-->

Saturday, November 26, 2011

"විශ්මිත නිසල බව"

ලෝකයම එක තැනක නැවතිලා වගේ තරමටම මුලු පරිසරයම නිශ්චලයි. ඒ තමයි මගේ හිත හැමදාමත් ප්‍රාර්ථනා කරන නිහඬ බව. එක දවසක් මගෙන් කෙනෙක් ඇහුවා
"ඔයා කැමති වනන්තරේටද, නැත්නම් මහ මුහුදටද?"
කියල. මගේ උත්තරය වුනේ වනන්තරේ කියල.  වනන්තරේක තියන නිහඬ බව හරිම විශ්මිතයි. මම ඒ විශ්මිත බව එක් වතාවක් විඳල තියනවා.
අධ්‍යාපනික වැඩ සටහනට මට යන්න වුනා මැලේසියාවෙ KOTA KINABALU කියන නගරයට. වැඩ මුලුව අතරතුර Danum Valley field Centre එකේ චාරිකාවක් සංවිධානය කර තිබුනා. එය පිහිටා තිබුනෙ මැලේසියාවෙ Borneo ප්‍රාන්තයේ Sabah නගරයට යාව පිහිටි වැසි වනාන්තරයක් තුල. ඒ තමයි එවන් ස්වභාවික වැසි වනාත්තරයක් තුලට පිවිසි පළමු වතාව. මගේ ඇස ගිය මුල්මදේ තමයි අපේ රටේදි දැක්ක හැම සතෙකුම කීප ගුණයකින් විශාලව එහිදී දක්නට ලැබීම. පුංචිම පුංචි කුරුමිණියන් පවා අදහගන්න බැරි තරම් විශාලයි. 
ඒ තමයි ස්වභාවය ඔවුන්ට දුන් සම්පත් ඒ ලෙසම හිරිහැරයකින් තොරව භුක්විදීමට හැකිවීමේ වාසනාව. හවස් වන විට වල් ඌරන් අප නවාතැන් ගත් කාමර අවට ගැවසෙනු දකින්නට ලැබුනා. මුව රංචුද ඒ අසල ගැවසීම මහත් ආනන්දනීය දෙයක් වුනා.
ඉස්සර අපේ රටේ සතර අත පියඹන සමනල් රෑන් දක්නට ලැබුනත් දැන් දැන් එය දුලබ දසුනක්. කුඩා කළ සමනලුන් පසු පස යමින් මා ලද මිහිරියාව මට නැවත වරක් අත්දකින්නට ලැබුනේ එහිදී. රක්ෂිත වනාන්තරක් වූ බැවින් මේ කිසිම ජීවියෙකුට තමන්ට ස්වභාවිකව අයත්වූ දේ අසාධාරණ ලෙස උදුරා ගැනීමට කිසිවෙකු සිටියේ නැහැ. ස්වභාවයේ නීතීන්ට අනුකූල ලෙස සියලු දේ සිදුවෙමින් තිබුනා. මමත් එහි එක පුංචි කොටසක් පමණක්ම බව මට දැනුනා. අප නැවතී සිටි තැනට මීටර් කීපයක් දුරින් පළලින් ඉතා විශාල ගංගාවක් ගලමින් තිබුනා. රටවල් කිහිපකින් ආ සොයුරු සොයුරියන් හා පැවති සාකච්ඡා අවසන් වූ සවස් කාලයන්හි මා කළේ තනිවම ගොස් ඒ ගං ඉවුරෙහි නිහඬ සංගීතයට සවන් දීමයි. පරිසරය නිහඬයි. ගංගාවේ ගීතය අති මිහිරියි.
එක් දිනක් ගතවුනේ වනන්තරය තුල ඇවිදීම සඳහා. අදහන්න බැරි තරම් විශාල කූඩැල්ලන්ගෙන් බේරීම සඳහා ලොකු බූට් සපත්තු දමාගෙන ඒ ගමන යායුතුව තිබුනා. එහෙත් වරින් වර අප සැලකිලිමත් වුනේ ඒ විශාල කූඩැල්ලන් සපත්තු දිගේ නැග විත් ශරීරයට ගොඩ වීම වලක්වාලීම සඳහායි. එක් තැනකදී ඔය පෙනෙන පින්තූරයේ ඇති වැල් පාලමෙන් එගොඩව අනිත් පසට යාමට සිදුවුන අතර මා සමග ගිය අයට යන්නට හැර වනන්තරයේ නිහඬ බව ඇසීමට මට සිත් වුනා. පාලම මැද සිටගෙන මා අසා සිටියා ඒ නිහඬ බව. එහෙත් මට දැනුනා ඒ නිහඬ බවම නොවන බව. කිසිවෙකුට විස්තර කළ නොහැකි කිසියම් විශ්මිත කතාවක් මට ඇහෙන්නට වුනා. ඒ තමයි වනන්තරය, ස්වභාවය කතා කරන හඬ.
පාලම යටින් ගලා ගියේ අර මා මුලින් කිව් ගංගාව. පාලමේ සමහර තැන් කැඩී තිබුන නිසා අපේ අයගෙන් කොටසක් ආපසු ගියද මගේ සිත නම් බල කළේ කෙසේ හෝ එගොඩ වන ලෙසයි. ඇත්තෙන්ම එසේ එගොඩ වූවන්ට ස්වභාවයෙන් තිලිනයක් ලැබුනා. ඒ තමයි එහි සිටි ඔරන් ඔටන් යුවලක් දැක ගැනීමට ලැබීම.
දියුණුව යැයි කියා අප කොන්ක්‍රීට් වනාන්තර ඉඳි කළද අප අයත් ස්වභාවයට නිසා මිනිසා කෘතිමව ඉඳිකරන දේ තුල නිරන්තරයෙන් දුක්ඛිතව සිටියි. එකිනෙකා කා කොටා ගන්නේ කුමක් අරබයා දැයි සිතෙන්නේ මෙවන් පරිසරයකට ගිය විටදීය. අප අපේ ස්වභාවයෙන් විතැන්ව ගොස් අතරමන්වී සිටිමු.

