Monday, December 26, 2011

"පුතුනි මා"

මගේ රන්කැටි පුතුනි
කෙලෙසකින් කියන්නද
සෙනේහය හද පිරුනු
ගඟුලක්ව ඇද හැලෙයි

මගේ හැම කඳුලක්ම
මුතු කැටව සිනාසෙයි
මගෙන් බිව් කිරි වලට
නුඹේ ණය අහවරයි

තවත් කුමකට ඉතින්
වෙනත් කවි හිත නිවන
මපුත් හැර ලොවේ වෙන
කවක් ලියැවේද මොන

ගන අඳුර මකාලූ
සුපුන් සඳ වූ පුතුනි
මේ කඳුලු නුඹ නමින්
සිනාසෙන කඳුලුමය

මවක හද නැගෙන ඒ
අපිරිමිත සෙනේහය
මහමෙරක්වී නිතින
ඕබ ලඟින් දිලෙනු ඇත

ක‍ටුක දුක් ඉවසමින්
වැලි කතර වුව ඉතින්
ඔබ නොහැර සෙවනැල්ල
විලස ලංවී සිටිම්

Tuesday, December 13, 2011

"ඉල්ලුමට සැපයුම"

මිනිසුන් ආදරය
විකුණති
නෙක නෙක විලාසෙන්

ඉල්ලුමට සැපයුම
සිතනු මැන දෙවරක්
මිළදි ගත් යමක්දැයි
ඔබේ ආදරයත්

Thursday, December 1, 2011

"ඊසොප්ගේ නොකිව් කතා"

ඊසොප්ට දිනක් හඬමින් සිටි සිංහයෙකු මුන ගැසුනේය. සිංහයන් කිසි දින නොහඬන බව සිතා සිටි ඊසොප් උගෙන් මෙසේ ඇසීය.
"මොකද අඬන්නෙ, කාරණේ කීව නම් බලන්න"
"හේතු දෙකයි. ගුහාවට රිංගන්න බලපු කොටියා මරා ගෙන කෑවදා ඉඳල ඌ අජීර්ණය වෙලා බඩ රිදෙනවා.  ලඟකදි ඉඳලා මම බූරුවෙක් වේගෙන යන බව දැනෙනවා."
"බූරුවෙක්!! " ඊසොප්ට කට කොනකට හිනාවක් පැමිණිනි.
"සිංහයන්, සිංහයන් සේ නොසිට බූරු වැඩ කරන විට ඔහොම වෙනවා"
යැයි කියූ ඊසොප් ආගමන යන්නට ගියේය.

Saturday, November 26, 2011

"විශ්මිත නිසල බව"

