Sunday, June 19, 2011

"පරම නිවහන වෙතට"

මම මගේ නිවහනෙන්
පිටව ගොස් බොහෝ කල්
මග හසර නොම දැනම
අයාලේ පාවෙමින්
අතරමග නැවතුනෙමි
නාඳුනන මට නුහුරු
නවාතැන් පොළවල්හි

උරුම මනු සතුන් හට
නේක ව්‍යුහයන් තුල
ගැලී පැටලී නිතින
සෙවූයෙම් වෙද සතුට
ශෝක පරිදේව මිස
කිසිත් නැත උරුම උන
හති වැටී යලි යලිත්
අතරමං වුනා මිස

ඇතුලාන්තය නගන
හඬ ඇසෙයි පැහැදිලිව
හැරෙන්නට කාලයයි
නැවත නිවහන වෙතට
මම ඔබද
ඔබ මමද
කිසිත් වෙනසක් නොමැති
නිහඩතාවය පිරුනු
මගේ නිවහන වෙතට

Tuesday, June 14, 2011

කාන්තාරයේ කුසුම

වාරිස් ඩයිරි නම් ජගත් නිරූපිකාව විසින් රචිත Desert Flower නම් කෘතියේ සිංහල පරිවර්තනය (පරිවර්තක රංජිත් කුරුප්පු) වන කාන්තාරයේ කුසුම කියවූයෙමි. එසැනින් මා සිතූයේ අප්‍රිකානු ගෝත්‍රික සමාජයක නොඉපදේවා යන්නයි. සෝමාලියාවේ එඩේර පවුලක උපත ලද වාරිස් ඩයිරි අනේක විධ දුක ගැහැට විඳ ඒ සියල්ල අභිබවා යමින් ලෝ පතළ නිරූපිකාවක් වූ අයුරු මෙම කෘතියේ විස්තර කරන්නීය. අද ඇය නිව්යෝක් නුවර ජීවත් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියකද වේ.
රටින් රට තැනින් තැන ඇති විවිධ සංස්කෘතීන් ලෝකයට සුන්දරත්වයක් එක් කළද සංස්කෘතියට අයත් යැයි හඳුන්වන සමහර චාරිත්‍ර කෙතරම් ම්ලේච්ඡ දැයි කෙනෙකුට අදහා ගන්නට පවා අසීරුය. ස්වභාවධර්මයේ නිර්මාණ මනුෂ්‍යත්වයට අනුචිත අයුරින් තිරශ්චීන ලෙස සංස්කෘතිය යන ලේබලය යටතේ වෙනස් කෙරෙන්නේ නම් ඊට එරෙහිව නැගී සිටිය යුතු නොවේද?
දිළිඳු කම සමග අනවරත අරගලයක යෙදෙන අතර තුර ස්ත්‍රියක් වීම හේතුවෙන්ම තමාට ලක්වන්නට සිදුවූ අනේක විධ ලිංගික හිංසන වාරිස් ඩයිරී මෙම චරිතාපදානයේ විස්තර කරන්නීය. ඉන් වඩාත් සිත කම්පා කරවන සිදුවීම වන්නේ ස්ත්‍රී චර්මඡේදනය පිළිබඳව ඇය කරන