-->

Monday, April 18, 2011

"බළලුන්ට පමණයි"

ගමක බළලෙකුට බඩේ අමාරුවක් හැදුනොත් අපි බෙහෙත් දෙනකම් ඌ බලාගෙන ඉන්නෙ නැහැ. ටවුමෙදි නම් දැන් කාලේ බළලටත් බෙහෙත් අරන් දෙන්න පශු වෛද්‍යතුමා හොයගෙන යන එක සිරිතක්. ඒත් ගමේ බළලා නම් බඩේ අමාරුවට දුවගෙන ගිහින් හොයාගෙන ඇවිත් පුංචි පැලෑටියක මුලක් හපනවා අපිට දකින්න පුළුවන්. බළලත් හඳුනන මේ ඖෂධීය ශාකය තමයි කුප්පමේනියා ශාකය. වල් පැලෑටියක් ලෙස ඉබේ වැවෙන නිසා මේ ශාකය අනවශ්‍ය ලෙස සලකමින් ඉවත් කරන්න යෑම නිසා වඳවී යෑමට පටන් ගෙන තියනවා. අපේ නොසැලකිල්ල නිසා මේ තත්වය ඇතිවී තිබුනත් මෙය ඉතා වටිනා ශාකයක්.
කුප්ප්මේනියා "වල් නිය" කියලත් හඳුන්වනවා. එහි විද්‍යාත්මක නාමය වෙන්නේ Acalypha indica. ඔන්න අමතක කරන්න එපා කැස්ස හැදුනොත් කුප්පමේනියා කොළ යුෂ ටිකක් මී පැනි එක්ක ගන්න. ඒ වගෙම දදයක් තියනව නම් කුප්පමේනියා කොළ යුෂවලට දෙහි ඇඹුල් ටිකක් දමා දදය මතුපිට තවරන්න. විරේචනයක් ඕනෙ නම් පත්‍ර යුෂ ටිකක් බීල බලන්නකෝ වැඩේ හරි යයිද කියල. ඒ වගේම වෙද මහත්වරු මේ ශාකය සර්ප විෂ නැසීමටත් භාවිතා කරනවා. තව දෙයක් අමතක වුනා. ගම්බද පළාත් වල කුප්පමේනියා කොළ වලින් ඉතාම රසවත් මැල්ලුමක් හදා ගන්නවා. ඒ කියන්නෙ ආහාරයක් විදියටත් භාවිතා කළ හැකියි. බළලුන්ට තියෙන මොළේ අපිට තිබුන නම් කියල දැන් හිතෙන්නේ නැද්ද?

2 comments:

  1. නොදන්නා දෙයක් ගැන දැනුවත් කරට ස්තුතියි

    ReplyDelete
  2. ඇත්ත අක්කේ.. අපි මේ දෙවල් දකින්නේ නොවටින දෙවල් විදිහටනේ..

    ReplyDelete