Monday, October 29, 2012

"෴කර්ම෴ කියැවීම"

කර්ම.... ජීවිතයේ සිදුවීම් අපටද නොදැනී අප ලුහුබැඳ එයි. අපේ මනස තුල යටපත්ව ඇති අපට අමතක ඒ සිදුවීම් අපව මෙහෙයවයි. ප්‍රසන්න ජයකොඩිගේ "කර්ම" පිළිබඳ මගේ කියවීම එයයි. සිනමා පටය මා තේරුම් ගැනීමට යොමුකළේ එහි තිබූ රූපරාමු දෙකක් තුලිනි. මුලු සිනමා පටයේම වඩා වැදගත් රූප රාමු දෙක එයයැයි මට සිතුනි. ඒ අතදරුවෙකු ලෙස මවගේ තුරුලේ ඔහු කිරි උරා බොන විට ඔහුගේ පියා පැමිණ මව අමතමින් මහ හඬින් දොරට දොරට ගසන විට මව වහා ඔහු ඇකයෙන් ඉවත් කිරීම නිසා ඔහු වේදනාවෙන් හඬන දසුනත් සිනමා පටයේ අවසාන දර්ශන පෙල අතර ඇති ළැම නිරුවත් ඇගේ උකුළ මත ඔහු කුඩා දරුවෙකු මෙන් නිදන දසුනත්ය. 
හුස්ම ... එය ජීවිතයයි. සිනමා පටය පුරා තදින් හුස්ම ගන්නා හඬ අවස්ථානුරූපීව ඇසේ. හුස්ම ගනිමින් හඬමින් අපි ජීවිතයට එමු. අපේ හැම ක්‍රියාවකදීම එම හුස්ම ගැනීමේ වේගය අඩු වැඩි වෙයි. කෝපයේදීද, සතුටේදීද, ලිංගික ක්‍රියාවේදීද අවසන ජීවිතයෙන් බැහැරව යන විටදීද හුස්ම වල රිද්මය වෙනස් වෙයි. ඒ රිද්මය, ඒ වෙනස අප තේරුම් ගන්නේ කෙසේද? එය ජීවිතයයි. ඔහුට එම වේගවත් හුස්ම වැටීම ඇසුනේ මවගේ තුරුලෙන් ඉවතට විසිවී වේදනාකාරී හඬා වැටීම අතරේය. එබැවින් එම හුස්ම වැටීම ඔහුට වේදනාවක් සේම කුතුහලයකි. පියා සමග ඇති නොපහන් බව මේ හුස්ම වැටීම හා සම්බන්ධය. මවගේ අවසාන මොහොතේ ඇයගේ තදබල අවසන් හුස්ම ගැනීම දෙස ඔහු ඇස් හැර බැලීමට හෝ අකැමැතිය. යාබද නිවසේ ඇසෙන හුස්ම ගැනීම් ඔහු කළඹන්නේ මේ ඔහු මනස තුල තැන්පත් සිදුවීම් නිසාය. එහෙත් අවසන ඇය තුලින් ඔහු නැවත ඉපදෙයි. ඔහු තුලවූ ඔහු කළඹන "කර්මය්" නිවී යයි.
