-->

Monday, February 14, 2011

"සන්තූරි සිතිවිලි අතර"

"සන්තූරී, .... මොනව කරනවද ඔය ගල උඩට වෙලා අනිමිසලෝචනයෙන්?"
" ම්.... මේ පුංචි දණ්ඩි පැටව් ඉවරයක් නැතිව දඟලන හැටි... මට නම් ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඇවිත් ගොඩක් වෙලාද අයියේ?"
" ඔව්,...  නංගොට ඉතින් මාව පේන්න ඔයැයිගෙ හැම සකල කලාවක්ම ඉවර වෙන්න එපැයි"
"..................................."
"මොකද අද කතා නැත්තේ? කට ගෙදර තියල ආවැයි?  නැත්තම් ආච්චි අම්මා මොහොකට හරි හොඳවයින් සෝලි තියන්න ඇති. ආයෙ දෙකක් නෑ."
"අනේ මන්දා අයියේ, මට හිතෙනවා අපි හැමදාම ඉස්සර වගේ පුංචි ළමයිම වෙලා හිටියනම් කියල. තවමත් මගේ හිත නම් ඒ වගෙයි. ඒත් අපේ මේ සරීර මහ විසාල වෙලා නොවැ."
"ඉතින් ඒකට මොකදෑ නඟා ඔය හැටියට විස්සෝප වෙන්නේ?. හැමදාම අපිට පුංචි ළමයි වෙන්ට ඇහැකෑ."
"නෑ ඉතින්. පුංචි කාලේ අපි ඔහේ හිතූ මනාපේ අත් අල්ලන් දුව ඇවිද්දා. මං බිම පෙරලිලා අඬන කොට අයියා මට කැලේ කොලේ ගෙඩි කඩල දුන්නා. මතකද අර වැවේ පිපුන ඕලු මලක් ඉල්ලලා ඒක කඩන්න ගිහින් වුන විනම්බෑසිය? එච්චර විතරද මට ඉතින් ඔය හපනා වගේ ගස් උඩ නගින්න කියා දුන්නේත් ඉතින් වෙන කවුද?"
"හ්ම්.... ඉල්ලන එව්ව ඉතින් නොකර හිටියොත් මම කම්මුතුයිනේ. මාත් ඉතින් ආච්චි අම්මගෙන් බැනුම් අහ අහ ඔය කොයිදේත් කෙරුව නේන්නන්. මොකදෑ ඉතින් අද ලවක් දෙවක් නැතුව මෙව්වා කියවන්ට ගත්තේ?"
"ඔය ආච්චි අම්මා කියන්නේ ගින්දරයි පුලුනුයි එක ලඟ තියන්ට හොඳ නෑ කියල. අනේ උඹ ගින්දර වෙන්න එපා අයියේ. එක්කො ඉතින් මට මොකෝ උඹ ගින්දර වුනත්, මම පුලුන් නොවී මෙන්න මේ ඔයේ වතුර වගේ සීතලම සීතල වුනාම අහවරයි නේ.."
"අනේ උඹෙ පැහිච්ච කතා. ඔව්ව ඔච්චර හිතන්න එපා නංගියේ. මේං මං ගො‍ටු කොල අහුරක් කැඩුවා අර වෙල් ඉපනැල්ලේ ඇවිද යනින් ගමන්. හවහට බැරියැයි උඹට දෙහි ඩිංගිත්තක් දමලා රහට සම්බෝලයක් තනා ගන්ට. ඕං මං ගියා එහෙනන්. විගහින් නාගෙන ගෙදර පලයන් නංගෝ."

6 comments:

  1. සන්තුරි අපූරු කෙල්ලක් නේ

    ReplyDelete
  2. මාත් කැමති සන්තූරි හැමදාම පුංචි සංදියෙ වගෙ ඉන්නවනම්,ඒත් ඉතින් කොහොමද එහෙම ඉන්නෙ, නේද?

    ReplyDelete
  3. අන්න සන්තුරිට හොඳ අදහසක් ඇවිල්ලා. ගින්දර එක්ක ඉන්න ඕනේ උනාම ඒ ගින්න තව තවත් අවුළුවන භූමි තෙල්වත්, ඒ ගින්නට ඇවිලිලා පිච්චිලා යන පුළුං රොදක්වත් නොවී, ඒ ගින්නේ සැර පරුෂ බව අඩු කරන සීතල වතුර පොදක් වෙන එක තමයි හොඳම දේ. හැබැයි මුළු ගින්නම නිවලා දාන එකත් හොඳ නෑ, එතකොට ගින්දර පව්නේ. සන්තුරි එහෙම කරන එකක් නෑ.

    ReplyDelete
  4. කා‍ලෙකින් සන්තූරි ඇවිත්..........

    පුංචි සන්දි‍යේ කරපුවා ආ‍යේ කවදා කරන්නද........

    ReplyDelete
  5. @ayesha: මටත් හිතෙනවා එය හරි අපූරුයි කියලා. ස්තුතියි
    @Ravi: ම්... සන්තූරි විතරක් නෙවෙයි අපි හැමෝම කැමතියිනේ ඒකට. ස්තුතියි.
    @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත :
    වෙන්න ඇති. වෙලාවකට සන්තූරි ගැන ලිව්වා ඇති කියලත් හිතෙනවා. ස්තුතියි හැමදාම එනවට.
    @හා පැටික්කි : ඒකනෙ...පුංචි සන්දි‍යේ කරපුවා ආ‍යේ කවදා කරන්නද. ස්තුතියි ආවට.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  6. ඇයි ඒ උන්හිටි ගමන් සන්තුරීගෙ ගමන නතර කරන්න හිතුණෙ? ඔන්න ඔහෙ ගඟක් වගේ ඒ කතාව ගලාගෙන ගියදෙං. ගල්පර හම්බවෙයි, මහා කඳුවැටි වලින් ඇද හැලෙන්න සිද්ද වෙයි, ඒත් අන්තිමේදි මහ සමුදුර තුරුලටම යයි. වෙලාවකට මහ වේගෙන්, ඉවුරු කඩා බිඳගෙන ගලාගෙන යයි, වෙලාවකට ගලනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරමට හෙමින් ගලයි, ඒත් අන්තිමට තමන්ගෙ අරමුණ වෙත යයි. ඒ ගඟට බැමි බඳින්න යන්න එපා මැණික්, ඔන්න ඔහේ ගලන්න දෙන්න.

    හැමදාම එන්නේ, හැමදාම එන්න ආස හිතෙන දේවල් මේ පැත්තේ තියෙන නිසානේ. :D

    ReplyDelete