Thursday, July 7, 2011

"ජානගත වානර වත"

එස් එම් බන්දුසීල මහතා විසින් පරිවර්තනය කළ ඩෙස්මන් මොරිස් විසින් රචිත (පළමු මුද්‍රණය 1978) නිරුවත් වානරයා කියවීමි. මොහොතක් කියවූදේ පුනරීක්ෂනයට ලක් කළ විට මට බකස් ගා සිනහ ගියේය. ඒ මන්ද යත් අද වන විට මේ නිරුවත් වානරයාට අයත්ව ඇති සන්තෑසිය සිහිවීමෙනි. එකින් එක ගෙන බලන කල තවමත් මොහුට තම වානර ගති අත් හැර ගත නොහැකිව පඹ ගාලක පටලැවී ඇති අයුරු පෙනේ.
වානර යුගයෙන් දඩයම් යුගයට පිවිස ඊට අනුරූප ලෙස ක්‍රමයෙන් නොගැලපෙන වානර ගති ඉවතලමින් ඉදිරි ගමනක් යෑමට යත්න දැරූවද තවමත් යටි සිතේ සැඟව පවතින වානර ගති වලින් අත්මිදීමට හැකිවී නොමැත. සාමූහික බන්ධන වෙනුවට ස්ත්‍රී පුරුෂ යුගල බන්ධනද, එක් නායකයෙකු විසින් මුදා හරින ප්‍රබල බලයට යටත්ව පෑගී සිටිනු වෙනුවට සහයෝගිතාවද , සමානාත්මතාවයද වර්ධනය කිරීමට යත්න දැරුවද තවමත් මේ නිරුවත් වානරයා කාලානුරූපව හැඩ ගැසී නැත. ආගම, සංස්කෘතිය මෙන්ම නීති පද්ධතීන් මේ සඳහා පිහි‍ටුවා ගත්තද ඔහුටද නොදැනීම වරින් වර විසුළු ආකාරයෙන් සමාජය තිගැස්මට ලක් කරවමින් මේ ජාන ගත වානර ගති ඉස්මතුව එයි. සමාජයෙන් සමාජයට වානර ගති ලක්ෂණ හුවා දැක්වීමේ වෙනස්කම්  දැකිය හැකි අතර මෙම ලක්ෂණ අඩු යැයි හැ‍ඟෙන සමාජයන්හි මිනිස් නිදහස පිළිබඳ වැඩි ප්‍රවණතාවක් ඇති බව පෙනේ. අනෙක් අතට එවන් සමාජ තමන් කලින් කලට සමාජයේම යහපත උදෙසා දමා ගන්නා තහංචි වෙනස් වන ජීවන රටාවන්ට අනුකූලව පැකිලීමකින් තොරව අදාළ ආකාරයෙන් වෙනස් කම් කරන බැවින් නොනැවත ගලන පරිනාමයට ඔරොත්තු දීමේ හැකියාවක් ඒ සමාජ ලබා ඇති යැයි හැඟේ. ඔවුන්ගේ සමාජ ගත දියුණුවට හේතුවද මෙම වෙනසට අදාළ සීඝ්‍ර වෙනස් කම් සිදු කර ගැනීමේ හැකියාව විය හැක.
නිදසුනක් ලෙස යුගල බන්ධන ඇතිවූ මුල් කාලයේ ඇතිවූ පවුල් ඒකක වලට වඩා බොහෝ සෙයින් වෙනස් ඒකක අද දක්නට ඇත. දඩයම් කිරීම වෙනුවට මුලින් පිරිමින් පමණක් වැඩ බිමට යාම සිදු වුවද අද තත්වය ඊට හාත් පසින් වෙනස්ය. මෙම වෙනසට අනුකූල ලෙස හැඩ ගැසීම සඳහා මුලින් ඇති කළ ආකාරයේ පවුල් ඒකක වලට දැඩි පීඩනයක් ඇතිව ඇති බව පෙනෙන්නට තිබේ. ඇතිව ඇති නව වෙනස යුගල බන්ධන පමණක් නොව පවුල් ඒකකද දෙදරවීමට යම්තාක් දුරකට හේතුව තිබේ. මෙම ඒකකයන්හි කාලානුරූප වෙනසක් කරනු වෙනුවට මුල් පැවැත්ම සුරකිනු පිණිස  ආගම සහ සංස්කෘතිය මඟින් ඇති කළ නීති පීඩනයකින් යුතුව මුදා හැර ඇත. එහෙත් යටපත් කර ගෙන සිටින ජාන ගති ලක්ෂන ඉස්මතුව මෙම ඒකකයන් වෙව්ලුම් කවමින් වානර වත එළි දැක්වේ.
අපේ සමහර නායකයන්ගේ විසුළු පිලිවෙත්ද මීට අනුගාමීය. ගෝත්‍රික නායකයා වෙනුවට පසු කාලීනව කණ්ඩායම සමඟ සහයෝගයෙන් සහ සමානාත්මතාවයෙන් වැඩ කරන මඟ පෙන්වන්නෙකු බලාපොරොත්තු වුවද තවමත් සමාජ පරිනාමනයට අනුරූපවූ නායකත්ව ලක්ෂණ දක්නට නොමැත. පෙන්වන්නේ වානර ගතිමය, ගෝත්‍රික ලක්ෂනමය. ආගමෙන්, සංස්කෘතියෙන් හෝ නීතියෙන් මේ නිරුවත් වානරයා සතු ජාන ගත ලක්ෂණ යටපත්  කර ගත නොහැකිව ඇති බව පෙනෙන විට අප හැඬිය යුතුද  නැතිනම් සිනා සිය යුතුදැයි මට නොතේරේ.

