-->

Sunday, October 16, 2011

"දෙවියන්ගේ විසඳුම"

ලෝකය මැවූ දෙවියන් අභිමුව ගැහැණියක සහ මිනිසෙකු චෝදනා මුඛයෙන් එකිනෙකාට ගරහනු පෙනුනි. මොහොතක් නිශ්ශබ්දව එදෙස බලා සිටි දෙවියන්ට ඔවුන් කියනා කිසිවක්ම නොවැටහුනේ එය එකම ගාල ගෝට්ටියක් වූ බැවිනි. තමන් මැවූ මේ සත්වයන් එකිනෙකා කා කොටා ගන්නේ මක් නිසාදැයි දෙවියන්ට මහත් ප්‍රහේලිකාවක්වී තිබිනි. මේ අසංවර සත්වයන් නැවත වරක් ලෝකයෙන් මකා දමමින් අළුතෙන් මැවිය යුතුද යන ප්‍රශ්නය දෙවියන් අභිමුව තිබුනද නැවත නිවැරදි මැවීමකට පෙර ඔවුන් පෙලනා කලබගෑනි හොඳින් තේරුම් ගත යුතු යැයි ඔහුට සිතිනි.
අත් ඔසවා බැරෑරුම් මුහුනක් මවමින් "නවතිනු" යැයි ශබ්ද නගා පවසමින් අවසන ඔවුන් නිහඬ කිරීමට දෙවියන්ට හැකිවිය. එහෙත් ගැහැණිය තවමත් සුසුම්ලන හඬ වරින් වර ඇසේ. මොවුන් එක තැනක තබා මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව සක් සුදක් සේ පෙනෙනා බැවින් මිනිසා එතැනින් මදකට බැහැරට ‍රැගෙන යනසේ තම අතවැසි දෙවියෙකුට මහ දෙවියා අණ කළේය.
"හොඳයි දැන් ඉතින් කියමු බලන්න මේ අවනඩුව කුමක්ද කියා"
ගැහැණිය නැවත් කඳුළු සලන්නට පටන් ගත්තාය.
"අනේ දෙවියනි, ඔහු ආදරය යනු කුමක්දැයි දන්නේම නැත. මට ආදරය කරන බව පවසමින් අන් අඟනුන් දෙස බලයි. ඒ ගැන විමසන කල්හි බොහෝ ආඩම්බර පණ්ඩිත කතා කියයි. ඔහු කියන්නක් මට නොවැටහේ. මා දන්නා ආදරය එසේ නොවේ. අනෙකා වෙනුවෙන් පූර්ණව කැපවිය නොහැකි නම් එතන ආදරයක් තිබේද දෙවියනි?. ඔහුගේම කොටසකින් මා මැවූ බව වත් ඔහු නො අදහයි. මා ඔහුගේ කොටසක් නොවන බව ඔහු පවසයි. ඔහු නිදහස් සත්වයෙක් බවත් මා නිරිසතෙකු බවත් කියයි. වරෙක මත් වූවෙක් සේ මට ආදරය කරන ඔහු වරෙක පිස්සෙකු මෙන් මා කියන දෙයට සිනාසෙයි. ඔහු මවන කළ ඔබට වැරදීමක් වී ඇති හැඩයි දෙවියනි"
මට ඇත්තටම වැරදුනාවත්ද? මහ දෙවියා තමන්ට ඇතිවූ සිතිවිල්ල වහා මැඩ ගත්තේය.
"හ්ම්... එපමණද තොපට කිවයුතුව ඇත්තේ?. අතවැසිය, මේ ගැහැණිය ‍රැගෙන ගොස් අර මිනිසා මා ඉදිරියට ගෙන එව."
ගැහැණිය පැවසූ ආඩම්බරකාර මිනිසා දැන් මහ දෙවි ඉදිරියේය.
"කුමක්ද මේ ප්‍රශ්නය? ගැහැණිය පවසන චෝදනා සැබැවක්ද?  ඔබ ඇය රවටන බවත් අවංකව ආදරය නොකරන බවත් ඇය පවසයි."
මිනිසා නිහඬය.
"දෙවියනි, සිහින තුල බොහෝ කල් ජීවත් විය නොහැකිය. ඇය මෙන් මමද සිහින තුලට යමි. එහෙත් ....!!"
ඔහු සුසුමක් හෙලීය.
"මට මේ අප දකින සියල්ල සිහින බව ආදරය යැයි ඇය හඳුන්වන මත් බවින් මිදුන විගස වැටහෙයි. පියවි සිහිය ලද විගස මට පෙනෙන මේ බොරුව මගේ සිත වෙහෙසට පත් කරයි. ඉතින් ඇය හඬමින් ඇයට ආදරය නොකරන බව පවසමින් කෑගසන විට සත්‍යය ඇයට තේරුම් කර දීමට උත්සාහ ගනිමි. ඇයට එය නොවැටහෙයි. ඇයට අවශ්‍ය ඒ මත් බව තුලම ‍රැඳී සිටීමටය."
මහත් සාවධානයෙන් ඔහු කියන්නක් අසා සිටි මහ දෙවියා එක් වරම සිනාසීය.
