Wednesday, August 11, 2010

"එක්ව හිනැහෙමු"

දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන සරෝජා ගීය ආයෙමත් ඊයෙ මගේ දෙසවනට පාවෙලා ආවා. මේ ගීයත් එක්ක තියන මගේ නොමැකෙන සම්බන්ධය ගැන මීට පෙරත් මම ලියා තියෙනවා. හැමදාම වගේ ඊයෙත් පුරුදු විදියට ගීයේ අවසානය මගේ ඇසට කඳුලක් එක් කළා. වෙඩි හඬට අකුරු ඇදවී හඬන සරෝජලා දැන් අපට දකින්න නොලැබීම ගැන සතු‍ටු වෙන්න පුළුවන්. ඒත් ....... ඒ සරෝජලාගේ ඇස්වල කඳුළු සැබැවින්ම වියලී සිනාවක් දකින්න තරම් තවමත් අපි වාසනාවන්ත නැහැ නේද කියලා මට හිතෙනවා. ජාති ආගම් කුල මල වලින් මිදී එකම මනුෂ්‍ය ජාතියක් ලෙස සරෝජලාටත් අපටත් අත්වැල් බැඳ එකට සිනාසිය හැකි දවසක් ඉක්මනින් එනවා නම් ...!!!

මා තොටින් එන උතුරු සුළඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුලු හංගන - සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි - මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ - ඒත් අපි එක පංතියේ

කරවටේ අත දමා හිනැහුන කෝ නුඹේ පොඩි යාලුවන්
දයාවක් නැති ලෝකයක්  දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවිද සෙනෙහසින්

මංදිරේ දොර නුඹව කැඳවයි  බේබිලා හඬනා හඬින්
මායිමේ වැට හඬ ගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවා ගන්නට දුවේ ඩිංගක් හිනැහියන්



(ගායනය : විශාරද දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය)
මෙතනින් අහන්න

Tuesday, August 10, 2010

"ප්‍රහේලිකාව"


සීගිරි කුරු‍ටු ගීයක්
වගේ යැයි ඔබ සිතමින්
කියවා ගනු පිණිස
අනේ වෙහෙසුන තරමක්

අනුරපුර ඉපැරණි
සෙල් ලිපියකැයි සිතමින්
එහි අරුත් සොයනට
කලෙමි නොතරම් වෙහෙසක්

ගැට පද විවරනය
ඇසුරු කොට විසඳන්නට
තුන් තේරවිල්ලක්
වුනිද ?... නැත ඔබ එහෙමත්

ඒ කිසිවක්ම නොව
ඊටත් ගැඹුරු පැටලිලි
දිනෙන් දින පෙන්වන
දකිමි ඔබ මෙලෙසින් මම

හරස් පදයකි ඔබ
නෙක නෙක අරුත් ගෙන දෙන
ඉතින් කෙලෙසින් මා
ඔබව තේරුම් ගන්නද

Thursday, August 5, 2010

"අප්පච්චී"


පාන්දරින් පිබිදී ගෙන පිරිත් කියන ඔබේ       හඬට
බෝධිය ලඟ පූජා විධි කරන ඔබේ නිමල       සිතට
තිස්තුන් කෝටියක් දුවේ පිහිටයි දෙවි කියන   හඬට
හැමදාමත් අප්පච්චී කඳුළු ආව මගේ            ඇසට

රිලා රෑන එහෙන් මෙහෙන් එබිකම් කරනව    දු‍ටුවද
ඔබේ අතින් හැදුනු බෝග වනසන විට දුක    හිතුනද
හිතේ දිරිය අහස උසට දරුවන් වෙනුවෙන් නොවේද
ඒ දරුවන් අප්පච්චී ඔබ අමතක කර             යාවිද

හේනෙ පැලට නියර දිගේ ආවේ මම          අප්පච්චී
ඔබේ පැරණි ගමේ කතා අහගන්නයි          අප්පච්චී
ඔබේ දුවම නූනත් මම ඊට මොකෝ           අප්පච්චී
ලේලියෙකුට දුවක් වෙන්න බැරි නැහැනේ   අප්පච්චී

Wednesday, August 4, 2010

"සර්ට උදව්වක්"

