-->

Monday, December 6, 2010

"වතුර වීදුරුව"

සිල්වා මහත්තයා බොහොම වෙහෙස වෙලා ගෙදර ආවෙ පුංචි විවේකයක් ගන්න. ඒත් පුරුදු විදියටම මැටිල්ඩා නෝනා ප්‍රශ්න පත්තරයක් ගෙනත් විසඳුම් හොයනව. දන්න දවසෙ ඉඳලම  සිද්ද වෙන දෙයක් නිසා මේක සිල්වා මහත්තයට අමුත්තක් නෙවෙයි. ඒත් හැමදාම සිල්වා මහත්තයා හිතනවා කවදද මේවයින් නිදහස් වෙන්නේ කියල. එකක් ඉවර වෙන කොට තව එකක්. හිනාවකට, සාමාන්‍ය කතා බහකට ඉඩක් ඇත්තෙම නැද්ද?
හිමින්ම ගෙදරින් එලියට ඇවිත් ලොවි ගහ යට බංකුවේ ඉඳගෙන ඉන්න ගමන් සිල්වා මහත්තයා කල්පනා කරන්න පටන් ගත්තා. ඇත්තටම මොකද්ද මේකට කරන්නේ?. කවදද මැටිල්ඩා නෝනගෙ ප්‍රශ්න පත්තරේට උත්තර බැඳලා ඉවර වෙන්නේ. මුලු ලෝකයම ඔලුව උඩ තියාගෙන ඉන්න මැටිල්ඩා නෝනා කවදා ඒක බිම තියයිද?
"නෝනේ,.. මට වතුර වීදුරුවක් අරන් ආවනම්"
සිල්වා මහත්තයා බංකුව උඩ ඉඳගෙනම කෑගැහුව.
මිනිත්තුවකින් දෙකකින් මැටිල්ඩා නෝනා වතුර වීදුරුවක් අරන් සිල්වා මහත්තයා ලඟ.
"හ්ම්ම්,   ........... ඉක්මනට ගන්න මේක. මට කියල කීයක් ප්‍රශ්නද? "
"ඇත්තටම නෝනේ ඔය වීදුරුව කොච්චර විතර බර ඇද්ද?"
"ඒ පාර පිස්සු කතා අහනවා. මට හිතෙන්නෙ නම් ග්‍රෑම් 50ක් 100ක් විතර ඇති"
මැටිල්ඩා නෝනට තරහ ගිහින් වත්ද?.
" ඔව් බර නම් ඉතින් මනින්නෙ නැතිව කිව්ව ඇහැකැ?. මට තියන ලොකුම ප්‍රශ්නෙ ඒක නෙවෙයි නෝනෙ, ඔයා ඔය වතුර වීදුරුව ටිකක් වෙලා තියා ගෙන හිටියොත් අතේ අමාරුවක් හැදෙයිද?"
"හ්ම් ......  හිතුවද මට වතුර වීදුරුවක්වත් ටිකක් වෙලා අල්ලගෙන ඉන්න බැරි පොඩි බබෙක් කියල."
"නෑ, ...  නෑ .... ඉතින් ටිකක් වෙලා අතේ තියාගෙන හිටින්න පුලුවන් වෙයි. ඒත් පැයක් විතර නම් බැරි වෙයි නේද?"
සිල්වා මහත්තය හිනා වෙමින් ඇහුවා.
"ඒ පාර මොකාටද එන්න හදන්නෙ? ඕක මොකද්ද?. ඕනෙ නම් ටිකක් අත රිදෙයි. ඇයි තරඟයක් වත් තියන්නද?"
"අනේ නැහැ නෝනෙ. හැබැයි ඉතින් තර‍ඟෙකට වත් ඔයා ඔය වතුර වීදුරුව දවසක් නම් අතේ තියාගෙන ඉන්නෙ නැති වෙයි නේද?"
ඒක නම් ඇහුවෙ සිල්වා මහත්තයා ටිකක් විතර පරිස්සමින්. මොකද මැටිල්ඩා නෝනට තරහ ගිහින් වතුර වීදුරුව ඉහින් කනින් යන්න වැක් කෙරුවොත්?