ලෝකයම එක තැනක නැවතිලා වගේ තරමටම මුලු පරිසරයම නිශ්චලයි. ඒ තමයි මගේ හිත හැමදාමත් ප්‍රාර්ථනා කරන නිහඬ බව. එක දවසක් මගෙන් කෙනෙක් ඇහුවා
"ඔයා කැමති වනන්තරේටද, නැත්නම් මහ මුහුදටද?"
කියල. මගේ උත්තරය වුනේ වනන්තරේ කියල.  වනන්තරේක තියන නිහඬ බව හරිම විශ්මිතයි. මම ඒ විශ්මිත බව එක් වතාවක් විඳල තියනවා.
අධ්‍යාපනික වැඩ සටහනට මට යන්න වුනා මැලේසියාවෙ KOTA KINABALU කියන නගරයට. වැඩ මුලුව අතරතුර Danum Valley field Centre එකේ චාරිකාවක් සංවිධානය කර තිබුනා. එය පිහිටා තිබුනෙ මැලේසියාවෙ Borneo ප්‍රාන්තයේ Sabah නගරයට යාව පිහිටි වැසි වනාන්තරයක් තුල. ඒ තමයි එවන් ස්වභාවික වැසි වනාත්තරයක් තුලට පිවිසි පළමු වතාව. මගේ ඇස ගිය මුල්මදේ තමයි අපේ රටේදි දැක්ක හැම සතෙකුම කීප ගුණයකින් විශාලව එහිදී දක්නට ලැබීම. පුංචිම පුංචි කුරුමිණියන් පවා අදහගන්න බැරි තරම් විශාලයි. 
ඒ තමයි ස්වභාවය ඔවුන්ට දුන් සම්පත් ඒ ලෙසම හිරිහැරයකින් තොරව භුක්විදීමට හැකිවීමේ වාසනාව. හවස් වන විට වල් ඌරන් අප නවාතැන් ගත් කාමර අවට ගැවසෙනු දකින්නට ලැබුනා. මුව රංචුද ඒ අසල ගැවසීම මහත් ආනන්දනීය දෙයක් වුනා.
ඉස්සර අපේ රටේ සතර අත පියඹන සමනල් රෑන් දක්නට ලැබුනත් දැන් දැන් එය දුලබ දසුනක්. කුඩා කළ සමනලුන් පසු පස යමින් මා ලද මිහිරියාව මට නැවත වරක් අත්දකින්නට ලැබුනේ එහිදී. රක්ෂිත වනාන්තරක් වූ බැවින් මේ කිසිම ජීවියෙකුට තමන්ට ස්වභාවිකව අයත්වූ දේ අසාධාරණ ලෙස උදුරා ගැනීමට කිසිවෙකු සිටියේ නැහැ. ස්වභාවයේ නීතීන්ට අනුකූල ලෙස සියලු දේ සිදුවෙමින් තිබුනා. මමත් එහි එක පුංචි කොටසක් පමණක්ම බව මට දැනුනා. අප නැවතී සිටි තැනට මීටර් කීපයක් දුරින් පළලින් ඉතා විශාල ගංගාවක් ගලමින් තිබුනා. රටවල් කිහිපකින් ආ සොයුරු සොයුරියන් හා පැවති සාකච්ඡා අවසන් වූ සවස් කාලයන්හි මා කළේ තනිවම ගොස් ඒ ගං ඉවුරෙහි නිහඬ සංගීතයට සවන් දීමයි. පරිසරය නිහඬයි. ගංගාවේ ගීතය අති මිහිරියි.
එක් දිනක් ගතවුනේ වනන්තරය තුල ඇවිදීම සඳහා. අදහන්න බැරි තරම් විශාල කූඩැල්ලන්ගෙන් බේරීම සඳහා ලොකු බූට් සපත්තු දමාගෙන ඒ ගමන යායුතුව තිබුනා. එහෙත් වරින් වර අප සැලකිලිමත් වුනේ ඒ විශාල කූඩැල්ලන් සපත්තු දිගේ නැග විත් ශරීරයට ගොඩ වීම වලක්වාලීම සඳහායි. එක් තැනකදී ඔය පෙනෙන පින්තූරයේ ඇති වැල් පාලමෙන් එගොඩව අනිත් පසට යාමට සිදුවුන අතර මා සමග ගිය අයට යන්නට හැර වනන්තරයේ නිහඬ බව ඇසීමට මට සිත් වුනා. පාලම මැද සිටගෙන මා අසා සිටියා ඒ නිහඬ බව. එහෙත් මට දැනුනා ඒ නිහඬ බවම නොවන බව. කිසිවෙකුට විස්තර කළ නොහැකි කිසියම් විශ්මිත කතාවක් මට ඇහෙන්නට වුනා. ඒ තමයි වනන්තරය, ස්වභාවය කතා කරන හඬ.
පාලම යටින් ගලා ගියේ අර මා මුලින් කිව් ගංගාව. පාලමේ සමහර තැන් කැඩී තිබුන නිසා අපේ අයගෙන් කොටසක් ආපසු ගියද මගේ සිත නම් බල කළේ කෙසේ හෝ එගොඩ වන ලෙසයි. ඇත්තෙන්ම එසේ එගොඩ වූවන්ට ස්වභාවයෙන් තිලිනයක් ලැබුනා. ඒ තමයි එහි සිටි ඔරන් ඔටන් යුවලක් දැක ගැනීමට ලැබීම.
දියුණුව යැයි කියා අප කොන්ක්‍රීට් වනාන්තර ඉඳි කළද අප අයත් ස්වභාවයට නිසා මිනිසා කෘතිමව ඉඳිකරන දේ තුල නිරන්තරයෙන් දුක්ඛිතව සිටියි. එකිනෙකා කා කොටා ගන්නේ කුමක් අරබයා දැයි සිතෙන්නේ මෙවන් පරිසරයකට ගිය විටදීය. අප අපේ ස්වභාවයෙන් විතැන්ව ගොස් අතරමන්වී සිටිමු.