විස්තරයයි. ස්ත්‍රී යෝනියේ ඇති භගශිශ්නිකාව සහ යෝනි තොල් සුන්නත් නොකල සෑම යුවතියක්ම අපිරිසිදු අධම ස්ත්‍රියක් ලෙස අප්‍රිකානු සමාජයේ සැලකෙන බැවින් එවන් ස්ත්‍රියක් විවාහ කර ගැනීමට කිසිම පිරිමියෙක් ඉදිරි පත් නොවේ. මෙම චර්මඡේදනය සිදු කරන්නේද අපිරිසිදු තත්ව යටතේ අහිකුණ්ඨක ගැහැණුන් විසින් බැවින් බොහෝ යුවතියන් විශබීජ සිරුරට ඇතුලුව මරණයට පත්වේ. මෙම වනචාරි ක්‍රියාවේදී ස්ත්‍රී යෝනියේ ඇති භගශිශ්නිකාව සහ යෝනි තොල් කපා දමා එම අවයව කපා දැමූ ස්ථාන මසා දමයි. මින් පසු එය සිදුකළ ස්ත්‍රියට කිසිදා ලිංගික තෘප්තියක් ලබා ගත නොහැකි වන අතර ඇය විවාහ කර ගන්නා අයෙකුට නිසැකයෙන්ම කන්‍යාවියක ලබා ගැනීම සහතික කෙරේ. මෙම සිදුවීම ඇයගේම වචන වලින් මෙසේය.
"මම හිස හරවා ගල් පොත්ත දෙස බැලුවෙමි. සතෙකුගේ ගෙල කපා මරා දැමූ කලක මෙන් ගල් පොත්ත මත ලේ විසිරී තිබුන අතර, මගේ යෝනියේ කොටස්, මගේ ස්ත්‍රී භාවය පමණක් නොව මගේ මුළු ආත්මයම තද හිරු රශ්මියෙන් ගල් පොත්ත මත වියලී යමින් තිබෙනු මම දු‍ටුවෙමි"
තමන් ලද කුරිරු අත්දැකීම් නිර්ව්‍යාජව ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙවන් ම්ලේච්ඡ ක්‍රියා වලට එරෙහිව වාරිස් ඩයිරීට ලෝක ජනමතයක් ගොඩ නැගීමට හැකිවූ අතර දැන් ඇය කාන්තා ජනනේන්ද්‍ර කොටස් සුන්නත් කිරීම තුරන් කරලීම සඳහා ක්‍රියාකාරී වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂ තානාපති වරියක ලෙස කටයුතු කරයි. මිල රුපියල් 375 වන මෙම සිංහල පරිවර්තනය මේ වන විට සත්වන මුද්‍රණයද නිකුත් කොට ඇති අතර වාරිස් ඩයිරීගේ මුල් කෘතිය 1999 වසරේ ලොව වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර් ජාතික කීර්තියට පත්විය. කියවන්න ඔබත් නොවැරදීම වාරිස් ඩයිරීගේ ජීවිත කතාව.

