Tuesday, July 24, 2012

"අවසානය අත ලඟද?"

මුරුගසන් වරුසාව වැටෙනවා
උනුන් කා කොටා ගෙන මියෙනවා

නොදරුවන් නොහඳුනන
තිරිසනුන් සේ බමන
විපරීත කාලයක
ලකුනු දස අත පෙනෙයි

අධර්මය රජ කරන
පාපතරයන් සරන
විකල් ලොව නුදුරෙහිම
නිමාවක් දකින්නෙද?

මුරුගසන් වරුසාව වැටෙනවා
උනුන් කා කොටා ගෙන මියෙනවා

Thursday, June 21, 2012

"සිත් පෑරේද රුපියල, රුපියල් දෙකට"

යාන්තමින් වේගය බාල කළ බස් රථයට ගොඩ වුනා විතරයි ආ වේගයෙන්ම එය ඉදිරියට ඇදෙන්න වුනා. රේස් යන බස් වල අපේ ජීවිතත් ඒ රේස් එකේම කොටසක් වෙලා. බසයට ගොඩ වෙලා බැරිවීමකින් වත් පය පැකිලුනොත් ඉතින් නතර වෙන්නෙ එහා ලෝකයේ. ඊලඟට සිද්ද වෙනවා මාරු කාසි හොයන්න. මගේ මුදල් පසුම්බියේ නම් එක කොටසක රුපියලේ, දෙකේ, පහේ මාරු කාසි නිතරම තියනවා. අවශ්‍ය මුදල අතට අරන් හිස ඔසවා බලන විට රතු පාටින් මුද්‍රණය කර බසයේ ඉදිරිපස අලවා තිබූ දෙයක් ඇස ගැ‍ටුනා.
"මාරු සල්ලි දෙයි නම් කොන්දොස්තරට
සිත් පෑරේද රුපියල රුපියල් දෙකට"
හ්ම්... ඒ කතාවත් ඇත්ත. ඒත් මට නිතරම හිතුන දෙයක් තමයි දවස් පතා මේ බස් රථ වල එකතු වන මාරු කාසි වලට මොකද වෙන්නේ කියන එක. හේතුව මේ කොන්දොස්තර වරු වැඩි දෙනෙක් අත බොහොම වෙලාවට ඉතිරි මුදල දෙන්න මාරු කාසි නැතිලු. ඉතිරි මුදල ඉල්ලා නොසිටියොත් බොහෝ විට එය නොලැබී යා හැකි ඉඩ වැඩියි. මේ තමයි ඉතින් බස් කොන්දොස්තරවරු වැඩි දෙනෙක් ගැන සාමාන්‍යයෙන් අහන්න ලැබෙනදේ. එහෙම නොවන අසාමාන්‍ය කතාත් තියනවා.
මෑත දිනකදි වෙනදා වගේම නියමිත මුදල ගානටම දීලා මම ටිකට් පත ලැබෙන තුරු බලා හිටියා.
"මිස්. රුපියල් විස්සක් මට දෙන්න"
ගානටම මුදල දුන්න එකේ තව රුපියල් විස්සක් මොකටද? මට එහෙම හිතුනා.
"ඉතින් මම සල්ලි ගානටම දුන්නනෙ?"
"කමක් නෑ මිස්. රුපියල් විස්සක් දෙන්නකො"
මොකටද ආයෙ සල්ලි කියල හිත හිතා මම තව රුපියල් විස්සක් ඔහු අතට දුන්නා.
ඔහු මගේ අත මුදලක් තබා ටිකට් පතදී ඉදිරියට ගියා.
සිදුව ඇතිදේ තේරුනේ ඔහු දුන් මුදල දෙස බැලීමේදී. රුපියල් විස්සක් කියල මම මුලින් දී තිබෙන්නේ අර දම්පාටට තියන අලුත් රුපියල් පන්සීයක්. මම ඔහු දෙස බලා සිටියා.  මගේ වැරදීම නිසා ඔහු අතට පත්වුන විස්සේ කෑලි විසිපහක්ම ආපසු මටදී මහ හඬින් නොනවත්වා කෑගසමින් ඔහු බසයට මිනිසුන් එකතු කරනවා. ඔහුගේ ඒ උත්සාහය ඔහු ඇතුලු තම දරු පවුල ජීවත් කරවීම වෙනුවෙන් විය හැකියි. වංක බවින් තොරව තම උත්සාහයෙන්, සිතට එකඟව තමන්ගෙන් යැපෙන්නන් ජීවත් කරවීමට ඔහු දරන වෙහෙස ඔහුට ආඩම්බරයක්වී ඇතැයි මට ඒ මොහොතේ සිතුනා. සාමාන්‍යයන් අතර ඔහු අසාමාන්‍යයෙක්ව සිටිමින් ඔහුගේ ‍රැකියාව කරන අනෙක් අය පිළිබඳ මගේ ආකල්පයද වෙනසකට හැරවූවා. සොයුර ඔබට ස්තුතියි.

