-->

Saturday, April 23, 2011

"දෙබිඩ්ඩෝ"

"බොරු මම" උපත ලැබුයේ කවදාදැයි "ඇත්ත මම"ට මතකයක් නැත. නමුත් "බොරු මම"ට පූර්ණ ආරක්ෂාවදී ටිකෙන් ටික හදා වඩා ලොකු මහත් කළේ "ඇත්ත මම" බව ඔහු දනී. "ඇත්ත මම" මෙන් නොව "බොරු මම" උගත්ය. ඊට සරි ලනසේ බොහෝ ගුණ යහපත්ය. පන්සිල් පමණක් නොව විටෙක අටසිල් පවා රකින බවක් පෙන්නුම් කරයි. කිසිවෙකුට බය නැත. ලෝභ කමක්, ද්වේෂයක් දන්නේම නැත. සංග්‍රහ ශීලීය. ත්‍යාගවන්තය.ප්‍රිය මනාපය.
කිසිවෙකු අමනාපව දොස් නගන විට "ඇත්ත මම"ට උන් හිටි තැන් අමතකව තරහෙන් පුපුරා  හැලෙන්නට ආසන්න වන විටම "බොරු මම" ඉදිරියට පැන ඉතා සාමකාමී බවක් පෙන්වමින් මෛත්‍රියම ගැන දේශනා කරන්නට පටන් ගනී.
විටෙක "බොරු මම" තමන් තන්හාවෙන් තොර බව ලෝකයට කීමට දානපති වේශයක් ගනී. "ඇත්ත මම"ට අයත්දේ "බොරු මම" ඉදිරිපත්ව දන් දෙන විට සිත තුලට ගලන ලෝභය "ඇත්ත මම" ඉවසා සිටින්නේ බොහෝ අමාරුවෙනි. එහෙත් කටක් ඇර ඒ ගැන වචනයක් කීමට "බොරු මම" ඉඩ දෙන්නේම නැත.
"ඇත්ත මම"ට විටෙක උඩ පැන නටන්නට සිතේ. කෑගසමින් ප්‍රීති ඝෝෂා කරන්නට සිතේ. එහෙත් "බොරු මම" විනීතය. සංවරය. "බොරු මම"ගේ පාලනයට "ඇත්ත මම" නතුව ඇති බැවින් දුකසේ ඒ සියල්ල විඳ දරා ගනිමින් විනීත වන්නට සිදුව ඇත.
ධන සෘන ආකර්ශණයේ ලෝක න්‍යායට අනුව විටෙක "ඇත්ත මම" ආශාවෙන් ඉපිල යයි.එහෙත් "බොරු මම" තුන්වන සිල් පදය දිවි දෙවෙනි කොට සුරකියි. වෙව්ලන සිරුර ආයාසයෙන් පාලනය කරමින් "බොරු මම"ගේ විධානයට අනුව "ඇත්ත මම" හැසිරෙයි.
"ඇත්ත මම"ට වඩා විසල් වෙනසකින් "බොරු මම" නැගී සිටින විට තමාම හැදූ වැඩූ "බොරු මම" නිසා "ඇත්ත මම"ට දැනෙන්නේ ඉවසිය නොහැකි පීඩනයකි. තමා තුලම දෙබිඩිව සිටින "බොරු මම" පෙරලා දැමීම සවිඥානිකව කළ නොහැකි බව වැටහෙන විට "ඇත්ත මම"ට පිහිටට එන්නේ මත්වී සිහි විකල් කරවන දේය. විකල් සිහිය තුල ‍රැ‍ඳෙමින් "ඇත්ත මම" මොහොතකට හෝ "බොරු මම"ගේ මවා පෑම් ඉවතලමින් සිනාසෙයි. තමන්ට රිසිසේ හැසිරෙයි. "බීපු මිනිහෙක් කරන විකාර" ලෙස ලෝකයා ඒ සියල්ල අර්ථ දක්වන බැවින් මත සිඳුන විටක යලි "බොරු මම"ට පෙර පරිදිම ක්‍රියාත්මක විය හැකි බව "ඇත්ත මම" දනී.
"ඇත්ත මම" වසා ගෙන "බොරු මම" ඉස්මතුව ඇතත්, "බොරු මම"ට "ඇත්ත මම" ඉතා ආදරේය. හේතුව ලෝකයා ගරු කරන්නේත් ආදරය කරන්නේත් "බොරු මම"ට මිස "ඇත්ත මම"ට නොවන බැවිනි.
"බොරු මම"ත් "ඇත්ත මම"ත් අතර පරතරය විශාල වන්න වන්න "ඇත්ත මම"ට තමන්ගේ අනන්‍යතාවය අමතකව යයි. "බොරු මම" යනු තමන්ගේ සත්‍ය ස්වරූපයම බව "ඇත්ත මම"ට සිතෙන්නට පටන් ගනී. ඒ නිසාම තමන් තුල නැගෙන පීඩනය කවරක් නිසාදැයි "ඇත්ත මම"ට නොවැටහෙයි. ඉතින් තමන්ම හැදූ "බොරු මම"ට මුවාවී "ඇත්ත මම" දුකෙන් හඬමින්, තරහෙන් පුපුරමින්, ද්වේශයෙන් දැවෙමින්,  ආශාවෙන් ඉකිලමින්, තණ්හාවෙන් සලිත වෙමින් නිමක් නැති සංසාර ගමනක යයි.