සිනමා පටයේ රූපරාමු චලනය වීමේ සහ සංගීතය මුසුවීමේ නොගැලපීම් මට දැනුනද අනිකුත් සිනමා පට හා සැසඳීමේදී ප්‍රසන්නගේ ප්‍රයත්නය අගය කළ හැක්කකි. සමහරවිට මට නොතේරුනද එසේ රූපරාමු චලනයෙන් සහ සංගීතය මුසු කිරීමෙන් ඔහු වෙනත් යමක් අපේක්ෂා කළාදැයි නොදනිමි. මගේ අත්දැකීම් වලට අනුව මෙවන් සිනමා පට තේරුම් ගැනීමට ඒවා කිහිප වරක් නැරඹිය යුතුය.
මෑත දිනක අශෝක හඳගමගේගේ "විදූ" රූපවාහිනියේ ප්‍රචාරය විය. අහම්බෙන් මට එහි අවසාන කොටස නැවත නැරඹීමට හැකිවිය. විදූ නොනැවතී දිව එයි. පාසැලේ තාප්පයට නැගී අපහසුවෙන් වේදිකාවට ගොඩ වීමට උත්සාහ කරන දසුන අස්සේ මට එය මින් පෙර නරඹන විට නොදු‍ටු දෙයක් දිස්වුනි. ඒ එම පාසැලේ නම වන "කන්නන්ගර විදුහල" යි. කන්නන්ගර විදුහල්වල සිටි දේශපාලකයන් ලඟ නොනැමෙන ප්‍රතාපවත් විදුහල් පතිවරුද, නොනැවතී දිව එමින් කන්නන්ගර විදුහල් වල උස් තාප්පයෙන් නැගී සමාජ වේදිකාවට ගොඩ වන හති වැ‍ටුන විදූ නම්වූ කන්නන්ගර දරුවන්ද ඒ එක රූපරාමුව ඔස්සේ මසිතට පැමිණිනි.
මෙපරිදිම "කර්ම" දෙස ඉවසිල්ලෙන් සිදුවන්නේ කුමක්දැයි බලා සිටි මට කම්පනයක් ඇති කරමින් මා ඉහත සඳහන් කළ රූප රාමු දෙක අවසන දක්නට ලැබිනි. ඒ මා "කර්ම" කියවූ අන්දමයි. ඔබේ කියවීම මීට වෙනස් විය හැක.
"කර්ම" මීට වඩා වෙනස් ලෙස කියවූ කෙනෙක්ද එදා මට දක්නට ලැබිණි. පන් මල්ලක් ‍රැගෙන සුදු ජාතික ඇඳුමකින් සැරසී ගත් වයස හැත්තෑවක පමණ උපාසක මහතෙකි ඒ. බුදුන් වදාළ "කර්මය" කියවීමට පැමිණ සිටි, අප සිටි අසුන් පෙළෙහිම වාඩිවී සිටි ඔහු, ප්‍රසන්න ජයකොඩිගේ "කර්ම" දෙස් දෙවොල් තබමින් කියැවූ අයුරු නම් අපූරුය.