Wednesday, June 13, 2012

බස් රස බස්

දුර ගමනක් බස් එකක යනව කියන්නෙ බොහෝවිට රසබර අත්දැකීම් වල එකතුවක්. ඉස්සර වගේ නෙවෙයි දැන් එක එක ආකාරයේ දුර ගමන් බස් සේවා තියනවනෙ. ලංගම බස් සේවය, AC බස් ඒ කියන්නෙ සුඛෝපබෝගී බස් සේවය, අර්ධ සුඛෝපබෝගී බස් සේවය, සාමාන්‍ය පෞද්ගලික බස් සේවය එහෙම කියල. මේ එක එක බස් සේවා වල මිල ගනන් වෙනස්.
සල්ලි ටිකක් වියදම් කරන්න කැමති ඒ වගේම ඉක්මනින් තමන්ගෙ ගමන නිමා කරගන්න කැමති වැඩි දෙනෙක් ‍තෝර ගන්නෙ AC බස් සේවය. මේ බස් සේවයේ තියන ලොකුම ප්‍රශ්නය සීට් පේලි අතර මැද දමා තිබෙන මැද සීට් පේලිය. AC නිසා හැම පැත්තෙන්ම වහලා මෙහෙම බස් එකක ඒ මැද සීට් එකේ ඉඳගත්තා කියන්නෙ ඉතින් පාරෙ ඉඳ ගත්තා වගේ තමයි.  කොන්දොස්තර ටිකට් කඩන්න යනකොටත් නැගිටින්න ඕනෙ. පිටිපස සීට් එකක ඉඳගෙන ඉන්න කෙනෙක් බහින වාරයක් පාසා නැගිටින්න ඕනෙ. ජනේලය අයිනේ කොනේම සීට් එකක් නොලැබී අනිත් මොන සීට් එකක් ලැබුනත් ඇතිවෙන තව ප්‍රශ්නයක් තියනවා. AC වල ආනුභාවය නිසාද මන්දා පිරිමි අය වැඩි දෙනෙකුට නිදිමත හැදිලා කිරා වැටෙන්න ගන්නවා. එම කිරා වැටීම කොයිතරම්ද කියන්නෙ මට සමහර අවස්ථාවල හිතුනා මේ මිනිස්සු සති ගානක්ම නොනිදා හිටියද කියලත්. එහෙම කිරා වැටෙන දෙන්නෙක් අතර මැදට වැ‍ටුනොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. මේ ප්‍රශ්න නිසාම මම දැන්නම් AC බස් සේවය අත හැරලා සාමාන්‍ය පෞද්ගලික සේවය පමණයි දුර ගමනකදි ‍තෝරා ගන්නෙ. ලංගම සේවය ඉතින් තේ බොන්න තැන තැන නවත්වනවනේ.
ඒත් සුඛෝපබෝගී සේවයේ තියන එක හොඳක් තමයි නොමිලේ ඇහෙන කතන්දර නිසා සිනා වෙවී යන්න ලැබීම. හතර වටින්ම වහල නිසා ජංගම දුර කතන වලින් කෙරෙන කතා බහ හැම එකක්ම බස් එකේ ඉන්න හැමෝටම කනේ තිබ්බා වගේ අහගන්න පුලුවන්. සමහරුන්ට ඕකෙන් කතා කරන්න ගියාම වගේ වගක් නැහැ. ඔහේ කියවගෙන යනවා. ඉතින් ඇහෙන දේවල් වලට යන හිනාව නතර කර ගන්න දත කට පුට්‍ටු කරගන්න වෙනවා.
ඔන්න එක කතාවක් වුනේ මෙහෙමයි.
"අයි....යෝ..., කාරෙක නැවතුනාද? කොහෙද නැවතුනේ?"
"............................"
