-->

Monday, May 7, 2012

"ඉර්ධි වීම"

ගුණවර්ධන මහත්තයයි නෝනයි තකහනියක් මාතර ගියේ ගුණවර්ධන නෝනගෙ අම්මට ටිකක් අසනීපයි කිව්ව නිසයි. අම්මගෙ වයස අවුරුදු අනුවකට කිට්‍ටු වුනත් දෙය්යන්ගෙ පිහිටෙන් තවම වාරුවක් නැතිව ඇවිදගෙන යන්න පුළුවන්. ආගිය කතා ඉවරයක් වුනහම ගුණවර්ධන දෙමාල්ලො හිතුවා අම්මව නුවර කැන්දන් ගිහින් ටික දොහක් නතර කරගෙන සාත්තු කරන්න.
නුවර යන්න කාරෙකට නැගල ඉඳගත්තට පස්සෙ අම්මට සිහිවුනා එයාගෙ වටිනාම වස්තුව අමතක වුන බව.
"අනේ පුතේ මගෙ සර්වඥ ධාතූන්නාසේලා නැතිව නම් කොහේවත් යන්න බැහැ" කියල බැරි අමාරුවෙන් ආයෙත් ගෙට ගිහින් බොහෝම ගෞරවයෙන් වැද පුදන ධාතු කරඬුව අරන් ගමන යන්න පිටත් වුනා. දුර කතර ගෙවාගෙන මහනුවරට ආවම අම්මගෙ අසනීප ගතියත් ටිකක් අඩුවුනාවත්දෝ කියලත් ගුණවර්ධන දෙමාල්ලන්ට හිතුනා. පහුවෙනිද හවස් අතේ දළදා වහන්සෙ වැඳ පුදා ගත්තම අම්මගෙ මූණෙ තිබුන මළානික ගතියත් දුරුවුනා කියලයි කවුරුත් කිව්වෙ.
අම්මත් එක්ක එකතු වෙලා ගුණවර්ධන නෝනත් සර්වඥ ධාතූන්නාසේලට පුද සත්කාර කරන්න පටන් ගත්තා. අම්මා මේ ධාතූන්නාසේලා ලබාගෙන තිබුනේ ඒවා ගෙනවිත් පෙන්වපු කෙනෙකුට බොහොම පිංසෙන්ඩු වෙලා අන්තිමට ලොකු මුදලක් දෙන්න කැමති කරවගෙන. ගෙදරට යන එන හැමෝටමත් අම්මයි ගුණවර්ධන නෝනයි මේ හිමාලයෙන් වඩම්මපු සර්වඥ ධාතූන්නාසේලගෙ විස්තර කියලා කරඬුව ඇරලා පිරිසිදු පුළුන් කෑල්ලක වැඩ ඉන්න යාන්තම් කළු පැහැයට හුරු ධාතූන්නාසේලා දෙනම පෙන්වනවා. ඒත් වැරදිලාවත් කාගෙවත් අතට අරන් බලන්න නම් අවසරයක් නෑ. ගුණවර්ධන මහත්තයා නම් ඉවසුමක් නැතිව හිටියේ ධාතූන්නාසේලා දෙනම අතටම අරන් බලන්න.
දවසක් හවස් අතේ ගුණවර්ධන නෝනා අහල පහලක ගිය වෙලේ අම්මත් නින්දකට වැටිල බව දැක්ක ගුණවර්ධන මහත්තයා හිමීට කාමරයට ගිහින් ධාතූන්නාසේලා දෙනම අතට අරන් බැලුවා. කාමරේ එලිය අඩු නිසා හොඳින් බලන්න එක නමක් අරන් අනික තිබුන විදියටම කරඬුවෙ තැන්පත් කරල එලියට ආවා. වෙලාව කියන්නෙ එතකොටම ගුණවර්ධන නෝනා ගෙට ගොඩවුනා.
පහුවෙනිදා ඉතින් මහ කළබගෑනියක් ධාතූන්නාසේලගෙන් එක නමක් ඉර්ධි වුන එකට. පුද පූජා වල අඩුපාඩුවක් වෙන්ට ඇති කියලයි යන එන අය කියන්න ගත්තෙ. ඉතින් ආපහු ධාතූන්නාසේ වඩම්ම ගන්න තව තව පුද පුජා තියන්න පටන් ගත්තා.
සතියක් විතර ඔහොම ගතවුනායින් පස්සෙ ගුණවර්ධන මහත්තයට හිතුනා සිද්ද වුනදේ කියන්න.
"අම්මේ, ....... ඉර්ධි වුන ධාතූන්නාසේ බලන්න ඕනැයි?"
කියල යෝගට් කෝප්පයක් අරන් දෙන්නා පුද පුජා පවත්තන තැනට ගුණවර්ධන මහත්තයා හිමිහිට ආවා. ගුණවර්ධන මහත්තයා හිතේ සැකේ නිසා  ධාතූන්නාසෙව හිටවලා. යෝගට් කෝප්පෙ තිබුනේ කූඬළු මල් පැලයක්!!!
අනේ කාලේ වනේ වාසේ........!!!