Saturday, November 12, 2011

" ලොව සොඳුරුය මනරම්වේ බලනු සකි"

අද කියන්න යන්නේ තවත් කැනඩාවෙහි ඇති සොඳුරු බිම් පෙදෙසක් ගැන. මේ ස්ථානය පිහිටල තියෙන්නේ Quidi Vidi විල අසල. මේ විල සැතපුමක් පමන දිග වන අතර පිහිටා තියෙන්නෙ  Newfoundland ප්‍රාන්තයේ St. John's නගරයෙහි නැගෙනහිර මායිමේ.  
අතීතයේ පටන් පැවත එන ජල ක්‍රීඩා ඉසව් සඳහා මේ විල කැනඩාවේ ප්‍රසිද්ධියක් උසුලනවා. ඉන් වඩාත් සිත් ගන්නේ සෑම වසරකම පැවැත්වෙන රාජකීය St. John's Regatta බෝට්‍ටු තරඟාවලිය.මෙම ක්‍රීඩාව 1826 සිට පැවත එන බවට ලිඛිත සාක්ෂි තිබෙන බව සඳහන් වෙනවා. 
සෑම වසරකම අගෝස්තු මාසේ පළමුවෙනි බදාදා 50,000  කට අධික පිරිසක් මෙය නැරඹීම සඳහා මේ විල අසලට එක් ‍රැස්වන අතර පැරණි කාලයේ තැනූ බෝට්‍ටු වල ස්වරූපයෙන් තැනූ බෝට්‍ටු මෙම තරඟාවලියේ දකින්නට ලැබෙනවා. එමෙන්ම බොහෝ සවස් කාලයන්හි  Quidi Vidi විල වටා ඇති කිලෝ මීටර් 3.8 ක් දිග ගමන් පෙතෙහි අවට සිරි නරඹමින් නිදහසේ ඇවිදින්නන් මෙන්ම ව්‍යායාම සඳහා අතොරක් ඇතිව දුව යන්නන්ගෙන්ද පිරී තිබෙනු දක්නට පුලුවන. 
තරමක් සවස් කාලයෙහි ගිය කල ඉර බැස යන මෙවන් සොඳුරු දසුන් අපේ සිත් මොහොතකට නවතා තබනවා.