"මම ඉන්නෙ බස් එකේ. ඉතින් මම ඔතනට එන්නද? හ්ම්.. හ්ම්.. බොනට් එක ඇරල මට කතා කරන්න."
මොහොතකින් දුර කතනය යලි නාද වෙයි.
"ඇයි අරින්න බැරිද? බොනට් එක යටින්  අත ටිකක් ඇතුලට යවලා බලන්න එතකොට පොඩි කෑල්ලක් අහුවෙයි................................"
කියමින් ඔහු බොනට් එක ඇරීම ගැන මහ හඬින් උපදෙස් දී දුර කතනය විසංධි කරයි
"කෝ ඇර ගත්තද? අයි....යෝ ඕකවත් බැරිද?  හරි හරි කාටද දැන් ඔය කතා කරන්න යන්නෙ? කවුද ඒ මිනිහ?. හ්ම්.. හ්ම්... ඕකෙ වයර් එකක් ටිකක් බුරුල්. ඒක බලන්න කියන්න. ආ දැන් හරිද?. එහෙනම් ගිහින් ඉක්මනට ළමය ඉස්කෝලෙන් ගන්න. හැබැයි වාහනය නවත්වන්නෙ නැතිව start එකේම තියල යන්න"
විනාඩි කිහිපයකින් යලි දුරකතනය නාදවෙයි.
"ආ........... ඉස්කෝලෙ ලඟ ආයෙම නැවතුනා. මම කිව්වනෙ start එකේ තියල යන්න කියල. හරි හ..රී දැන් ඔහොම කතා කරන්න එපා, අම්මයි ළමයයි දෙන්නම බය කරන්නද හදන්නෙ?. ඔන්න ඕක ඔතන තියල බස් එකක ගෙදර යන්න. මම ඇවිත් ගෙනියන්නම්."
ඔහු ලඟ සිටින තැනැත්තා සමඟද මේ ගැන කියවයි. කතා බහට අනුව ඔහු වෛද්‍යවරයෙකි. එහෙත් මට නැගුන ප්‍රශ්නය මෙයයි. ඔහුගේ බිරිඳ වාහනය පදවන්නේ නම් හදිසි අවස්ථාවක මෙවන් දේ කරන අයුරු පෙන්වා දෙමින් ඇයට උපදෙස්දී නොතිබුනේ මක් නිසාද? එසේවී නම් දුරකතනයක් හරහා මෙසේ උපදෙස් දීමට සිදු නොවනු ඇත. අනෙක් අතට කාන්තාවක් වශයෙන් තමන් වාහනයක් පදවන්නේ නම් අඩුම වශයෙන් බොනට් එක ඇර තෙල් වතුර බැලීමට සහ ටයරයක් මාරුකළ යුතු විට එය කරන ආකාරය ගැනවත්  දැනුවත්ව නොසිටින්නේ ඇයි? මට ඇමරිකාවේ සිටින මගේ මිතුරිය චිත්‍රා සිහියට නැගුනි. ඇමරිකාවේ හැමදේම සල්ලිය. එකල අවිවාහකව සිටි ඇය වාහනයේ ඇතිවන සුලු සුලු ආපදා සියල්ල තමන්ම කර ගන්නා ලදී. ඇගේ පැරණි වාහනය යටට රිංගා ඇය කරන මේ කාරිය දු‍ටු පළමු දිනයේ මා මවිතයට පත්වුනි. අවශ්‍යතාවයද උනන්දුවද ඇත්නම් අපේ කාන්තාවන්ට මේවා එතරම් දේ නොවන බව ඇය මට පසක් කළේය. එහෙත් ලංකාවේ අපි මේ සියල්ල පිරිමි වැඩ යයි ඔවුන්ටම පවරා බලා සිටිමු. එහෙත් වාහන පදවමු. මේ සියල්ල වෙනස් වියයුතු නොවේද?

