-->

Tuesday, April 19, 2011

"නානා පැදුරු එලුව හැටි"

පැරණි ගම්බිම් ඇසුරු කොට ලියවුන නවකතා, කෙටිකතා වල අරුමෝසම් බඩු පොට්ටනියක් අරන් ගමට එන මණි බඩු වෙළෙන්දා සඳහන් කතා බොහොමයක් දකින්න පුළුවන්. ඉස්සර කාලේ මේ මණි බඩු වෙළෙන්දට ගමේ ලොකු තැනක් තිබුනා. මේ මණි බඩු පොට්ටනියෙ ඉතින් පාට පාට මාල වළලු, පට කම්බා, සුවඳ සබන් වගේ දේ තිබුන නිසා ගම්වල දැරිවියෝ බොහෝම ආසාවෙන් මේ වෙළෙන්ඳව පිළිගත් බව තමයි අපේ වැඩිහිටි උදවිය කියන්නේ. ඒ වගේම මුස්ලිම් වෙළඳුන්ලු මේ වෙළඳාම ජයටම කරගෙන ගිහින් තියෙන්නේ. ඒ අය ඉතින් කොයි කවදත් වෙළඳාමට ගජ හපන්නුනේ. ඔය වගේ වෙළඳාම් සිදුවුන කාලේ වාහන ගමනාගමනයත් දැන් වගේ නෙවෙයි ගොඩක් අඩුයි. අඩි දෙක තුනක් යන්නත් දැන් කාලේ අයට වාහන නැතිව බැරි වුනත් ඒ කාලේ මිනිස්සු හැතැප්ම හතර පහ කිසි ගනනක් නැතිව පයින්ම ගියාලු. ඒ නිසාම කොලෙස්ටරෝල් බහින්න කියල පාරවල් දිගේ දුවන උදවිය ඒ කාලේ දකින්න ලැබිල නැහැ. ගම්වල ඉතින් එහෙම දුවගෙන යන්නේ හදිසි කරදරයකදිම නිසා ඔය කොලෙස්ටරෝල් බහින්න කියල පාරවල් දිගේ දුවන උදවිය ගැන හිනා කතාවකුත් එක කාලයක් තිබුනා. මොකද ඔහොම දුවගෙන යන කෙනෙක් දැකල ගමකින් ආව අයෙක් දුවල ගිහින් අහල තියනවා අර දුවන කෙනාගෙන්
"ඇයි.. ඇයි... මහත්තයෝ කරදරයක් වත්ද?'
කියල. ඒත් දැන් ඔය දිවිල්ල සාමාන්‍ය දෙයක් නිසා ඒක දැන් ගමේ කෙනෙකුටවත් විශේෂ දෙයක් නම් නෙවෙයි. ඊටත් ගමේ අයත් නගරෙට  ඇවිත් දැන් ඔහොම දුවනවද මංදා?
හ්ම්ම්.. මණි බඩු වෙළෙන්දගෙ කතාව වැරදි පාරකට ගිහින් වගේ. කතාව මේන් මේකයි. ඉස්සර ඉතින් වාහන අඩු නිසා පයින්ම ගමට එන වෙළෙන්දා රෑ බෝ වුනොත් කාරිය ගමේම ගෙදරක නවාතැන් ගන්නවලු. එහෙම නවාතැන් ගත්තම ගෙදර උදවිය පැදුරු ආනේ තියන පැදුරක් දෙනවලු ගේ පිල්කඩේ එලා ගෙන නිදා ගන්න. පැදුරු ටික සේරම රෝල් කරල ඔතල ලනුවකින් වහලේ එල්ලලා තියන එකටයි පැදුරු ආන කියන්නේ. දවසක් මෙහෙම ආ මණි බඩු වෙළෙන්දෙකුට උඩරට ගෙදරක මැණිකෙ කෙනෙක් රෑ කෑමත් දීලා නිදාගන්න පැදුරකුත් දුන්නලු. ඒත් රෑ තිස්සේ මැණිකෙට ඇහෙනවලු සරා..ස්, සරා...ස් ගගා එහෙ මෙහෙ දුවන අමුතු සද්දයක්. ඉතින් මැණිකේ බැරිම තැන නිලමෙට කතා කරල කිව්වලු,
"අනේ මයෙ නිලමේ,... ගොහින් බලන්ටකෝ මොකද්ද ඔය එන අමුතු සද්දේ කියල".
කෝකටත් කියල නිලමේ යන පිටිපස්සෙන් මැණිකෙත් ගිහින්. අනේ දෙයියනේ බලන කොට මේ අපේ නානා නේ තුන් මුනින් දාඩිය දාගෙන එහෙ මෙහෙ දුවන්නේ. ඉතින් මැණිකෙ අහලා,
"මොකද නානා නිදා ගත්තෙ නැද්ද?" කියල. නානා කියනවලු,
"යේක මැණිකෙ, මම තා....ම පැදුර දිගාරිනවා. යෙක පැත්තෙන් දිගාරිනකොට අනිත් පැත්ත ඇකිලෙනවා. යේ පැත්ත දිගාරිනකොට අනිත් පැත්ත ඇකිලෙනවා. මං තා...ම පැදුර දිගාරිනවා".
මැණිකෙටයි නිලමෙටයි හොඳටම හිනා. මැණිකෙ ඉතින් අර රෝල් වෙලා තියන පැත්ත අනිත් පිට හරවලා නානට පැදුර එලලා දුන්නලු. පැදුරු ආනේ තියන පැදුරු ගොඩක් කල් ඒ ආකාරයටම තිබෙන නිසා  රෝල් කරල තියන පැත්ත දිග අරිනව බොරු. පැදුර එලා ගන්න ඕනෙ අනිත් පැත්ත හරවලයි. මේක නොදන්න නානා ලොකු අමාරුවක වැටිලයි ඉඳල තියෙන්නේ.
(මේ කතාවත් කිව්වේ අපේ අම්මා, රස කර ලිව්වේ අම්මගෙ කතන්දරකාරී)

