-->

Monday, December 26, 2011

"පුතුනි මා"

මගේ රන්කැටි පුතුනි
කෙලෙසකින් කියන්නද
සෙනේහය හද පිරුනු
ගඟුලක්ව ඇද හැලෙයි

මගේ හැම කඳුලක්ම
මුතු කැටව සිනාසෙයි
මගෙන් බිව් කිරි වලට
නුඹේ ණය අහවරයි

තවත් කුමකට ඉතින්
වෙනත් කවි හිත නිවන
මපුත් හැර ලොවේ වෙන
කවක් ලියැවේද මොන

ගන අඳුර මකාලූ
සුපුන් සඳ වූ පුතුනි
මේ කඳුලු නුඹ නමින්
සිනාසෙන කඳුලුමය

මවක හද නැගෙන ඒ
අපිරිමිත සෙනේහය
මහමෙරක්වී නිතින
ඕබ ලඟින් දිලෙනු ඇත

ක‍ටුක දුක් ඉවසමින්
වැලි කතර වුව ඉතින්
ඔබ නොහැර සෙවනැල්ල
විලස ලංවී සිටිම්

6 comments:

  1. කිසිත් පෙරලා අපෙක්ෂා නොකරන මවකගේ උපෙක්ෂා සහගත සෙනෙහසට අපූරු උපහාරයක් !

    ReplyDelete
  2. කියවා රස වින්දා..

    ReplyDelete
  3. අම්මා එහෙමයි ලොව කොතැනත් වෙසෙන
    දරුවන් නමින් හැමදා දුක් කඳුලු බොන
    මහමෙර හිස දරා ලද දුක් සතුටින් විඳින
    අම්මා ඔබ තමයි පුර හඳ ලෙස නැගෙන..

    ඔබේ කවි සිත්තම අපුරු නිසා කවියෙන්ම කිව්වා

    ReplyDelete
  4. අම්මෝ මාර ලස්සනයි. හිතාගන්ටත් බෑ...:D

    ReplyDelete
  5. ගඟුලක්ව ඇද හැලෙන
    සෙනෙහෙ රන් දිය දහර
    මා නිබඳ සනසවන
    සදාදර මවුනි නුඹ

    මහමෙරයි නුඹ මගේ
    මසිත දිරිමත් කරන
    පහන් තරුවයි මගේ
    නොහැර යන මග කියන

    මා වඩා නලවමින්
    පෙවූ කිරි බිඳුවකට
    හෙලූ මුතු කඳුලකට
    ණය කෙලෙස ගෙවම් මම

    මැණික්, ඔයාගෙ කවි පන්තිය නෙළුම් මලක් වගේ ලස්සනම ලස්සනයි. තාත්තා ගැනත් එකක් ලියනවද?

    ReplyDelete
  6. @Rasika Kariyawasam
    ඔව් ඒ එකම ආදරය මව්පිය ආදරය විතරයි

    @Observer
    ස්තුතියි. ඔන්න ඊලඟ එක පියවරුන්ට.

    @දයානන්ද රත්නායක
    ස්තුතියි. ඔබේ කවියක් ලස්සනයි.

    @Podi Kumarihami
    ඔයත් ලියල බලන්නකෝ. මට හිතෙනවා ඔයත් කවි ලිව්වොත් ලියන්න පුලුවන් වෙයි කියල.

    @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
    ඔන්න ඔයාගෙ ඉල්ලීම මම ඉෂ්ට කලා. ඒකනෙ "අම්මාවරුන් පමනද මතු බුදු වෙන්නේ" නේද?. ඔයා ලියල තියන එකත් සමන් මලක් වගේ ලස්සනයි. සමන් මල තමයි මම කැමතිම මල් වර්ගය. ඒ සුවඳ මාව වෙනමම ලෝකෙකට ගෙනියනවා.

    මැණික්

    ReplyDelete