Monday, May 7, 2012

"ඉර්ධි වීම"

ගුණවර්ධන මහත්තයයි නෝනයි තකහනියක් මාතර ගියේ ගුණවර්ධන නෝනගෙ අම්මට ටිකක් අසනීපයි කිව්ව නිසයි. අම්මගෙ වයස අවුරුදු අනුවකට කිට්‍ටු වුනත් දෙය්යන්ගෙ පිහිටෙන් තවම වාරුවක් නැතිව ඇවිදගෙන යන්න පුළුවන්. ආගිය කතා ඉවරයක් වුනහම ගුණවර්ධන දෙමාල්ලො හිතුවා අම්මව නුවර කැන්දන් ගිහින් ටික දොහක් නතර කරගෙන සාත්තු කරන්න.
නුවර යන්න කාරෙකට නැගල ඉඳගත්තට පස්සෙ අම්මට සිහිවුනා එයාගෙ වටිනාම වස්තුව අමතක වුන බව.
"අනේ පුතේ මගෙ සර්වඥ ධාතූන්නාසේලා නැතිව නම් කොහේවත් යන්න බැහැ" කියල බැරි අමාරුවෙන් ආයෙත් ගෙට ගිහින් බොහෝම ගෞරවයෙන් වැද පුදන ධාතු කරඬුව අරන් ගමන යන්න පිටත් වුනා. දුර කතර ගෙවාගෙන මහනුවරට ආවම අම්මගෙ අසනීප ගතියත් ටිකක් අඩුවුනාවත්දෝ කියලත් ගුණවර්ධන දෙමාල්ලන්ට හිතුනා. පහුවෙනිද හවස් අතේ දළදා වහන්සෙ වැඳ පුදා ගත්තම අම්මගෙ මූණෙ තිබුන මළානික ගතියත් දුරුවුනා කියලයි කවුරුත් කිව්වෙ.
අම්මත් එක්ක එකතු වෙලා ගුණවර්ධන නෝනත් සර්වඥ ධාතූන්නාසේලට පුද සත්කාර කරන්න පටන් ගත්තා. අම්මා මේ ධාතූන්නාසේලා ලබාගෙන තිබුනේ ඒවා ගෙනවිත් පෙන්වපු කෙනෙකුට බොහොම පිංසෙන්ඩු වෙලා අන්තිමට ලොකු මුදලක් දෙන්න කැමති කරවගෙන. ගෙදරට යන එන හැමෝටමත් අම්මයි ගුණවර්ධන නෝනයි මේ හිමාලයෙන් වඩම්මපු සර්වඥ ධාතූන්නාසේලගෙ විස්තර කියලා කරඬුව ඇරලා පිරිසිදු පුළුන් කෑල්ලක වැඩ ඉන්න යාන්තම් කළු පැහැයට හුරු ධාතූන්නාසේලා දෙනම පෙන්වනවා. ඒත් වැරදිලාවත් කාගෙවත් අතට අරන් බලන්න නම් අවසරයක් නෑ. ගුණවර්ධන මහත්තයා නම් ඉවසුමක් නැතිව හිටියේ ධාතූන්නාසේලා දෙනම අතටම අරන් බලන්න.
දවසක් හවස් අතේ ගුණවර්ධන නෝනා අහල පහලක ගිය වෙලේ අම්මත් නින්දකට වැටිල බව දැක්ක ගුණවර්ධන මහත්තයා හිමීට කාමරයට ගිහින් ධාතූන්නාසේලා දෙනම අතට අරන් බැලුවා. කාමරේ එලිය අඩු නිසා හොඳින් බලන්න එක නමක් අරන් අනික තිබුන විදියටම කරඬුවෙ තැන්පත් කරල එලියට ආවා. වෙලාව කියන්නෙ එතකොටම ගුණවර්ධන නෝනා ගෙට ගොඩවුනා.
පහුවෙනිදා ඉතින් මහ කළබගෑනියක් ධාතූන්නාසේලගෙන් එක නමක් ඉර්ධි වුන එකට. පුද පූජා වල අඩුපාඩුවක් වෙන්ට ඇති කියලයි යන එන අය කියන්න ගත්තෙ. ඉතින් ආපහු ධාතූන්නාසේ වඩම්ම ගන්න තව තව පුද පුජා තියන්න පටන් ගත්තා.
සතියක් විතර ඔහොම ගතවුනායින් පස්සෙ ගුණවර්ධන මහත්තයට හිතුනා සිද්ද වුනදේ කියන්න.
"අම්මේ, ....... ඉර්ධි වුන ධාතූන්නාසේ බලන්න ඕනැයි?"
කියල යෝගට් කෝප්පයක් අරන් දෙන්නා පුද පුජා පවත්තන තැනට ගුණවර්ධන මහත්තයා හිමිහිට ආවා. ගුණවර්ධන මහත්තයා හිතේ සැකේ නිසා  ධාතූන්නාසෙව හිටවලා. යෝගට් කෝප්පෙ තිබුනේ කූඬළු මල් පැලයක්!!!
අනේ කාලේ වනේ වාසේ........!!!