8 comments:

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතApril 19, 2011 at 5:14 PM

    ගොඩ කාලෙකින් මේ පැත්තේ එන්න ලැබුණේ. සුභ අළුත් අවුරුද්දක් වේවා ඔයාට. සන්තුරි එහෙම කොහොමද? එයාටත් මම අවුරුද්දට සුභ පැතුවා කියන්නකෝ. අද කතාවනං හරි අපූරුයි. මතක් වෙන කොටත් හිනා යනවා. :D

    ReplyDelete
  2. ලස්සන කතාව...

    ReplyDelete
  3. හෙ හේ... හෙන ඉස්සර වතාවක් මටත් ඔහොම එකක් වුණානේ යාළුවෙක්ගෙ ගෙදරදි. යාළුවගෙ අම්ම මම දාන සෙල්ලම් බලාගෙන ඉඳල කට කොණකින් හිනාවීගෙන ඇවිත් පැදුර අනිත් පැත්තට හරවල දාන්න කියල කිව්වා.... :D

    ReplyDelete
  4. ඔය කතාවනම් අදයි ඇහුවේ. අම්මට ස්තුතියි කිව්වා කියන්න.........

    ReplyDelete
  5. ෂා නියම කතාව. නානා ට වෙචච දේ

    ReplyDelete
  6. @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත:
    ම්... කාලෙකට පස්සේ. සුභ අළුත් අවුරුද්දක්!!. සන්තූරි තරහයිලු එයාව අමතක කලාට. මටත් හැමදාම ඔය කතාව මතක් වුනාම මැවිල පේනවා නානා පැදුර දිගාරින හැටි.

    @Dinesh: ස්තුතියි. පූජා ගැන හිතල ගොඩක් දුක් වෙන්න එපා.

    @hare :-): ඒකනෙ පැදුරු දිගාරින හැටි ඉගෙන ගන්න.

    @charmi: හ්ම්.. කියන්නම් කියන්නම්. අම්මා ගොඩක් සතු‍ටු වේවි.

    @ayesha : ඒකනෙ ayesha, නානා පව් නේද?
    මැණික්

    ReplyDelete
  7. ඔව් ඔව් ඔය කතාව මාත් ඉස්සර කාගෙන් හරි අහල තියෙනව. ආයෙ මතක් කලාට බොහෝම ස්තූතියි ! ඒ වගේම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  8. අකුලලා තියෙන පැත්ත දිග ඇරලා නිදාගන්නේ මෙහෙමයි.

    එක කොනක් ටිකක දිග ඇරලා, කොට්ටේ තියන්න.

    දැන් රෝල අන්රෝල් කරගෙන ගිහින්, ඒ පැත්තෙන් කකුල තියා ඇලවෙලා නිදාගන්න.

    කොට්ට දෙකක් තියනවා නං දෙපැත්තෙන්ම තියන්නත් පුළුවන්.

    දෙතුන් පාරක් අනිත් පැත්තට රෝල් කළොත් -කොට්ට ඕනැත් නෑ!!!

    ReplyDelete