"ඇයි..? මට අතේ අමාරුවක් හදවල මාව ඉස්පිරිතාලෙටවත් යවන්න ඕනෙ කියල හිතෙනවද?"
"එහෙම කියන්නේ ඇයි නෝනෙ, ඔය වතුර වීදුරුවෙ බර වෙනස් වුනායැ. තියෙන්නෙ එකම බර නම් අතේම තියාගෙන ඉන්න එක වැඩිවෙනකොට නෙවෙන්නම් ඔය එක එක ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ. අපි අපේ වතුර වීදුරු බිම තියමුද නෝනෙ?."
සිල්වා මහත්තයා හිනා වෙවී කිව්ව. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න අදයි මැටිල්ඩා නෝනගෙ මූනේ හිනාවක් මතු වෙනවා සිල්වා මහත්තයට පෙනුනේ.
"ප්‍රශ්න කාටද නැත්තෙ?. හැම වෙලාවකම ඒ ප්‍රශ්න වතුර වීදුරුව අතේ තියාගෙන ඉන්නව වගේ ඔලුව උඩ තියාගෙන හිටියොත් අපි ඉක්මනින් ලෙඩ වේවී. එකක් විසඳනකොට හැමදාම කොහෙන් හරි තව ප්‍රශ්නයක් එනවා. ඉතින් අපි කවදද එක මොහොතක් හරි සතුටින් ජීවත් වෙන්නේ?. අපිට අතීතයෙවත් අනාගතයෙවත් ජීවත් වෙන්න බැහැ. ඔය වතුර වීදුරුව පැත්තක තියන්න. එන්න, .... ටිකක් මෙතන ඉඳගන්න. අපි බලමු අර කුරුල්ලො ලොවි ගහට පියාඹ ගෙන එන විදිය. ඇහෙනවද නෝනෙ පහළ දොලේ වතුර සද්දෙ.?  හරියටම දොල නට නටා සිංදු කියනව වගේ. අපි පුංචි කාලෙ අපිට මේ හැම දේම ඇහුනා. දැන් අපි, අපිට කාලයක් තිස්සේ ඇහුන, දු‍ටුව, ඉගෙනගත් එක එක විකාර වලින් වලින් ඔලුව පුරවගෙන, අපේ ඔලු  කුරුවල් කරගෙන ඉන්න නිසා පුංචි කාලෙ වගේ මේ මොහොතෙ සිදුවෙන කිසි දෙයක් අපිට පේන්නේ නෑ, ඇහෙන්නේ නෑ. දැන්වත් අපි ජීවත් වෙන්න බලමු මේ ගතවෙන මොහොත තුල වර්තමානයේ. එතකොට ඔය ප්‍රශ්නත් දැනට වඩා හොඳින් විසඳගන්න පුලුවන් වේවි."
මැටිල්ඩා නෝනා දිග සුසුමක් හෙලුව. වතුර වීදුරුව පැත්තකින් තියල ඇවිත් සිල්වා මහත්තයා ලඟ වාඩිවුනා.


REMEMBER TO PUT THE GLASS DOWN WHENEVER IT IS POSSIBLE

1 comment:

  1. වැඩකට නැති වීදුරු අතේ තියන් ඉන්න අයට එය හොඳයි. ඊට පස්සෙ බලන්න පුඵවන් අවට.
    මොකද තමන්ගෙ වතුර වීදුරුවට සැඟවෙලා තමන්ට අමතක වෙච්ච ලෝකයක් තියෙන බව. ඒ ලෝකයේ දුක අමතක කරල පලා ඇවිත් තමන් සිටින බව. ඇත්තෙන්ම වැඩකට නැති වීදුරු පුරවන්න තමයි ඒ ලෝකය හැමදාම දුකට පත්වෙලා තියෙන්නෙ.

    ReplyDelete