(සත්‍ය කතාවකි)

12 comments:

  1. හෙහ් හෙහ් හෙහ්.... ධාතු පැලවෙලා.

    ReplyDelete
  2. මිනිසුන්ගේ විශ්වාසයත් එක්ක මෙහෙම රැවටීම් වෙන එක අහනන් දෙයක් නෙමෙයි.

    ඒත් හිනා වෙන්න බැරි මොකක්දෝ එකක් තියෙනවා මෙතන සමහරවිට රචකයාගේ දක්ශකම වෙන්න ඕනේ.

    ReplyDelete
  3. කෙටි කතාව නියමෙටම නියමයි. අරුතත් සාහිත්‍ය රසයත් , කුතුහලයත් උපරිම දැනුන අවස්ථාවක රැඳුණු කතා පුවතක්.

    සත්‍ය වුණත් මේවගේ කතා සදාකාලික රසයක් ගේනවා.

    පව් ඉතින් ආත්තම්මගේ බලාපොරොත්තුව සුන් වුණාට. මටනම් හිතෙන්නේ ආත්තම්මගේ පූජනිය වස්තුව එයාට හෙළි නොකර හිටියනම් හොඳයි කියලා.
    එයාගේ ආසාව නේ.....

    ReplyDelete
  4. පෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  5. ඒ කියන්නේ ධාතුන්වහන්සේලා කියලා පෙන්නලා තියෙන්නේ බොරුවක්..

    ReplyDelete
  6. පුද්ගලික ධාතු කරඩු තියා ගෙන ඉන්න උදවියත් ඉන්නව එහෙනම්

    ReplyDelete
  7. මට පුදුම ඔච්චර කාලයක් ගිහිල්ලත් අර කූඩළු ඇටේ පැල වෙන්න ශක්තිය තිබ්බ එක.... :O

    ReplyDelete
  8. කතාවේ හාස්‍ය රසය ගැබ් වෙලා තිබ්බත් හිනා වෙන්න අමාරු දුකකුත් ඒ ඇතුලේ හැංගිලා තියෙනවා. මේ තරම් උතුම් දෙයක් ප්‍රයෝග වලට යොදාගෙන අනුන්ව රවටන මිනිස්සු (අත්තම්මාට ධාතූන් වහන්සේලා කියලා කූඩළු ඇට විකුණාපු කෙනා වගේ අය) ගැන කළකිරීමකුත්, ඒ අත්තම්මාගේ අහිංසක ශ්‍රද්ධාව (මෝඩ ශ්‍රද්ධාව කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. ඒත් ඒ ගැන තියාගෙන හිටපු විශ්වාසයම ඒ අත්තම්මාට පිහිටක් උනානේ) නොහිතූ විදිහට බිඳ වැටීම නිසා අත්තම්මා ගැන දුකකුත් ඇති වෙනවා.

    ඉස්තරම් ලියවිල්ලක් මැණික්.

    ReplyDelete
  9. එච්චර බොරුවක් කරන්න තරම්.. අනික ධාතු සම්බන්ධව..

    ජය !

    ReplyDelete
  10. අනේ ඇත්තට.....මෙහෙමත් දේවල්

    ReplyDelete
  11. ස්තුතියි හැමෝටම. වැඩ අධික කම නිසා පෙර මෙන් බ්ලොග් සටහන් ලිවීමටවත් ඔබේ අදහස් වලට පිළිතුරක් ලිවීමටවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ.
    මැණික්

    ReplyDelete