"එසේනම් කුමක්ද මේ අනිත් චෝදනාව? ආදරය යනු ඔබ දකින සිහිනයක් නම්, මත් බවක් පමනක් නම් ඇයට රහසේ අන් අඟනුන් හා එවැනිම සිහින වලට යන්නට ඔබ උත්සාහ කරන්නේ.?"
මිනිසාගේ මුහුන ලැජ්ජාවෙන් බිමට නැඹුරුව තිබිනි. නිශ්ශබ්දතාවයෙන් යුත් කාලාන්තර කිහිපයක් ඉක්ම ගියේය. මිනිසාගෙන් හඬක් පිට නොවන බව දත් මහ දෙවියන්ට තමන්ගේ මේ අසමමිතික නිර්මානය ගැන සිනහ පහල විය.
"මම තොප නිර්මානය කලේ සිහින දැකීමට, මත් වීමට මෙන්ම වරින් වර ඉන් මිදී පියවි බවට පත්වීමට හැකියාවක් ඇති සත්වයෙකු ලෙසය. තොපගේම කොටසකින් ඇය නිර්මානය කරන විට මට වැරදීමකින් සිදුවුනි. එබැවින් යථාර්තය දකිමින් පියවි බවට පත්වීමේ ශක්තිය ඇය තුල අල්පය. ඇය සිහින තුල වඩ වඩා ජීවත් වෙයි. ඒ සිහින තුල අතරමංවී ඇය තැවෙයි වැලපෙයි. කල්ප කාලයක් ඇය විඳි දුක් අවසන් විය යුතුයි. ඇයද ඔබ වන් සත්වයෙකු කිරීමට මේ දැන් කාලයයි. "
මහදෙවියා අවසන් තීරණයකට පැමිණි නියායෙන් කීය. මෙතෙක් නිහඬව වුන් මිනිසා මහ හඬින් වැලපෙන්නට විය. මෙතෙක් මහත් සාඩම්බරෙන් ගැහැණිය ඉදිරියේ හිස ඔසවා සිටි මිනිසා මොහුමදැයි යන්න දෙවියන්ට ගැටලුවක් ඇති කලේය.
"කුමක් නිසාද මේ?"
"දෙවියනි, එවිට ලෝකය නැවතෙයි. ලෝකය පවතින්නේ ගැහැණිය සිහින දකින තාක් කල් බව ඔබට නොවැටහෙන්නේ මන්ද? මා මෙතෙක් සතුටින් ජීවත් වූයේ ඇගේ ඒ සිහින තුලය. එසේ නොවුනා නම් මේ ලෝකය නිසරු කාන්තරයක් පමණක්ම වන්නට ඉඩ තිබිනි. බොහෝ අවස්ථාවල ඇය මටද වඩා බලවත්ය. සිහින තුල ජීවත් වන බැවින් ඇයට ඒ බව නොවැටහේ. ඇය මහ මෙරක්සේ සියලු දුක් දරා සිටියි. දෙවියනි, මා අසරණ නොකළ මැනව. අප බලවත් බව පෙනෙන්නේ ඇය සිහින දකින තාක් කල් පමණි"
මිනිසාගේ විලාපය මහදෙවියන්ට අදහනු නොහැකිවිය. තමන්ගේ මුල් නිර්මාණය මෙතරම් අසරණ සත්වයෙකු බව මහදෙවියන්ට මුල් වරට පසක් වෙමින් තිබිනි. ඇත්ත වශයෙන්ම එය සිදුවූ කළ ලෝකය නැවතෙයි. තව දුරටත් ස්වභාවයට අවශ්‍ය පරිදි මිනිස් පරපුර බිහි වන්නේද නැත. දෙවියන්ද මහත් ගැටළුවකය. මිනිසාද, ඔහු මැවූ දෙවියන්ද එක්ව දෙ අත් මුහුනේ හොවමින් කල්පනා කරන්නට පටන් ගති.

10 comments:

  1. niyama kathawa. pattai

    sinbath

    ReplyDelete
  2. හ්ම්ම්.කල්පනා කරල බලනකොට සහතික අැත්ත

    ReplyDelete
  3. දෙවියොත් ටිකක් වැඩිපුර අරන් ඉන්න ඇති මවන රාජකාරිය කරන වෙලාවෙ. බැරෑරුම් වැඩ අමුවෙන් කරන්න අමාරුනෙ.

    ReplyDelete
  4. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතOctober 16, 2011 at 10:08 PM

    අපූරු ලියමනක් මැණික්. ඉතාම තාර්කිකයි.

    ReplyDelete
  5. හරිම ලස්සනයි. ගැහැනිය සිහින මැවීම නතරකල දාට මුලු ලෝකයම නැවතෙයි. ඇත්ත කතාව....:)

    ReplyDelete
  6. එතකොට මහ ඹබාටත් වැරදුනාද?

    ReplyDelete
  7. විශිෂ්ඨ ප්‍රබන්ධයක්!

    ReplyDelete
  8. මිනිස් සබඳතා විනිවිද දැකීමක්. හරිම අගෙයි !!

    ReplyDelete
  9. ස්තුතියි හැමෝටම.
    මැණික්

    ReplyDelete