Saturday, October 27, 2012

"දියණියේ ඔබටයි"

මේ සටහන මා තැබිය යුතුව තිබුනේ මීට කලිනි. එහෙත්.... ඔබ මසිතට ඇතුල් කළ හැඟීම් ගැන මට මෙන්ම, මේ සටහන කියවන අන් අයටද නැවත සිතන්නට ප්‍රවෘත්තියේ උණුසුම නිමාව යමින් ඇති මේ මොහොත තෙක් පමා වන්නට මට සිදුවිය. ඔබ දිරිය දියණියකි. එමෙන්ම සාම්ප්‍රදායික හැඳිමිටේ මිනුම ඔබට අදාල කළ නොහැකි බව ඔබ පසක් කොට ඇත. නමුත් ඉදිරියේ ඔබ යායුතු මග එතරම් පහසු නොවන බව මම ඉඳුරා දනිමි. ඊට එක් හේතුවක් වන්නේ ඔබ ඉපදුන, දැනටද ජීවත්වන, ඔබ දැනුම සොයා යන පරිසරය මාද හඳුනන බැවිනි.
ඔබ ඉපදී හැදුන වැඩුන මහමැදගම දුෂ්කර ගම්මානය මීට වසර බොහෝ ගනනකට පෙර මා එදා දු‍ටු ගම හා සිතින් සසඳමි. මගේ මවගේ අතේ එල්ලී මුලින්ම අකුරු කරන්නට පළමුවන පන්තියට මා ගියේ මහමැදගම ප්‍රාථමික පාසලටය. මගේ මවට ඇගේ මුල්ම ගුරු පත්වීම ලැබුනේද මේ කුඩා පාසැලටය. එදාද ඒ කුඩා පාසැලට යන්නට බස් තිබුනේ නැත. ආවෝ ගියෝ දෙපයට පින් දුන්හ. එහෙත් එදා ඒ කුඩා පාසැලේ ළමුන් බොහෝ සංඛ්‍යාවක් ඉගෙනුම ලැබූ බව මට මතකය. විවේක කාලයේ බනිසුත් සමග ලොකු කිරි ජෝගුවක් බොන්නට ලැබුන බැවින් කුසගිනි මතින් මිදී ඒ දුෂ්කර ගමේ ළමුන් වැඩි කොටසකට තම ගමේම පිහිටි පාසැලෙන් අධ්‍යාපනය ලැබීමේ වරම හිමිව තිබිනි. ඉහල පන්තියක ළමුන් කිහිප දෙනෙක් බනිස් සමග අමු මිරිස් කනු දැක මට මෙන්ම නංගීටද එසේ කෑමට ආසා සිතී එසේ කෑමෙන් අනතුරුව පාසැල දෙවනත් වෙන්නට හැඬූ අයුරුද මතකයන් අතර ‍රැඳී ඇත. එදා ඒ තත්වයේ තිබූ ඔබේ ගමේ පාසැලට නොගොස් උදේ පහට අවදිව දුර කතර ගෙවා පුංචි ඔබට තලාතුඔය ප්‍රාථමික විදුහලට එන්නට සිදුවූයේ ඇයි?  අද එම මහමැදගම ප්‍රාථමික පාසැල කුමන තත්වයක ඇතිදැයි මට සිතේ. මෙතරම් කාලයක් ගතවුන පසුවත් එවැනි කුඩා පාසැල් තිබුන තත්වයෙනුත් පහලට ඇද වැටෙන්නේ කාගේ වරදින්ද? අප ජාතියක් ලෙස ගමන් කරන්නේ ආපස්සටද?
දියණියනි... ඔබ දැනට ඉගෙනුම ලබන තලාතුඔය ප්‍රාථමික විදුහල මගේ දෙවන පාසැලයි. එය තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයයි. කලක් මෙරට උගතුන් වියතුන් බිහි කිරීමට රට පුරා පිහිටි මධ්‍ය මහා විද්‍යාල වැඩි දායකත්වයක් සපයනු ලැබුනි. මෙකල රටේ කියැවෙන පළමු පෙල පාසැල් වලට නොදෙවෙනි ලෙස කරට කර සිටින්නට කලක් මේ මධ්‍ය මහා විද්‍යාල සමත්ව සිටියහ. එහෙත් ..... තවමත් තලාතුඔය ප්‍රාථමික විදුහල එදා මා දු‍ටු විදුහලට වඩා පහසුකම් අතින් වැඩි ප්‍රගතියක් අත් කරගෙන නැත. තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිය පහව ගොසිනි. ගතව ගිය වසර ගනනාව තුල මේ විදුහල් නිසි පරිදි ‍රැක බලා ගැනුනා නම් අද ඒවාද සුපිරි හෝ සපිරි පාසැල්ය. දියණියෙනි........ එය එසේ වූවා නම් ඔබට හෙට දවසේ තව දුර ගෙවා මහනුවර සුපිරි පාසැල් කරා යන දුෂ්කර ගමනේ නොයෙදී යම් තරමක හෝ පහසුවකින් ඉගෙන ගන්නට ඉඩ තිබිනි. ඔබට පමණක් නොව තලාතුඔය කේන්ද්‍ර කර පිහිටා ඇති අනිකුත් සියලු දුෂ්කර ගම්මාන වල ළමුන්ට  එමඟින් වෙහෙසකින් සහ පීඩනයෙන් තොර අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩ තිබිනි. තලාතුඔය ප්‍රාථමික විදුහලට පැමිණ හවස පහට ගෙදර යන ඔබ මහනුවරට පැමිණ ගෙදර යන්නේ හවස හතටද? ඔබ වැනි දරුවන්ට මේ තත්වය උදා කළ වරදට වැඩිහිටි අප සියල්ලම වග කිවයුතු නොවේද?
