-->

Tuesday, April 5, 2011

"අපෙ සොබනගෙ කත"

දැන් වගේ නෙවෙයි ඉස්සර කාලේ ගම්වල ලෙඩක් දුකක් වුනාම බලි තොවිල් කරන එක සිරිතක් වෙලා තිබුනා. තොවිලයක් වගේ යාතු කර්මයකට ගමේ හැමෝම එකතු වෙනවා. එදාට තම තමන්ගෙ වැඩ බොහොම කලියෙන්ම ඉවර කරල තොවිල් පලට එන්නෙ හරිම සතුටකින්. ඒ වගේම බත බුලතින් පිරුන අපේ ගම් වල පිරිතක් තොවිලයක් තියනවනම් සහභාගි වෙන කාටත් කෑමෙන් බීමෙන් අඩුවක් වුනෙත් නෑ. හොඳ රසට උයපු තොවිල් බත කාලා ගුරුන්නාසේ කියන යාතිකා අහගෙන එක පදයක් ගානේ "ආ..යුබෝ.. වේවා..." කියන එක තොවිල් පලට ආ කාගෙත් රාජකාරියක් වුනා.
මෙහෙම පැවැත්වුන තොවිලයක සිද්ද වුන රස කතාවක් මට අපේ අම්මගෙන් අහන්න ලැබුනා. අපි පුංචි කාලේ විතරක් නෙවෙයි දැනුත් එකට එකතු වුනාම අම්ම අපිට මේ වගේ රස කතා ඒවට සම්බන්ධ කවි තාලයට ගයමින් කියා දෙනවා. අම්මගෙ නැළවිලි ගී විතරක් නෙවෙයි මේ කවි කතාත් හැමදාම අපේ ලෝකය පිරෙව්වා. මටත් මේ කවි කීම එන්න ඇත්තේ බොහෝ විට අම්මගෙන් වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.
ඉතින් මේ කියන සිද්ධිය වුන තොවිල් ගෙදර රෑ බතට උයල තිබිල තියෙන්නේ නිවුඩු හාලේ බත් එක්ක අඟුන කොල මැල්ලුමයි, බ‍ටු හොද්දයි විතරයි. සාමාන්‍යයෙන් තොවිල් බත මීට වඩා සාරයි. අඩුම ගානේ වට්ටක්කා හොද්දක් සහ කරවල බැදුමක් වත් තව තිබුන නම් ඕං තොවිල් බත අගෙයි කියල කියන්න තිබුනා. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ උයල තියන මාළු පිනිත් මෙලෝ රහක් නැතිව තිබීම. ඉතින් ගමේ අයට කෙසේ වෙතත් තොවිලෙට ආ ගුරුන්නාන්සෙටයි එයාගෙ ගෝල බාලයන්ටයි මේක ටිකක් හිතට මදි. ඇයි අප්පා එලි වෙන කම් යාදිනි කිය කියා නටන්න බඩ පිරෙන්න නොකා කොහොමද? ඒත් කනු කුනු නොගා දුන්නු බත පුලුවන් පමණින් කාලා වැඩේ පටන් ගත්තා. ගුරුන්නාන්සෙයි ගෝලයොයි යාතිකා කියනවා. අහන් ඉන්න අය"ආ..යුබෝ.. වේවා..." කියනවා. රෑ දොළහ එක වෙන කොට බඩෙන් බාගයක් බත් කාපු රඟේ දැනෙන්න ගත්තා. ඔන්න කේන්තියටත් එක්ක ගුරුන්නාන්සේ මෙහෙම කියන්න ගත්තා.
සිරිවත වත සිරිවත වත නිවුඩු හාලේ බත.....
පුරුද්දට අහන් ඉන්න ඈයෝ නිදි මතේම
ආයුබෝ ........ වේවා ............ කියනවා. ඉතින් ඉතිරි පද ටිකත් මෙහෙම කියවුනා.
සිරිවත වත සිරිවත වත අඟුන කොලෙන් යු..ත.....
ආයුබෝ ........ වේවා ............
සිරිවත වත සිරිවත වත මෙබත පිසූ ක...ත....
ආයුබෝ ........ වේවා ............
සිරිවත වත සිරිවත වත අපෙ සොබනට යු....ත....
ආයුබෝ ........ වේවා ............

ම්හ.. කාටවත් මේ අමුතු කවිය ගැන දැනුන පාටක් නෑ. තමන්ගෙ හිතේ තිබුන තරහ මේ විදියට හිමින්ම පිට කරපු ගුරුන්නාන්සේ වෙනසක් නැතිව ඉතිරි යාදිනි කවි කියන්න පටන් ගත්තලු.

1 comment:

  1. අගුන කොල සම්බෝල මම් ආසම කෑමක්.

    ReplyDelete