මේ දවස් වල නගරයේ ඉස්කෝලයේ උගන්වන වීරසේන සර්ට ලොකු ප්‍රශ්නයක්. වීරසේන සර් හුඟක් කැපවෙලා  තමන් දන්න හැම ක්‍රමවේදයක්ම යොදාගෙන උගන්වන කෙනෙක්. හැම පාඩමක් අවසානයේම ළමයින්ගෙන් තේරුනාද ඇහුවම හැම කෙනෙක්ම ඔලුව හොලවනවා. ප්‍රශ්න තියනවද ඇහුවම පංතියේ ඉන්න දක්ෂ ළමයින්ගෙන් කෙනෙක් දෙන්නෙක් ඉඳහිට ප්‍රශ්නයක් අහනවා. ඉතින් හැමදාම වීරසේන සර් හිතනවා
"ආ.. එහෙම නම් ප්‍රශ්නයක් නෑ පාඩම හොඳට ළමයින්ට තේරිලා ඇති" කියලා.
ඒත් වාරවසාන විභාගයේදී පිළිතුරු පත්‍ර බලන කොට තමයි වීරසේන සර් කලකිරෙන්නේ. සමහර ළමයි ඉන්නවා කියලා දුන්න සමහර පුංචි දේවත් තේරුම් නොගත්. ඊලග අවුරුද්දේ ඉතින් වීරසේන සර් වෙන විධි ක්‍රම හොයනවා ළමයින්ට උගන්වන්න. ඒත් අවසාන ප්‍රථිපලය ඒකමයි. ලඟදි දවසක වීරසේන සර් ගමේ ගිය වෙලාවක එයාට මුනගැහුනා විශ්‍රාම සුවයෙන් ඉන්න ගමේ ලොකු ඉස්කෝල මහත්තයා. බොහොම හිත් අමාරුවෙන් වීරසේන සර් මේ ප්‍රශ්නය ලොකු ඉස්කෝල මහත්තයට කිව්වා. ඉතින් ලොකු ඉස්කෝල මහත්තයා කිව්වේ මේ ටික.
" මහත්තයෝ, උගන්නන්න කලින් ළමයි ටික අඳුනගන්න. එතකොට මහත්තයට තේරෙයි ළමයි කොට්ටාස හතරක් ඉන්න බව. එක කොටසක් හංසයෝ වගේ. ඒ අය ඉන්නේ ටික දෙනෙක් උනත් ඒ අය ගැන මහත්තයා වැඩිය නොහිතුවට කමක් නැහැ. මොකද... හංසයෝ ඉතින් දියෙන් කිරි වෙන් කර ගන්නවා වගේ මහත්තයා උගන්වන දේ සාරය උරාගන්න දන්නවා. ඒ දක්ෂ දරුවන්ට මහත්තයා පොඩි මග පෙන්වීමක් කලාම ඇති.
තව කොටසක් ඉන්නවා මහත්තයෝ ගිරව් වගේ. මහත්තයා කියන කියන දේ පුනරුච්චාරනය කරනවා මිසක් ඒකෙ සාරය උරාගන්න දන්නේ නැහැ. ඉතින් මහත්තයට සිද්ද වෙනවා මේ ගිරව් ටික හංසයෝ කරන්න.
ඊලඟ කොටස මහත්තයෝ.. වතුර වත් කලාට රඳන්නේ නැති හිල් උන කළගෙඩි වගෙයි. මහත්තයා අඩුම තරමින් මේ කළගෙඩි ටික පාස්ස ගන්න වත් බලන්න.
අන්තිම කොටසට මොකද කරන්නේ කියන එක ගැන මහත්තයාම තීරණය කරන්න. මොකද ඒ අය තේ පෙරන වගෙයි. හැම වෙලේම රොඩු ටික ඉතිරි කරගෙන හොඳ හරිය පෙරලා අරිනවා."
ඕක තමයි ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ උපදේසෙ. ඉතින් වීරසේන සර් මේ දවස් වල අහස පොළොව ගැට ගගහ කල්පනා කරනවා අන්තිමට කිව්ව තුන් කොට්ටාසයම හංසයෝ කර ගන්නෙ කොහොමද කියලා. මොකද.. ඒකනේ සිදුකරගන්න ඕනේ හොඳම දේ. අනේ ඉතින් කාට හරි පුලුවන් නම් වීරසේන සර්ට උදව්වක් කරන්න.