ලංකාවේ පළමු වෙනියා වූවාට කොළඹ විශාකා විද්‍යාලය ‍තෝරා නොගැනීමට තරම් ඔබ අදුරදර්ශී නොවීම ගැන මම සතු‍ටු වෙමි. ගමේ කඳු හෙල් අතර හැදුන වැඩුන ඔබට,  ඉසිඹුවක් නැති ඔබට නොගැලපෙන කොළඹ පරිසරය ඔබට මිතුරු නොව සතුරු වනු නො අනුමානය. කොළඹ ළමුන් හා එක පෙලට ගැටී අකුරු කරන්නට යන ඔබට ඔබේ බුද්ධියේ හැකියාව නොව ආර්ථිකයේ නොහැකියාව පීඩා කරනු ඇත.
තලාතුඔය ප්‍රාථමික විදුහලෙන් පසු මා ඉගෙනුම ලැබූවේ ගම්පොළ ගඟසිරිපුර ප්‍රාථමික විදුහලෙනි. මමද ඔබ මෙන්ම එකල ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වීමි. නමුත් ඔබ මෙන් පළමුවෙනියාව නොවේ. කොළඹ විශාකා විද්‍යාලයට තේරී එක් දිනක් එම පාසැලට ගොස් බොහෝ කරදර විඳ මහනුවර විදුහලකට මා නැවත ඇතුල් කරන්නට මගේ දෙමව්පියන්ද කටයුතු කළේ නුපුරුදු පීඩාකාරී පරිසරය මගේ ඉගෙනුමට තිත තබනු ඇතැයි බියක් ඔවුන් තුල හටගත් බැවිනි. ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගය නොවුන එකල නිදහසේ අකුරු කරන්නට මෙන්ම කඳු හෙල් තුල ඇවිද පරිසරය විඳින්නටද, ඇති තරම් සෙල්ලම් කරන්නටද හැකි සුන්දර ළමා කාලයක් ලැබී තිබිනි. ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගය වීමට එක් හේතුවක්වී ඇත්තේ මේ සුපිරි පාසැල් පොරයයි. පළාත්බද පාසැල්වල පහසුකම් වැඩි දියුණුකොට දක්ෂ ගුරුවරුන් අනුයුක්ත කෙරේ නම් ශිෂ්‍යත්ව විභාග පීඩනය දරුවන්ගෙන් තුරන් වනු ඇත. ප්‍රාථමික අධ්‍යාපනය සකස් විය යුත්තේ දරුවන්ගේ සහජ කුසලතා වැඩි දියුණු වන ආකාරයෙන් මිස ඔවුන් රොබෝ වරුන් කිරීමේ අරමුණෙන් නොවේ. පස්වන පන්තිය දක්වා අධ්‍යාපනය සකස් විය යුත්තේ පරිසරය හා අනුබද්ධව අනාගත ජීවිතයේ අඩිතාලම මැනැවින් සකස් කෙරෙන විනය ගරුක පුරවැසියෙකු බිහි කෙරෙන ආකාරයටය. එසේ නොමැතිව කට පාඩම් කරන රොබෝවරුන් හදා ඒ අය පාලනයට කර්නල්ලා පත් කිරීම විසඳුමක් යැයි සිතමුද? සරසවි වලට පිවිසෙන්නේද විභාග පීඩනයෙන් වසර දොලහක් දහතුනක් මනස ඔද්දල් කරගත් වැඩි පිරිසක් විනා අලුත් ඇසකින් ලොව දකින්නට සමත් නිදහස් මනසක් ඇතියවුන් නොවේ. එහි වරද එම ළමුන්ගේ නොව රොබෝවරුන් බිහි කරන මෙම ක්‍රමයේ වරදය.
දියණියෙනි........ ඔබ යායුතු මග දුෂ්කරය. එහෙත් එය කළ නොහැක්කක් නොවේ. නිසි ලෙස අකුරු කරන්න. ඔබේ පරිසරය, මිනිස්කම අමතක නොකරන්න. අධ්‍යාපනය ජීවිතය නොව ජීවිතය අධ්‍යාපනය බව සිතන්න. මම නැවත ඔබට කියමි. සියලු අපහසුකම් අභිභවා හිනැහෙන ඔබ දිරිය දියණියකි.