Saturday, June 11, 2011

"සන්තූරිගෙ රිදී පාලම"

සමන් වැලේ මල් පිරිලා. මුලු හිතම පිරෙන තරම් සුවඳයි. සන්තූරී ඒ සුවඳට ඉව අල්ලගෙන හිනා වෙනවා ආච්චි අම්මා දැක්කා.
"මයෙ කෙල්ලේ ...... දැන් ගොම්මන් වැටී ගෙන එනවා. බුදු පහන තියන්න අමතක වුනාද?. වරුවක්ම ඔතන ඉඳගෙන හිටිය මදෑ. දැන් ගෙට වරෙන් මයෙ පුතේ"
ආච්චි අම්මගෙ ඒ කතා සන්තූරිට ඇහුනා නෑහුනා ගානයි. සාෂා ඊයෙ ගම දාල රස්සාවකටෙයි කියල ගව් ගානක් ඈතට ගියා. කවදාවත් නොදැනුන තනි කමක් හිතට ඇවිත්. බඩවැටිය  ලඟදි මුන ගැහිලා ගමෙන් ඈතට යනවා කිව්වම සන්තූරිගෙ හිත හූල්ලන හඬ ඇහිලා සන්තූරිටම පුදුම හිතුනා.
"අනේ .... මට දුකක් දැනෙනවා සාෂා"
එහෙම කිව්වම සාෂා හිනාවුනා.
"ඒ කියන්නෙ සන්තූරිට මාව මුන ගැහිලා තියෙන්නේ ඇස් වලින්ද?"
සාෂාගෙ ඒ කතාව තේරුම් ගන්න බැරිව සන්තූරී සාෂාගෙන්ම උත්තරයක් බලාපොරොත්තුවෙන් මොහොතකට ගොළු වුනා.
"සන්තූරී...... අපේ හිත් අතර පාලමක් තියනවා කියල කවදාවත් ඔයාට දැනුනෙ නැද්ද? හරියටම රිදීපාටින් ඇඳපු හීන් ඉරක් වගේ."
හැමෝම කියන පිච්ච මල් හිනාව සන්තූරිගෙ මූන පුරා ඇඳුනා.
"ඒ පාලම දිගේ අපි එහාට මෙහාට යන බව මට නම් දැනෙනවා. නොදකින එක දුකක් වෙන්නෙ ඇස් වලින් මුන ගැහුන අයට. ඇස් වලට පේන ශරීරය නොපෙනෙන කොට දුක හිතෙනවා. ඉතින් මම කොහේ හිටියත් මට නම් සන්තූරිව මුන ගැහෙනවා හැමදාමත් අපි අතර ඇති පාලමේ මේ විදියට. මරනයෙන් එහාට ගියත් ආයෙ ආයෙත් මුන ගැහෙන කොට අපිට එහෙම දැනේවි."
සාෂාගෙ කතාව ඇත්ත. ඒ රිදී පාලමේ හීන ඇයටත් පුරුදුයි. දුක් වෙන්න දෙයක් නැහැ නේන්නම්.
මේ වගේම සාෂා කිව්ව තවත් කතාවක් සන්තූරිට මතක් වුනා. ඒ ගැහැණු කම නිසා දවසින් දවස සිර ගත වෙන බව සන්තූරිට මුලින්ම තදින්ම දැනුන දවසේ. පුංචිම කාලේ ඉඳල එකට අත්වැල් බැඳගෙන සෙල්ලම් කළත් ගැහැණු කම ටිකෙන් ටික සිර ගත වන බවත් පිරිමි කම දිගටම නිදහස භුක්ති විඳින බවත් තේරුම් ගියාම සන්තූරි කෑගහල කිව්වා ඒක එහෙම වෙන්න දෙන්න බෑ කියල. මේ වෙනස මුලින්ම පුංචි  සන්තූරිට දැක්කේ ශරීර වල වෙනසක් හැටියට. එදා පුංචි සන්තූරිට මේ වෙනස ලොකු කුතුහලක් වුනා. ඉන් පස්සේ එකට අත් අල්ලගෙන සෙල්ලම් කල හිත ටික ටික කඩතොලු වුනාද කියල සන්තූරිට හිතුනා. ඒත් ගැහැණු කම කියන්නේ මුලු ස්වභාව ධර්මයම එක් කළ  පරිපූර්ණ නිර්මානය කියල සන්තූරි දැන් දන්නවා.
"සන්තූරී ... ශරීර වල වෙනස නිසා ගැහැණු කම සිරගත වීමෙන් ගැහැණු සිත පිරිමි සිත සමඟ සමාන්තරව ගමන් කරන්නෙ නැහැ. ඒ නිසා ගැහැණිය මුන ගැහෙන්න නම් පිරිමියාට ආපසු ගමනක් එන්න වෙනවා. හදවතින් වහා මුසු වන පාලමක් ගොඩ නැගෙන්නෙ එතකොට. නැත්නම් ඉතින් ගැහැණිය හැමදාම පිරිමියාට දුරස් සත්වයෙක් පමණයි"
පණ්ඩිතයෙක් වගේ එදා සාෂා එහෙම කියන කොට සන්තූරී හිනා වුනේ හරියටම වනන්තරේ මැද්දේ ඇද හැලෙන දිය ඇල්ල වගේ.
"මොකද කෙල්ලේ තනියම හිනාවෙන්නේ. කළු කුමාරයවත් වැහිලද?"
"ඔව් ආච්චි අම්මේ.... මම මේ එයාව පාලමෙන් එහාට එලවනවා"
සන්තූරී ආච්චි අම්මගෙ අත අල්ලගෙන රවුමට කැරකෙමින් හිනාවුනා.
"අනේ උඹට නම් ඇත්තටම පිස්සු".