Saturday, June 25, 2011

"යසෝදරාවක සොයමි"

යසෝදරා ගැන නැවත සිහියට ආවෙ සෝමවීර සේනානායක මහත්මයා ලියූ "අඳුරට පහනක්"  පොත කියවමින් යන විට. එහි මුල් පරිච්ඡේදයේ මෙසේ සඳහන් වෙයි.
"සියලු තරුණයන් දැන හෝ නොදැන පතනුයේ යසෝදරාවක යැයි සමාධි සිතයි. අයෙක් යසෝදරාවන් ගැන දනිති. අයෙක් ඇය නොදනිති. නොදන්නේ වී නමුත් යසෝදරාවක්ම පතති. ඇය පිරිමියෙකු විසින් ප්‍රාර්ථනා කළ යුතු ළඳක බැවිනි. යසෝදරා කෙබඳු නම් තැනැත්තියකද? සමාධීට සිදුහත් කුමරුන්ගේ ප්‍රකාශයක් සිහි වෙයි.
"මා පුත, දැන් විවාහයට කාලය එළැඹ ඇතැ"යි සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරුන්ට දන්වයි. සිදුහත් කුමරු තමා පතන කුමරිය මෙබඳු ගති සොබා ඇත්තියක විය යුතු යයි කියයි.
"මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් ගුණ ඇත්තියක විය යුතුය. ඕ රූප මානයෙන් මත් නොවිය යුතු.  මවක හෝ සොහොයුරියක හෝ  මෙන් හිතැත්තියක විය යුතු. මහණ බමුණන්ට දන් දීමෙහි ඇළුනියක විය යුතු. මානය, කිපෙන ගතිය, ගඨ බව, ඊර්ෂ්‍යාව, වංක බව යන දුර්ගුණ නැති ස්වාමි භක්තිය ඇති, උඩඟු නොවූ, හැඩි දැඩි නොවූ, රසයෙහි ගිජු නොවූ, ගැයුම් වැයුම් ආදී වශයෙන් පැවැත්වෙන ගාල ගෝට්ටි කෙරෙහි ඇලුම් නැති, සුවඳ විලවුන් දැරීමෙහි ආශා නැති, ලොහොබි නොවූ, අන් සතු දැය දැක ආශා නොකරන, සත්‍යවාදී වූ, සැපතෙහි දී ආඩම්බර නොවන, විපතෙහිදී නොතැවෙන, ඒ හැම තැනකදී මධ්‍යස්ථව සිටින, ලැජ්ජා බය ඇති, දෘෂ්ටි මංගලයෙහි, ශ්‍රැත මංගලයෙහි නො ඇලුණු, ගුණ දහමින් යුත්, හැම කල්හි හිත කය වචනය යන තුන් දොරම පිරිසිදු ලෙස ‍රැක ගන්නා, අලස බවින්, වංශ මානයෙන් මත් නොවූ, විමසා කටයුතු කරන, ධර්මචාරී වූ, නැඳි මයිලන් කෙරෙහි ගුරුනට සේ ආදර ගෞරව ඇති, දාසියක සේ යටහත්, මවක සේ කාරුණික එකියක විය යුතු. මෙබඳු ගුණ ඇති කුමරියක ලදොත් පිළිගනිමි."
සිදුහත් කුමරුන් බිරිඳක තුළ සෙවූ ගති ගුණ යසෝදරාවන්ට තිබිණ. විවාහය සිද්ධ විය. සියලු පිරිමින්ට යසෝදරාවන් ලද හැකිද? ලද නොහේ. යසෝදරාවන් සුවිශේෂයි. මෙවන් ළඳුන් ලොව තවත් සිටිය නොහේ. එහෙයින් එම ගුණ සමුදායෙන් අල්පයක් හෝ ඇති ළඳක ලදොත් විවාහ වෙමියි සමාධී සිතයි"