Sunday, October 21, 2012

"නොකිව් කව"

ආයෙමත් එනවිට
ගෙනවිත් දෙන්න මට
ඔබේ රතු ඉරි  කමිසය
මට මගේ තනියට

Saturday, October 13, 2012

නිශ්ශබ්දතාවය

"ඔබේ මනස හුදෙක් සමාජ නිශ්පාදනයක්. ඔබේ ළදරු අවදියේ පටන් ඔබේ මනස  දෙමව්පියන්, ගුරුවරු, සමාජය, ඔබේම අතීතය විසින් නිර්මාණය කරල. මම ඔබට යමක් කීවොත්, ඔබ එය ගැන විවෘත මනසකින් නැවුම්ව හිතන්නේ නැහැ. ඔබේ පරණ මනස, ඔබේ අතීතය, ඔබට සිදුවුන කරදර හිරිහැර නිසා විඳි වද වේදනාවන්  ඒ අතරට ඒවි. ඒ මත ගොඩ නැගුන මනස කතා කිරීමට, විවාදයට පටන් ගනීවි. නැතිනම් එරෙහි වේවි. එවිට අප අතර සංවාදයට සුදුසු හොඳම මාධ්‍යය නිශ්ශබ්දතාවය පමණකි."
ඕෂෝ

Thursday, September 27, 2012

"Yes Sir"

ඒ අපේ සමාජය මෙතෙක් ගමන් කළ විදියයි. හරි හෝ වැරදි වේවා සියල්ලටම Yes Sir කියා නිහඬ වීම හෝ තමන් දරනා මතය  අවශ්‍ය අවස්ථාවේ කෙළින්ම නොපවසා තැන තැන මුමුණමින් විරුද්ධ අදහස් පල කිරීම තවමත් අපේ බොහෝ දෙනෙකු වඩා කැමති ආකාරයයි. සමහරවිට එය අපේ සංස්කෘතියට අනුකූලව අප ලද යමක් විය හැක (???). ඊට එක් හේතුවක් ලෙස මා දකින්නේ බටහිර රටවල් මේ තත්වයෙන් විතැන්ව ඇති නිසාය. ඔවුහු අනිකා කැමති වුවත් නැතත් තමන් දරන අදහස එළිපිට ප්‍රකාශ කරති. අකැමැති දේට තම අකැමැත්ත ප්‍රශ්නය පැන නැගුණ අවස්ථාවේම ප්‍රකාශ කරති. එහෙයින් ප්‍රශ්න ඔඩු දුවන්නට පෙර සංවාද විවාද මගින් ඒවා සමනය වනු දැකිය හැක.
එහෙත් අපි No Sir කියන්නට පැකිලෙමු. දිගු කලක් No Sir යැයි අසා නොමැති ඔවුහුද අපෙන් Yes Sir පිළිතුරම බලාපොරොත්තු වෙති. එහෙයින්ම තමන් කැමති දෙයක් තමන් රිසි ආකාරයට කිරීමට තමන්ට හැකි යැයි ඔවුහු සිතති. ඒ අනුව ක්‍රියා කරති. No Sir යැයි අහම්බෙන් හෝ ඇසුණ කල කිපෙති. මේ Yes Sir පිළිතුරු අපේක්ෂාව සමාජයේ පහළ සිට ඉහළ දක්වා ගමන් කොට ඔඩු දුවා අවසන්ය. දැන්වත් අපි No Sir යැයි සාමූහිකව හෝ කියන්නට උගත යුතු නොවේද?.

Monday, September 24, 2012

"හන්තාන අඳුරුය"

පරිසරය අඳුරුය. පාලු මං පෙත් දිග ඇවිද යමි. හන්තාන කඳු පෙළ මත අඳුරු වලාකුල් පතිතව ඇති සෙයකි. තාරුණ්‍යයේ  අයිතිය හිමි මේ බිම පිරී ඉතිරුන සිනාවන් වියැකී ගොසිනි. එහෙත් ඊයේ මෙන් අදද, හෙටද ජාතියක පෙර ගමන වෙනුවෙන් ඔවුන් කැප වෙනු ඇත. නන්දා මාලනියගේ සිහින් හඬ මට ඇසේ.

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු, සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ

කුසින් අඩක් දළ අහරින් සතපා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උනුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

හන්තාන අඩවියේ ....................