Thursday, June 2, 2011

"ආකාස ජීවන"

සීතල
දැනෙන හිරි පොද මැද
මගෙ මල් කුඩේ යට
ඉන්නවා නම් ඔබ
කොයිතරම් සතුටක්
දැනේවිද මට

ගුගුරන අහස මැද
කැළඹෙන වැසි වලාවක්
වගෙයි නම් මගෙ සිත
ක්ෂනිකව අඳුර බිඳිමින්
විදුලියක් වී මේ ලෙස
සිනාසෙන්නේ ඇයි ඔබ

හිමිදිරිය ‍රැය දහවල
නෙක නෙක පාට ගන්වන
දිදුලන හඬන වැලපෙන
ගොරවන රවන කැළඹෙන
ආකාසය වගේ මයි
ජීවිතය දළුලා යන

අන්ධකාරය ඇවිදින්
ජීවිතය උකසට ගෙන
කඳුළු වැසි ගෙනෙනා කළ
ඉන්නවානම් ඔබ
මා හා සිනාසී ගෙන
මගෙ මල් කුඩේ යට
කොයි තරම් සුන්දර වෙද
ජීවිතය මේ කර්කශ

Monday, May 30, 2011

"කරුනාහරන් බම්බලපිටි ගිහින්"

කරුනාහරන්ට භාෂාව නොතේරීම නිසා වුන වස වැ‍රැද්ද ගැන ලියවුන කලින් කතාව මතක ඇතිනේ. ඉතින් මේ කරුනාහරන්ගෙ මාමා කෙනෙක් ඉන්නවා බම්බලපිටියේ. පේරාදෙනියට ඇවිත් මාසයකට විතර පස්සේ කරුනාහරන් මාමා බලන්න බම්බලපිටි ගියා. කොළඹට ඇවිත් දන්න ඉංග්‍රීසි පාවිච්චි කරලා බම්බලපිටියට යන බස් එකක් හොයාගෙන නැගලා රියදුරු මහතා ලඟම තියන අසුනේ වාඩිවුනේ ඉක්මනින් බැහැගන්න හැකි පහසු කම ගැන හිතලයි. මේ වෙන කොට කරුනාහරන් තව වැඩිපුර සිංහල වචන ටිකක් ඉගෙන ගෙන තිබුනා. බස් හෝල්ට් එකක් කිට්‍ටු වෙන කොට කොන්දොස්තර මහත්තයා "බහිනවා" කියල කෑගහන කොට රියදුරු මහත්තයා බස් එක නවත්තන හැටි කරුනාහරන්ට පෙනුනා.
දැන් ඉතින් කරුනාහරන් බහින තැනත් කිට්‍ටු වුනා. රියදුරු මහත්තයා ලඟට කිට්‍ටුවෙලා කරුනාහරන් "වහිනවා" කිව්වා. දෙමළ භාෂාවෙ "බ" ශබ්දය නැති නිසා කරුනාහරන්ට "බ" වෙනුවට තමයි  "ව" කියවෙන්නේ. ඒ වෙලාවෙ හීං පොද වැස්සකුත් තිබුන නිසා රියදුරු මහත්තයා "හ්ම්" කියල කිව්වා. ඉතින් කරුනාහරන් හිතුවා "හරි දැන් හෝල්ට් එකේ බස් එක නවත්තයි" කියල. හෝල්ට් එකත් පහු කරලා බස් එක යනවා දැක්ක කරුනාහරන් ආයෙමත් හයියෙන් "වහිනවා.......... වහිනවා" කියල කෑගැහුවා. රියදුරු මහත්තයටත් දැන් ටිකක් තරහ ගිහින්.
"ඔව්... ඉතින් මොකද ? ....  වහිනවා තමයි" කියපු රියදුරු මහත්තයා තව හයියෙන් බස් එක පදවන්න ගත්තා. සිද්දවුනදේ තේරුම් ගන්න බැරිවුන කරුනාහරන් අන්තිමට කොන්දොස්තර මහත්තයා ඊලඟ බස් හෝල්ට් එකේ "බහිනවා" කියල කෑගහලා බස් එක නැවැත්තුවම දඩිබිඩි ගාලා බස් එකෙන් බැහැ ගත්තා.
මට මේ කතාව කිව්වේ කරුනාහරන්ගෙ යාලුවෙක්. මේ කියන කරුනාහරන් දැන් ලොකු තනතුරක් දරන කෙනෙක්. කොහොම කොහොම හරි මේ අකරතැබ්බ ඔක්කොම වෙලා දැන් නම් කරුනාහරන්ට හොඳට සිංහල කතා කරන්න පුලුවන් කියලයි යාලුවා කිව්වේ. ඒත් තවම අර "බ" වෙනුවට "ව" කියන ප්‍රශ්නය නම් එහෙම්මමලු.

