද්දි අනෙක් චරිතය කලබල වෙනව. ගැටුම් ඇරැඹෙන්නෙ එහෙමයි. ඒත් පුද්ගල ගුණාංගයන් වෙනස් නිසා හැමෝටම නිශ්චිත සම්මත ස්වරූපෙකින් ජීවත් විය නොහැක.
    ගැටීම් ඇරඹෙන්නේ බැඳීම් නිසා තමයි. ඒත් ආශාවන්ගෙන් සීමාවන්ට ඔබ්බෙන් පරමාර්ථයන් පවතීනම් කෙනෙක්ගෙ මමත්වය අඩුවීමේ හැකියාව පවතියි. ගැටීම් අරඹන්නේ ඉස්මතුවූ මමත්වයයි. එලෙසින් බැඳීම් අඩුවිය යුත්තේ තමන් තුලමය. සමාජ තත්වයන් ප්‍රතික්‍ෂේප කිරීම විටෙක බැඳීම් වලින් විතැන් වීමක් නොවිය හැක.

    ReplyDelete
  4. තේරෙන්නෙත් නැති තරම්. හරිම ගැඹුරුයි. ගිලිල මැරෙයිද කියල බය හිතෙනවා. කොහොම නමුත් අදහස් වලට ස්තුතියි.

    ReplyDelete
  5. හික් හික් අමතක් කරල දාන්න.
    මට ටිකක් වෙන්න පිස්සු යාඵ

    ReplyDelete
  6. ගෑණු ලමයින්ගේ පෑත්තෙන් එයාලට තමන් ආදරේ කරන කෙනා නොලෑබුනොත් තමන් අකමෑති කෙනෙක් එක්ක මුලු ජීවිතේම ගෙවන්න වෙනවා බොහෝ දුරට. තමන් අකමෑතු උනත් තමන්ගෙ ස්වාමි පුරුශයා කියන දෙට කමති වෙන්න වෙනවාමයි. නෑත්නම් ප්‍රශ්ණ එන නිසා.ඒ අතින් මේ ලෝකේ ගොඩක් අසාධාරණ්යි නේද?

    ReplyDelete
  7. අද තමා මේ පැත්තට ආවේ..වැදගත් ලිපි ගොඩක් ලියලා තියෙනවා..
    මගෙන් සුභ පතුම්..
    ජයවේවා!!!

    ReplyDelete