7 comments:

  1. නිහඬ වනාන්තරය සුන්දරයි. වෙනස තේරෙනවා ඇතුල් උනු හැටියෙම. කොච්චර හොඳට හුස්ම ගන්ට පුලුවන්ද, වාතය කොච්චර පිරිසිදුද කියලා තේරෙනවා. මූදත් ඉතින් ඒ වගේ තමා. මොනතරම් වෙලා බලාගෙන හිටියත්, එපා වෙන්නේ නැති තැනක්. හරියටම ගෑනියකගේ හිතේ ස්වරූපය වගේ. සසල වෙනවා. නිසල වෙනවා. වෙලාවකට සෞම‍යයි. වෙලාවකට රෞද්‍රයි.

    ReplyDelete
  2. අ‍පොයි කොහොමද රක්ෂිත වල ගියේ. ඒවගෙ තුවක්කු ගත්ත දඩයක්කාරයොයි, ගස් කපන මුදලාලිලයි කාටවත් එන්න දෙන්නෙ නෑනෙ. මදැයි වෙඩි පහරක් නොකා අතක් පයක් කඩා ගන්නෙ නැතිව ආපු එකම.

    ReplyDelete
  3. හ්ම්..ඇත්ත තමා කතාව.ඒ නිහඬ සුන්දරත්වය කියන්න බැරි තරම්

    ReplyDelete
  4. මටත් යන්න ආසා හිතුනා.ඇත්තටම සමනළයෙක් දැක්ක කාලයක් මතක නෑ. :((

    ReplyDelete
  5. මැණික් මගෙ නංගි ඉන්නෙ කොටකීනා බාලු නගරයේ. මම ගියා එහේ. මල්ලී කලින් වැඩ කලේ කඳුකරයේ. හරිම ලස්සනයි ඒ පලාත.එහේ තරම් පරිසරය සුරකින රටක් මා ලෝකෙ දැක නෑ. මනුකන් දූපතට ඇතුල් වෙතදි ගහල තියෙන පුවරුව "ඔබ මෙහි එනවිට රැගෙන ආ සියල්ලම ඔබ රැගෙන යන්න. ඔබේ පාසටහන පමනක් මෙහි ඔබේ දරුවන්ට දැකගන්න තබා යන්න" බලන්න මේ වදන් පෙළ. එකම පොලිතීන් කැබැල්ලක් වත් අපි දමා ආවේ නෑ. සියල්ල ආපසු නගරය කරාගෙන ඇවිත් නිසිතැන දැමුවා. මම ආයෙත් කවදාහරි යන්න ආසම නගරයක්.

    ReplyDelete
  6. හරිම ලස්සන පින්තූර ටිකක් අක්කේ....

    ReplyDelete
  7. මම මේක කලින් කියවලා පස්සේ කොමන්ට් එකක් දාන්න හිටියේ. කොහෙද ඒ ටිකට පෝස්ට් එක හැංගිලා.
    මම නම් කාන්තාර වගේම ගස් ගල් කැලේ මුහුද ඕනෙම දේකට ආදරෙයි.
    ඒ වුනාට බොරු කියන්නේ මොකටද කැලේ යන්න භයයි. කොටියන්ට සින්හයින්ට භයේ නෙමෙයි ඔය සර්පයින්ට, ගෙම්බන්ට, කෘමින්ට, මැස්සන්ට භයේ. ඕන කැලේක යනවා එයාලා නැත්නම්.
    මුහුද නම් ඉතින් මට ගෙදර වගෙනේ. මට වතුරේ බැහැලා ඉන්න තියෙනවා නම් ආයේ ඉන් එහාට දෙයක් නෑ. මම ඉතින් මුහුදේ නාලා අව්වේ ඉඳලා කළු වෙලා තමයි ගෙදර එන්නේ.
    කාන්තාර වල නම් ටිකයි ඇවිදලා තියෙන්නේ. ඒත් රශ්නේ නැත්නම් මට එතනත් වෙනසක් නෑ. ඒත් බිම කකුල් තියන්නේ නම් බොහොම භයෙන් සර්පයෝ හින්දා. ඒ වගේම තමයි හිම වලත්. දැන් නම් ඉස්සර තරම් ස්පෝර්ට්ස් නොකරන හින්දා නොගියාට ඉස්සර නම් මගේ ආසම තැනක්.
    ඒත් ඉතින් අපේ ජීවන දර්ශන එක්ක සමහර දේවල් වලින් අපිට ඈත් වෙන්න වෙනවානේ. මොනවා නැතත් මම ගමේ ගියාම උදේ පහට විතර නැගිටලා අක්කා හදලා දෙන තේ එක බීලා අපේ වත්ත වටේ කිලෝ මීටර් පහක් විතර පිහියකුත් අරගෙන ඇවිදලා තමයි ගෙදර එන්නේ.
    ස්වභාවධර්මය අපිට උරුම කරන දේවල් තරම් කිසි දෙයක් ලස්සන නෑ. ඒත් සමනලයින් නෙමෙයි අනිත් සත්තු නම් ඊක්.

    ReplyDelete