-->

Saturday, June 12, 2010

සැනසිලි සුවය


තායිලන්තයේ වැඩවිසූ අග්‍රගණ්‍ය හිමිවරුන් අතරෙන් කෙනෙක් වූ අචාන් චා හිමියන්ගේ දේශනා අඩංගු " A Taste of Freedom" නැමැති ග්‍රන්ථය ඩ්බ්ලිව් සුගතදාස මහතා විසින් "විමුක්ති රසය" ලෙස පරිවර්තනය කර ඇති අතර මේ උතුම් මිනිසත් බවින් ධර්මය අත් දකින්නේ කෙසේද යන්න එහි ඉතා සරල ලෙස විස්තර කර ඇත. එහි සඳහන් එක් කොටසක් මෙසේ උපුටා දැක්වේ.
"සැනසිලි සුවය සඳහා මාවත වශයෙනුත්, අවබෝධත්වය සඳහා ක්‍රියා මාර්ගය වශයෙනුත්, බුදුන් වහන්සේ නියම කොට වදාළේ ශීලය, සමාධිය හා ප්‍රඥාවයි. නමුත් මේවා බුදු දහමේ හරය වශයෙන් ගණන් නොගැනේ. ඒවා හුදු මාර්ගය පමණක් ම වෙයි. බුදු දහමේ නියම හරය සැනසිලි සුවයයි. එම සැනසිලි සුවය සියලු දේවල් තුළ පවත්නා යථා ස්වභාවය දැක ගැනීම තුළින් උදා වෙයි. සතුට හා අසතුට ගැන සමීප ලෙස විමර්ශනය කරන විට එම දේවල් සැනසිලි සුවය නොවන බව අපට දැක ගත හැකි වෙයි. සත්‍යය යනු එවැනි කිසිවක් නොවේ.
සොයා දැන ගන්නා ලෙසත්, විමර්ශනය කර බලන ලෙසත්, බුදුන් වහන්සේ විසින් අනු දැන වදාරන ලද මනස එනම්, මිනිස් මනස ගැන දැක ගත හැකි වන්නේ ඒ තුළ පවත්නා ක්‍රියාකාරිත්වය තුළිනි. ප්‍රකෘති මනස මැණ බැලීම සඳහා කිසිවක් නොපවතියි. එය දැන ගැනීමට ක්‍රමයක්ද නැත. ඊටම අයත් ප්‍රකෘති ස්වභාවය තුළ එය නොකැළඹී නිශ්චලව පවතියි. සතුට පහළ වන විට සිදු වනුයේ මනස අරමුණක් තුළ මංමුලා වීමකි. එම නිසා ඒ තුළ චලනයක් හට ගනියි. මේ ආකාරයෙන් චලනය වන විට එම අරමුණු අල්ලා ගැනීමක් ඒ තුළ සිදුවන අතර ඒවා කෙරෙහි ඇලීමක්ද හට ගනියි"
(34 වන පි‍ටුව)

1 comment:

  1. පොතනම් කියවල තියෙනව. ඒත් ඉතින් මතක් වුණේ මේ සටහන දැකලයි.
    දාපු එක හොඳයි.

    ReplyDelete