නැවතුම කොහිද? 
"ඇත්ත මම" පරමාදර්ශී "බොරු මම" බවට පත්වන්නේ කවදාද? 
...සිතමි..
"මම?".

3 comments:

  1. හැමදාම ඔය ගැ‍ටුම හැම කෙනෙක්තුලම තියෙයි. ඒත් දෙබිඩ්ඩෙක් කියල තේරෙන්නෙ "බොරු මම" ට වඩා "ඇත්ත මම" පොඩ්ඩක් හරි ශක්තිමත් නම් විතරමයි. නැත්නං හැමදාම "බොරු මම" ඇත්ත මමයි" කියල හිතාගෙන ඉන්න පුළුවන්.

    ReplyDelete
  2. බොරු මමවත් ඇත්ත මමවත් කියල කිසිවෙක් නෑ. මම කියන දේ ගොඩනැගිල තියෙන්නෙ ප්‍රධාන වශයෙන් ආශාවන්ගෙනි. ඒ ආශාවන් නිසා තණ්හාව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කෝපය වැනි හැඟීම්ද එසේම උගත්කම්, සමාජ ප්‍රතිරූප වැනි දේවල් ගැන අසීමිත බැඳීම්ද ඇතිවේ. ඉතින් මේ සියල්ල නැත්නම් ඇත්ත මමවත් ‍බොරු මමවත් කියා කිසිවෙක් නෑ. ඉතින් ඕනෑම කෙනෙකුට මේ දේවල් වලින් ඈත් වෙන්න හැකියාව තියෙනව. අවශ්‍ය ඉහත ගුණාංග වලට ප්‍රතිවිරුද්ධ ගුණාංගයන් පූර්ණ අවංකභාවයෙන් ප්‍රගුණ කරන්නේනම් ඇත්ත මම සහ බොරු මම මධ්‍ය ලක්ෂ්‍යයේදී මුණ ගැසෙයි.

    ReplyDelete
  3. තමන් තුළ ඇතිකරගත හැකි ස්වයං පාලනය බොරු මම ලෙස හුවා දැක්වීම මම අනුමත නොකරමි. තමාව පාලනය කරගත හැක්කෙකු ඉතාමත් ශක්තිමත් අයෙකු වනු මිස බොරුකාරයෙකු නොවේ. ස්වයං පාලනය ගැන හුවා දැක්වූ කරුණු සාධාරන මෙන්ම සත්‍ය වන අතර බොරු මම - ඇත්ත මම සංකල්පයට මම එකඟ නොවෙමි.

    ReplyDelete