Thursday, November 10, 2011

ප්‍රිය සොයුර

රෝහන, මේ සටහන අද මම ලියන්නෙ ඔයා වෙනුවෙන්. ඉතින්,..!!!  ජීවිතේ අපි ඒ දවස් වල හිතපු විදියට වඩා කොයිතරම් වෙනස් වෙලාද නේද? කිසිම බරක් පතලක් නැති සමනල් විය ගෙවී ගිහින් අපි වැඩිහිටියෝ වෙලා. එදා සැහැල්ලුවෙන් දැකපු ලෝකය අද වගකීම් ගොඩකට මැදිවෙලා අපිට අපිවම නොපෙනෙන තැනකට තල්ලු වෙලා ගිහින්දෝ කියල ඔයාට කතා කරල මොහොතකට පස්සෙ මට හිතුනා.
එකම සරසවියක කාලයක් එකට ඉගෙන ගත්තත් වචන පේලි දෙකක email එකක් හැරෙන්නට අපි අතර දිග ලිපියක් නම් කවදාවත් හුවමාරු වුනේ නැහැ. සමහරවිට වසරකට එකක් වගේ හුවමාරු වුන පුංචි වචන පේලි දෙකක් අතර වුනත් හැමදාකම අපේ මිත්‍රත්වය ‍රැඳිල තිබුනා. "කොහොමද ඉතින්? හොඳින්ද?" ඔව්, එපමණයි අපිට දැන ගන්න ඕනෙ වුනේ. ඒත් අපි කාටවත් අපිව අමතක වෙලා තිබුනෙ නැහැ.
ජීවිතේ හරි පුදුමයි. සමහර කාල වල එකම සැනකෙලියක් වෙන තරමට ගීතවත් වෙන ජීවිතය තවත් කාලයකට ගෙනෙන්නෙ කුනා‍ටුම විතරයි. ඒත් ජීවිතේට කුනා‍ටුත් ඕනෙ. නැත්නම් ඒක කොහොමත් අසම්පූර්ණයි. ඉතින් සැනකෙලියට වගේම කුනා‍ටුවටත් අපිට මුහුනදෙන්න වෙනවා. අපේ හිත් කොයි තරම් ශක්තිමත්ද කියල අපිට දැනගන්න පුලුවන් වෙන්නේ කුනා‍ටුව ආවදාටයි.
අපි හැම අතින්ම තනිවෙලා නම් සමහරවිට කුනා‍ටුවට අහුවෙලා අපිව ඔහේ කොහේ හෝ තැනකට පාවෙලා යන්නත් බැරි නැහැ. ජීවිතේට හිටි ගමන් කඩා වදින කුනා‍ටුත් හරියටම සීතල රටවලට හිටි ගමන් පාත්වෙන හිම කුනා‍ටු වගේමයි. ඒත් හිම කුනා‍ටු වලට මුහුණ දෙන හැටි ඒ රටවල මිනිස්සු ඉගෙන ගෙන තියනවා. ඉතින් කුනා‍ටු ආවට දැන් ඒ අය බය වෙන්නෙ නැහැ. කුනා‍ටුවක් එනකොටම ඒක ඒ අයට තේරෙනවා.
ජීවිතේ කලඹවමින් හමන කුනා‍ටු දිහාත් ඒ විදියට බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. එහෙම කුනා‍ටුවකට මුහුණ දෙන හැටි අපි කලින් දැනුවත්ව ඉන්න ඕනෙ. ඒ වගේ වෙලාවක අපි මොනවද කළයුත්තේ? ඒක තමයි වඩාත් වැදගත්.
කළබල වුනොත් කොරොස් කටෙත් අතදාන්න බැහැ කියල ඉස්සර කාලේ අය කිව්වනෙ. ඒක ඇත්ත. කළබල වෙලා බැහැ. අපි අතිනුත් වැරදීම් වෙන්න පුලුවන්. මුලින්ම අපි ඒක එහෙමයි කියල පිලිගන්න පුරුදු වෙමු. අපි වැරදි නැහැ කියල අපේ හිත එක්ක තර්ක කර කර ඉන්න ගියොත් කුනා‍ටුව අපිව අරන් යන්න යයි.
ඊලඟට යාලුවෝ. අපේ ජීවිතේ අඩුම ගනනේ අපේ ඕනෑම ප්‍රශ්නයකදි ලඟ ඉන්න, බය නැතිව හැම දෙයක්ම කියන්න පුලුවන් විශ්වාසවන්ත යාලුවෙක් (පාප මිත්‍රයෝ නම් නෙවෙයි) ඉන්නවද? එහෙම කෙනෙක් නැත්නම් ඒක ලොකු අඩුවක්. වගකීම් අතර හිර වුනාම සමහරවිට ඉන්න යාලුවෝ ටිකදෙනත් අපෙන් දුරස් වෙලා වෙන්න පුලුවන්. ඒත් ඒක වැරදියි. "ඔක්කොම බිත්තර එක භාජනයකට දාන්න එපා" කියල තියනව අහල තියනවද? ඒ කියන්නෙ එක රාමුවකට විතරක් කො‍ටු වෙන්න එපා කියලයි. අපිට අපේ වගකීම්, අපේ පවුල් සබඳකම් හා ‍රැකියාවෙන් පිටස්තරව විශ්වාසවන්ත යාලුවන්ගෙ ආශ්‍රය ලැබෙන්න ඕනේ. එහෙමනම් කුනා‍ටුවකදි අපේ ලඟ හිතේ හයියට මේ විශ්වාසවන්ත මිත්‍රත්වය ‍රැ‍ඳෙනවා. කුනා‍ටුවට අසුව කැඩෙන බි‍ඳෙන අපේ හිත හදන්න හැකියාව ඒ අය ලඟ තියනවා.
