-->

Friday, May 27, 2011

"කරුනාහරන් missing"

කරුනාහරන්ගෙ උපන්ගම යාපනය. යුද ගැ‍ටුම් මැද්දෙ බොහොම අමාරුවෙන් අකුරු කරලා උසස් පෙළ සමත්ව, සරසවි වරම් ලැබිලා මුල්ම වතාවට යාපනය අත්හැරලා ආවෙ පේරාදෙනිය සරසවියට. කරුනාහරන්ට නම් මේ ගමන හරියටම දැනුනෙ පිටරටකට යනවා වගෙයි. නොදන්නා පලාතක, නොදන්නා භාෂාවක් කතා කරන, නොදන්නා සංස්කෘතියකට අයත් ප්‍රදේශයක් ඉතින් එකම රටක් ඇතුලේ වුනත් විදේශයක් වගේ දැනෙන එක අරුමයක් නෙවෙයි.
පේරාදෙනියට ආව මුල් දවස් වල ගමනක් බිමනක් යන්න වුනත් පළාත හුරු පුරුදු පැරණි සඟයන්ගෙ උදව් අත්‍යවශ්‍ය වුනා. ඒ ඉතින් මඟ තොට නොදන්න නිසාම විතරක් නෙවෙයි භාෂා ප්‍රශ්නයත් නිසා. ආව මුල් සතිය ඇතුලත "කන්න", "බොන්න" වගේ සිංහල වචන එක දෙක යන්තම් ඉගෙන ගත්ත කරුනාහරන් ඊලඟ සතියෙ කණ්ඩායමක් එක්ක මහනුවර නගරය බලන්න ගියා. ඒ අය අතරෙ සිංහල ටිකක් තේරුම් ගන්න හැකි අය දෙතුන් දෙනෙකුත් හිටිය නිසා කට්ටියම බය සැක ඇරලා සතුටින් ඇවිදලා ආපහු සරසවියට එන්න බස් එකට නැග්ගා. සෙනග පිරුන බස් එකේ යාලුවො එක එක තැන විසිරිලා හිටියත් බහින තැන හැම කෙනෙක්ම දන්න නිසා කවුරුත් ඒක ප්‍රශ්නයක් කර ගත්තෙ නැහැ. ඒත් ඉතින් බස් එකෙන් බැහැලා බලන කොට කරුනාහරන් missing.
"දැන් අපි මොකද කරන්නේ?"
කවුරු කවුරුත් මේ ගැන කතා කරලා අන්තිමට තීරණය කළා කරුනාහරන්ව හොයන්න යන එක ටික වෙලාවකට කල් දමන්න. විනාඩි 15ක් 20ක් යනකොට ගලහ පාර දිගේ ඔන්න කරුනාහරන් වැනි වැනි එනවා පේනවා. කට්ටියම දුවලා ගිහින් ඇහුවා
"මොකද වුනේ?"
"අර පන්සල ලඟදි මට කොන්දොස්තර මහත්තයා බහින්න කිව්වනේ"
කියල කරුනාහරන් කිව්වා.
"ඒ මොකදට කොන්දොස්තර මහත්තයා කරුනාහරන්ට විතරක් බහින්න කියන්නේ?"
හැමෝටම මේක කුතුහලයක්.
"ඇයි ඇහුනේ නැද්ද?, කොන්දොස්තර මහත්තයා හයියෙන් කෑගගහ කිව්වේ කරුනාහරන් බහින්න...... කරුනාහරන් බහින්න" 
කියල. කරුනාහරන් එහෙම බොහොම අහිංසක විදියට කියනකොටයි අර සිංහල ටිකක් දන්න කරුනාහරන්ගෙ යාලුවන්ට තේරුනේ සිද්දවෙලා තියනදේ. කොන්දොස්තර මහත්තයා "කරුනාකරලා බහින්න" කියන එක වැරදියට තේරුම් අරන් කරුනාහරන් දඩිබිඩි ගාලා ගැටඹේ පන්සල ලඟින් බැහැලා ඉතිරි දුර පයින්ම වැනි වැනී ඇවිත්.

(සත්‍ය කතාවකි)

7 comments:

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතMay 27, 2011 at 9:31 AM

    පව් අනේ.

    මේ මැණික්, සන්තුරීගෙ කතා නැතුව හරිම පාළුයිනේ.

    ReplyDelete
  2. ආඬවනේ....අහිංසකයා...

    ReplyDelete
  3. නියම කතාව. දවසක් ගමේ හිටපු මනුස්සයෙක් කොළඹ රටට ඇවිත් වුණු කතාවක් තියෙනවා. 120 බස් එකේ මනුස්සයා එද්දී එක එක්කෙනා බස් එකෙන් බහිනවාලු. ගාමිණී හෝල් බහිනවා, සලාකා බහිනවා විදිහට.

    පස්සේ මනුස්සයටා හිතුණාලු නම කියලයි බහින්න ඕනේ කියලා. සිරිපාල බහිනවා කියලා බැස්සලු :))

    ReplyDelete
  4. වෙලාවට විනාඩි 10 ක 15 ක දුරකින් බැස්සෙ කොහොමද පැය දෙක තුනක දුරකින් බැස්සනම් ....

    ReplyDelete
  5. ස්තුතියි හැමෝටම. ම්.. සන්තූරී තවම කතාව ලියන්න කියල කිව්වේ නැහැනේ.
    මැණික්

    ReplyDelete
  6. හරිම ලස්සන කතාව. මේ වගේ නොදන්න කමට වෙන සංසිද්දි හරිම විනෝද ජනකයි වගේම දුකයි.

    ReplyDelete