Friday, May 27, 2011

"කරුනාහරන් missing"

කරුනාහරන්ගෙ උපන්ගම යාපනය. යුද ගැ‍ටුම් මැද්දෙ බොහොම අමාරුවෙන් අකුරු කරලා උසස් පෙළ සමත්ව, සරසවි වරම් ලැබිලා මුල්ම වතාවට යාපනය අත්හැරලා ආවෙ පේරාදෙනිය සරසවියට. කරුනාහරන්ට නම් මේ ගමන හරියටම දැනුනෙ පිටරටකට යනවා වගෙයි. නොදන්නා පලාතක, නොදන්නා භාෂාවක් කතා කරන, නොදන්නා සංස්කෘතියකට අයත් ප්‍රදේශයක් ඉතින් එකම රටක් ඇතුලේ වුනත් විදේශයක් වගේ දැනෙන එක අරුමයක් නෙවෙයි.
පේරාදෙනියට ආව මුල් දවස් වල ගමනක් බිමනක් යන්න වුනත් පළාත හුරු පුරුදු පැරණි සඟයන්ගෙ උදව් අත්‍යවශ්‍ය වුනා. ඒ ඉතින් මඟ තොට නොදන්න නිසාම විතරක් නෙවෙයි භාෂා ප්‍රශ්නයත් නිසා. ආව මුල් සතිය ඇතුලත "කන්න", "බොන්න" වගේ සිංහල වචන එක දෙක යන්තම් ඉගෙන ගත්ත කරුනාහරන් ඊලඟ සතියෙ කණ්ඩායමක් එක්ක මහනුවර නගරය බලන්න ගියා. ඒ අය අතරෙ සිංහල ටිකක් තේරුම් ගන්න හැකි අය දෙතුන් දෙනෙකුත් හිටිය නිසා කට්ටියම බය සැක ඇරලා සතුටින් ඇවිදලා ආපහු සරසවියට එන්න බස් එකට නැග්ගා. සෙනග පිරුන බස් එකේ යාලුවො එක එක තැන විසිරිලා හිටියත් බහින තැන හැම කෙනෙක්ම දන්න නිසා කවුරුත් ඒක ප්‍රශ්නයක් කර ගත්තෙ නැහැ. ඒත් ඉතින් බස් එකෙන් බැහැලා බලන කොට කරුනාහරන් missing.
"දැන් අපි මොකද කරන්නේ?"
කවුරු කවුරුත් මේ ගැන කතා කරලා අන්තිමට තීරණය කළා කරුනාහරන්ව හොයන්න යන එක ටික වෙලාවකට කල් දමන්න. විනාඩි 15ක් 20ක් යනකොට ගලහ පාර දිගේ ඔන්න කරුනාහරන් වැනි වැනි එනවා පේනවා. කට්ටියම දුවලා ගිහින් ඇහුවා
"මොකද වුනේ?"
"අර පන්සල ලඟදි මට කොන්දොස්තර මහත්තයා බහින්න කිව්වනේ"
කියල කරුනාහරන් කිව්වා.
"ඒ මොකදට කොන්දොස්තර මහත්තයා කරුනාහරන්ට විතරක් බහින්න කියන්නේ?"
හැමෝටම මේක කුතුහලයක්.
"ඇයි ඇහුනේ නැද්ද?, කොන්දොස්තර මහත්තයා හයියෙන් කෑගගහ කිව්වේ කරුනාහරන් බහින්න...... කරුනාහරන් බහින්න" 
කියල. කරුනාහරන් එහෙම බොහොම අහිංසක විදියට කියනකොටයි අර සිංහල ටිකක් දන්න කරුනාහරන්ගෙ යාලුවන්ට තේරුනේ සිද්දවෙලා තියනදේ. කොන්දොස්තර මහත්තයා "කරුනාකරලා බහින්න" කියන එක වැරදියට තේරුම් අරන් කරුනාහරන් දඩිබිඩි ගාලා ගැටඹේ පන්සල ලඟින් බැහැලා ඉතිරි දුර පයින්ම වැනි වැනී ඇවිත්.

(සත්‍ය කතාවකි)