Thursday, July 29, 2010

"සැනසුමක මග"


                උතුම් කුලවමිය නැණ, ගුණ, රුවද    හිමී
               ඉතින් වැටහුනිද සසරේ නොතිර        බැමී
               බුදුන් ගිය මගයි සැනසුම හදට           හිමී
               හිතෙයි මටත් යන්නට ඒ මග
ම          නිමී

මෙම ඡායාරූපයෙන් පෙන්වන භික්ෂුණීන් දෙනම වන්නේ ස්වීඩනයේ පදිංචිව සිට ලංකාවට පැමිණ පැවිදි දිවියට ඇතුල්වූ මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේත් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසංනිවේදන අංශයේ කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේත්ය.
මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේ කුමාරිහාමී පානබොක්කේ නමින් 1948දී  මහනුවර ප්‍රකට පානබොක්කේ පවුලේ සිව්වෙනි දියණියව උපත ලබා මහනුවර උසස් බාලිකා විදුහලෙහි සිප්සතර හදාරා ලංකාවෙහි රෝහල් කිහිපයක වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිට පසුව විශේෂඥ පුහුණුව සඳහා විදේශ ගතව නළ දරු උපත් පිළිබඳව හදාරා විශේෂඥ වෛද්‍යවරියක් මෙන්ම මහාචාර්ය පදවියක්ද ලබා ගත්තාය. එතුමිය 1976 වසරේ ස්වීඩනයට ගොස් 2004 දී විශ්‍රාම ගෙන නැවත ලංකාවට පැමිණ පැවිදි දිවියට එක් වූවාය. දැනට මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ සිට ධර්ම ප්‍රචාරයේ යෙදෙයි.
කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේ නාවලපිටියේ 1973 දී උපත ලබා වයස 13 දී  සසුන් ගතවී ඇත. එතුමිය පසුව පේරාදෙණිය සරසවියෙන් උසස් අධ්‍යාපනය හදාරා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසංනිවේදන අංශයේ කථිකාචාර්ය තනතුරක් ලබා ගත්තාය.

මෑතකදී රංගිරි දඹුල්ල උපෝසතාගාරයේදී පැවති ශ්‍රි ලංකා භික්ෂුණී උපසම්පදා උත්සවයේදී මෙතුමියන්ද ඇතුලුව ධර්මය පිළිබඳ අවබෝධය ලැබූ භික්ෂුණීන් වහන්සේලා 31ක් නමක් උපසම්පදා විනය කර්මයෙහි පිහි‍ටුවනු ලැබීය. භික්ෂුණී සාසනය පිළිබඳව දැනට ජනතා ඇල්මක් පවතින අතර වසර 900 අභාවයට ගිය ලංකාවේ  භික්ෂුණී සසුන යලි පිහිටවූයේ 1988 මාර්තු 18 වනදාය. මේ වනවිට උපසම්පදා භික්ෂුණීන් 800 ක් සහ සාමනේරී භික්ෂුණීන් වහන්සේලා 3000ක් ලංකාව තුල ධර්ම ප්‍රචාරයේ යෙදී සිටින අතර මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේ සහ  කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේ  මෙන් ධර්මය පිළිබඳ සැබෑ ඇල්මෙන් සහ අවබෝධයෙන් සසුනට පිවිසි භික්ෂුණීන් ශ්‍රි ලංකා භික්ෂුණී සාසනය බැබලවීමට සමත් වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැක.

(2010 ජූලි 25 දින පලවූ ලංකාදීප පුවතක් ඇසුරෙනි)

Wednesday, July 21, 2010

"සීතාව වෙමි මම"


රාවණා මහ රජුනි - හිස නමමි මම ඔබට
අනෙකෙකුට අයත් වූ - සිරුර වෙත ලං නොවූ .... !!
මගේ මුළු ආත්මය - ප්‍රේමයෙන් ඔබ වෙතට
එතැයි ඔබ එක සිතින් - බලා සිටි බව දනිමි

ඔබේ හිස රාමගේ - කගපතින් වෙන්ව ගිය
අසුභ හෝරාව තුළ - දැනුණි මට පැහැදිලිව
ආදරය මා පැතූ - ඔබ සතුව තිබුණු බව
රාමාට නොවැටහුනු - මසිත කියවූ බැවින්

සිතක් නැති සිරුර ගෙන - ගියෙමි රාමා සමග ...
රාවණා ...!!  ඔබට මම - දැන් කෙසේ කියන්නද?
මගේ මුළු ආත්මය - ඔබේ මතකය සමඟ
මිහිදන්ව ගිය බවක් - සදාකාලික ලෙසට

රාම ...!! ඔබ මට සැදූ - චිතකයට නගිමි මම
ඔබට හැර මේ සිරුර - අනෙකෙකුට කිසි කලෙක
හිමි නොවූ බව කියා - පෙන්වන්න ලෝකයට
එයද පතිනියකවී - සපථ කළ යුතු ලොවට?