ඉතින් යසෝදරාගේ ගුණ සමුදායෙන් අල්පයක් හෝ ඇති ළඳුනට සිදුහත් කුමරුන්ගේ ගුණ සමුදායෙන් අල්පයක් හෝ ඇති පිරිමින්ම ලැබේවායි මම පතමි. එවැන්නන් වෙනුවෙන් හැම යසෝදරාවකම මෙසේ ගයනු ඇත.
කැලේ තියෙන කොයි දේවත් රස     වේවා
මලේ බමරු මෙන් පිරිවර ඇති          වේවා
අව්වේ තියෙන ‍රැස් මාලා අඩු            වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග             සෑදේවා

Friday, June 24, 2011

"නායකයෙක් වෙන්නේ කොහොමද?"

බබාට මේ දවස් වල ටීචර් රචනාවක් ලියන්න කියලා. මාතෘකාව තමයි ඔය උඩින් ලියල තියෙන්නේ. "නායකයෙක් වෙන්නේ කොහොමද?". බබා බත් කන ගමන් TV බල බලා රචනාව ලියන හැටි හිතුවා. ළමයි නරක් වෙනව කියල අම්මයි අප්පච්චියි බබාට බලන්න දෙන්නේ TV එකේ කා‍ටුන් සහ News විතරමයි. දැන් මේ බලා ඉන්නෙ නම් TV News. හැමදාම TV News බලන බබාට රටේ නායකයො ගොඩක් දෙනෙක් දකින්න ලැබෙනවා. ඔන්න බබා රචනාව ලියන්න ඉඳගත්තා.
1. නායකයෙක් වෙන්න නම් හමුදා පුහුණුවට යන්න ඕනෙ.
ඔන්න මේ දවස් වල දකින්න තියන එක මුලින්ම ලිව්වා.
2. නායකයෙක් වෙන්න නම් හයියෙන් කෑගහල උඩ පැනල කතා කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
ඒකත් හරි. නායකයො කියන වැඩි දෙනෙක් කතා කරන්නෙ එහෙමනෙ.
3. නායකයෙක් වෙන්න නම් මල් වට්ටි අරන් නිතරම පන්සල් යන්න ඕනෙ.
අප්පච්චි නම් "ආගමට මුවා වෙලා මුන් අපේ ඇස් වහන්න හදනවා" කියල හැමදාම බැන්නත් බබා ඉතින් ලියන්නෙ බබාට පෙනෙන දේනෙ. තව ඩිංගෙන් බබාට හොඳම කෑල්ල අමතක වෙනවා. ඒක දැක්කෙ ගොඩක් ඉස්සර වුනත් බබා ඒ නායකයට හරි කැමතියි.
4. නායකයෙක් නම් බෝඩ් අරන් කෑගහගෙන ගිහින් උපවාස කරන්න ඕනෙ. තව කෙනෙක් ඇවිත් වතුර පොවන කම් නැගිටින්නත් බෑ.
5. නායකයෙක් නම් චංඩියෙක් වෙන්න ඕනෙ.
බබාට මතකයි අර ගස් බැන්ද කතාව එහෙම. ම්... තව මොනවද කියල හිතල ලියාගෙන යනකොට ඔන්න අම්ම ඇවිත් පොතට එබුනා.
"අනේ දෙයියනේ මෙන්න ඇවිත් බලන්නකෝ මේ ළමය ලියල තියන රචනාව"
කියල අම්මා කෑගහල අප්පච්චිට කතා කළා.
"හ්ම්.. ඔය කෙරිල තියෙන්නේ. මීට පස්සේ TV News තහනම්. මෙහෙම ගියොත් මේ ළමයා මොනව ඉගෙන ගනීද දන්නෙ නැහැ?. ඔය ඉගෙන ගන්න දේවල් නම් ඉතින් හමුදා පුහුණුවට යවල වත් මකන්න නම් බැරිවෙයි'
බබාට හොඳටම දුක හිතුනා. අඬන්න ඔන්න මෙන්න කියල හිටිය බබාට අම්මා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් අච්චු ගහලා බෙදා හැරිය කොලයක් ගෙනත් දුන්නා. ඒකෙ තිබුනෙ මෙහෙම.
"ලොක්කා තම පිරිස් දක්කනවා
නායකයා තම පිරිස් දිරිගන්වනවා