(සත්‍ය කතාවකි)

Saturday, May 5, 2012

"විවෘත මාවත"

"නිවැරදි අවබෝධය, නිවැරදි කතාව, නිවැරදි සමාධිය ආදී වශයෙන් අෂ්ටාංගික මාර්ගය සම්ප්‍රදායික ලෙස පියවර අටකින් යුක්තව උගන්වා දෙනු ලැබේ. නමුත් දෙ ඇසක්, දෙකණක්, නාස්පුඩු දෙකක්, දිවක් හා ශරීරයක් ආදී වශයෙන් සැබෑ අෂ්ටාංගික මාර්ගය අප තුළම පිහිටා ඇත. මේ අට දොර අපේ සම්පුර්ණ ගමන් මාර්ගය වන අතර ඒ තුළින් ගමන් කරනුයේ මනසයි. මේ දොරවල් හඳුනා ගන්න. ඒවා පරීක්ෂාකර බලන්න. සියලුම ධර්ම ඒවා තුළින් හෙළිදරව් වනවා ඇත.
මාර්ගයේ හදවත ඒ තරමින්ම සරලය. ඒ සඳහා දීර්ඝ පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ. ආදරයේ හා ද්වේශයේ එල්ලී සිටීම අතහැර දමන්න. හුදෙක් දේවල් පවත්නා ස්වභාවයෙන් නොසැලී හිඳින්න.
යම් කිසිවෙකු වීමට වෑයම් නොකරන්න. යම් කිසිවකු මෙන් පරිවර්තනය වීමටද නොයන්න. භාවනා කරන්නකු නොවන්න. අවබෝධයට පත් අයකු වීමට නොයන්න. කිසිවක් අල්ලා නොගන්න. කිසිවක් ප්‍රතික්ෂේපද නොකරන්න. සිසිලස පවත්නා තැනට ඔබ සටනින් ඉවත්වී පා නගන්න."

Still Forest Pool by Jack Cornfield and Paul Britar 
නිසල විල (පි‍ටු අංක 22), අනුවාදය ඩබ්ලිව් සුගතදාස

Saturday, April 7, 2012

"දර්ශනයේ මහිම"

නස්රුදීන් මුල්ලාගෙ කතා ලෝකයේ බොහෝ රටවල ජනප්‍රියයි. ඒ කතා වල විශේෂත්වය තමයි කතාව අසා සිනාසී මොහොතකින් එහි යටි අරුත වැටහී යමින් කල්පනාවට වැටෙන එක. ඒ නිසාම මේ කතා බුද්ධියට පණ පොවන කතා කියල ලොව පුරා පිළිගැනීමක් තියනව. ඒ එක කතාවක් තමයි පහත දැක්වෙන්නේ.

නස්රුදීන් කෝපි බිබී හුන් කඩපිලට පැමිණි දාර්ශනිකයෙක් මෙසේ කිව්වා.
"මෙලොව ඇති සියළු දේම හැම කෙනෙකුටම සමව ලැබෙන්න ඕනේ"
"ම්.. ඒක හරියන වැඩක් නෙවෙයි"
දාර්ශනිකයාට සවන්දී සිටි අයෙක් පිළිතුරු දුන්නා.
"හරි හරි තමුසේ ඒක කරල බැලුවද?"
දාර්ශනිකයා ඔහුගෙන් ඇසුවා.
"මං කරල බලල තියනවා"
නස්රුදීන් වහා ඉදිරිපත්ව උත්තර දුන්නා. කඩපිලේ සිටි සියල්ලෝම ඒ කෙසේදැයි විමසන්නටමෙන් නස්රුදීන් දෙස හැරී බැලුවා.
"මං මගේ බිරිඳටයි බූරුවටයි දෙන්නටම සමව සැලකුවා. ඒ දෙන්න බලාපොරොත්තු වූ දේවල් දෙදෙනාටම සමව ලබා දුන්නා."
නස්රුදීන් සිනාසෙමින් කිව්වා.
"හරිම අපූරුයි!!  මේ උන්නැහේ දැන් කාටත් ඇහෙන්න කියමු බලන්න ලැබුන අගනා ප්‍රතිපලය මොකද්ද කියල?"
තම මතය පිළිගැනීමට ලක්වීම පිළිබඳ මහත් සතුටින් දාර්ශනිකයා කෑගැසුවා.
"ප්‍රතිපලේද?.... හොඳ බූරුවෙක්.........  නරක බිරිඳක්"