කුනා‍ටුවකට අහුවෙලා ඇඹරෙන හිත සන්සුන් කරගන්න කියාපු හොඳම බෙහෙත යහපත් ආගම. බෙහෙත කියන වචනය මම පාවිච්චි කලේ හිතාමතාමයි. බෙහෙත් ඕනැවෙන්නෙ ලෙඩකට. ඒත් අපි නියම මාත්‍රය දැනගෙන නිවැරදි පිළිවෙලට නියම බෙහෙත ගන්න ඕනේ. දන්නවනෙ වැරදි බෙහෙත පාවිච්චි කළොත් සිද්දවෙන්න පුලුවන්දේ. ආගම නිවැරදිව අන්තගාමී නොවී නියම පිලිවෙලට යොදාගන්න අපි දන්නවනම් හිත කළඹන මොන කුනා‍ටුවකටවත් අපිව වට්ටන්න බැහැ. කොහොමද නිවැරදිව අන්තගාමී නොවී ආගම යොදා ගන්නේ.? ඒක ඉගෙන ගන්න නම් ඒ වෙනුවෙන් පුංචි කාලයක් හරි වැය කරන්න වෙනවා. දවසේ සුලු මොහොතක් හරි ඒකට ඉඩක් වෙන් කර ගන්න. කියවන්න. එක ආගමක් ගැන විතරක් නෙවෙයි. ආගම කියල හඳුන්වන හැමදෙයකින්ම අවසානයේ කියන්නෙ මොනවගේ දෙයක්ද කියල තේරුම්ගන්න උත්සාහ කරන්න. බුදු හාමුදුරුවොත්, ඕෂෝත්, යේසුතුමත්, නබිතුමත් ඇතුලු හැම ආගමික නායකයෙක්ගෙම ගමන් මග වෙනස්. ඒත් වෙනස් මාර්ග වලින් එකම තැනකට යන ගමනක් ඒ. අපිට අප ලෙස හඳුන්වන මේ විශ්මය තේරුම් ගැනීමට දෙන ඉඟි ඒ හැම ආගමකම ගැබ් වෙලා තියනවා. ඉතින් එතකොට කුනා‍ටු අපි ලඟට ආවත් අපි ඒවට සූදානම් බව අපේම හිත අපිට මතක් කර දෙනවා. ඉතින් කුනා‍ටු එයි. මොහොතක් අප වටා කැරකෙයි. යලිත් යන්න යාවි.
මට කලයකට ඉහත ලැබුන සටහනකින් මෙය අවසන් කරන්නම්.
"සතුටින් සිටීමටනම්"
  • අද දවසෙන් පිටට කාන්දු නොවන මැදිරියක වෙසෙන්න.
  • යහපත් ආගම, නින්ද, සංගීතය සහ සිනහව යනු විවේකය හා විනෝදය ලබාදීමේ හොඳම බලවේගයයි
  • ප්‍රශ්නයක් ඇතිවූ විට එයින් විය හැකි නරකදේ කිමෙක්දැයි ඔබගෙන්ම අසන්න
  • බාරගත යුතුම නම් එය බාර ගන්නට සූදානම් වන්න.
  • එයින් ඉක්බිති විය හැකි නරකම දෙය හැකි තාක් හොඳ අතට හරවා ගැනීමට උත්සාහ කරන්න
  • මනස්තාපයක් ඇතිවූ විට, මනස්තාප වන්නේ කුමක් ගැනද?, ඒ ගැන කළ හැකිදේ කුමක්ද? යන ප්‍රශ්න වලට පිලිතුරු ලියා ඒවා විවරණය කරන්න.පසුව හොඳම විසඳුම ක්‍රියාත්මක කරන්න.
  • තීරණයකට බැස ගත් වහා කළයුතු එකම දෙය එය ක්‍රියාවට නැගීමයි.ප්‍රතිපලය ගැන වගකීමත් අවධානයත් මුලුමනින්ම බැහැර කරන්න.
  • ප්‍රියමනාප වැඩක නිරත වන්න.විවේකය කරදරකාරී සිතිවිලිවලට යොදා නොගන්න.

ප්‍රිය සොයුර, කුනා‍ටුවට අපි යන්න ඉඩ දෙමු. අපේ මනසේ කැරලි ගැසීමට එයට ඉඩ දිය යුතු නැත.