-->

Tuesday, August 31, 2010

"පුතු අහිමි පිය සෙනේ"


දුක් කම්කටොළු බාධකයන් ගැන නොදොඩා
සිප සනසමින් මාගේ උකුලටද            වඩා
ආදරයෙන් හැදුවෙ මගෙ නෙත් දෙකට   වඩා
ඔබගේ වියෝවෙන් අද වැලපෙන්නෙ   හඬා

ඔබ වෙනුවෙන් මගේ ගත දහඩිය      හැළුවා
ලොකු මිනිසෙකු කරන්නට සරසවි     යැවුවා
රුදු වෙස් ගත් දනන් හද වෛරය       පිරුවා
මිතුරන් ලෙසින් ආ සතුරා මරු         මැව්වා

ඔබ දිනු දින රජෙක් වූයෙමි රටක්          ලද
ජීවන මගට පෑයූවා අළුත්                    හඳ
මෝරා ගෙන එද්දි ගුන මකු දනන්         හිඳ
ගිල ගත්තා වැනිය රාහූ සුපුන්               සඳ

අගයක් නොදන්නා මිනිසුන් ‍රැසක්        මැද
දියමන්තියක් වූවත් ඉන් පලක්            වෙද
දියමන්තිය ඔබයි පුතුනේ මගේ             හද
වටිනා කම දනීවිද රුපු දනන්                අද

ආදරයෙන් මට අප්පච්චීය                  කියා
අත්දෙක එකතු කර දෙපයේ සිරස         තියා
කිසිදින මරනයට මා බය නැතිය          කියා
පොඩි පුතු එදා මා හැරදා යන්න           ගියා

සීතල සුලඟ වැද ගස් වල මල්           නැ‍ටුව
රුධිරය ගලා ඔබෙ සිරුරෙන් එහි         මුසුව
සුවඳයි දැනෙන්නේ පුතුනේ ඔබ        නැතිව
සැනසෙමි කෙලෙස යලි ඉතිනේ මා මෙලොව

යුක්තිය ඉදිරියේ එඩිතර හිස           නැමුවා
අයුක්තියට එරෙහිව ඔබ හඬ           නැගුවා
ඒ විරු හඬට තැති ගත් අය ඔබ        නැසුවා
එනමුත් පුතේ ඔබෙ නම නොනසයි   මරුවා

කවදා කොතැනකදි හෝ යලි හමු      වේවා
ඒ භවයෙදිත් ඔබ මාගෙම පුතු          වේවා
විමුක්තියේ ජය මාවත අත්              වේවා
අවසන කෙලෙස් දුරු කර ඔබ       බුදුවේවා

1 comment:

  1. පුතෙකුට පියෙකුවී පුතු නිසි මඟට ගෙන
    රටකට වැඩක් ඇති හරි මඟ යන දැනන
    පුතු ඉස්සර උනත් මගේ ගමනට කලින
    නුඹේ විරු රුසිරු සිහිවී මගේ හිත නිවෙන

    ReplyDelete