ලොක්කා බලය පතුරනවා
නායකයා හොඳ හිත පතුරනවා

ලොක්කා බය ඇති කරවනවා
නායකයා දයාව විහිදවනවා

ලොක්කාගේ කතාව නිතරම "මම" ගැන
නායකයාගේ කතාව නිතරම "අපි" ගැන

ලොක්කා සොයන්නේ වැරදිකරු කවුද කියායි
නායකයා සොයන්නේ වරද කොතැනද කියායි

ලොක්කා කාර්යය කළයුතු අන්දම හොඳින් දන්නවා
නායකයා කාර්යය කළයුතු අන්දම හොඳින් දක්වනවා

ලොක්කා තම පිරිස් ගැරහුමට ලක් කරනවා
නායකයා තම පිරිස් නිසි ලෙස කාර්යයෙහි යොදවනවා

ලොක්කා ගෞරවය බලෙන් ලබා ගන්නවා
නායකයා ගෞරවය ඉබේම ලබා ගන්නවා

ලොක්කා රාජකාරිය හිසරදයක් කරනවා
නායකයා රාජකාරිය ආස්වාදයක් කරනවා."

බබාට දැන් TV News තහනම්. අම්මා දුන්න කොලේ තියන දේවල් එහෙමම ලියන්න බබාට හිතෙන්නෙ නැහැ. බබා කැමති බබා දකින බබාට පෙනෙන දේ ලියන්න. පුලුවන් නම් මේක කියවන අක්කලා, අයියලා, මාමලා නැන්දලා බබාට ටිකක් උදව් කරන්න එයාගෙ රචනාව ලියා ගන්න.

Tuesday, June 21, 2011

"වරා මලක්"

උඩු සුළඟට පාවෙලා යන වරා මල් දැකල තියනවද? යන එන තැනක් නොදැන ඔහෙ පාවෙන වරා මල් දිහා ඉතින් කවුරු බලනවද? කිසිම ලස්සනක් පාටක් නැති කාටවත් දැනෙන සුවඳක් නැති වරා මල් ඉතින් ඔහේ පාවෙනවා. ඒත් නිදහස... ඔව් නිදහස නම් මේ වරා මලට අපූරුවට තියනවා. කොහේද නොදන්න ගහක පිපුනත් සුළඟත් එක්ක යාළු වෙලා ඈතට ඈතට පියාඹන්න ගත්ත දවසේ ඉඳලම වරා මලත් ඉතින් නිදහසේ පාවෙනවා. පොළොවට උඩින්  අහස අල්ලන් පාවෙන නිසා කොයිතරම් දේ බලන්න තියනවද? අතරමග මොහොතකට  නැවැතිලා කාත් එක්ක හරි පුංචි කතාවක පැටලිලා ආයෙමත් පාවෙන්න ලැබෙනවනම් හැම මලක්ම කැමති වෙයි. නෑ නෑ සමහර මල් කැමති පිපුන තැනම පරවෙන්න. කැමති වුනත් ඉතින් හැම මලටම වරා මලක් වෙන්නත් බෑ නේ.
වනන්තරයක් උඩින් පාවෙලා පාවෙලා යනකොට දවසක් වරා මලට තාපසයෙක් මුන ගැහුනා. තාපසයා ඇස් පියාගෙන භාවනාවක. 
"පින් පව් කියන්නේ මොකද්ද ?" 
වරා මලට තිබුන ප්‍රශ්නය අහන්න තාපසයා හැර වෙන කෙනෙක් කොහෙන් හොයන්නද? තාපසයා මොකද්දෝ උත්තරයක් දුන්නා. පැහැදිලි මදිනේ. අනේ මන්දා එයා පින් කියන ඒවම පව් වෙන්නත් බැරිද? කවුද මේවා මේ විදියට වෙන් කළේ.
"ඇයි ලෝකේ හැමදේම දෙක දෙක තියෙන්නේ?"
"එහෙම තමයි ලෝකේ හැදිලා තියෙන්නේ."
"කවුද එහෙම හැදුවේ? පින්-පව්, දුක සැප, හොඳ-නරක, ස්ත්‍රී-පුරුෂ, කළු-සුදු, මගෙ දෙයියනේ තව කොච්චර නම් තියනවද? කොහොමද මෙහෙම දෙකක් වෙන්නේ. ඒ හැම එකක්ම එකක් වෙන්න බැරිද?"
තාපසයා බයයි ඇස් අරින්න. කතා කරන්නෙ නාරිලතා මලක්ද කියල සැක ඇති. නාරිලතා මලක් නම් ඉතින් සිල් බි‍ඳෙන්න පුලුවන්නේ. ඒත් තාපසයගෙ හිතේ නාරිලතා මල මැවිල ඇති. අපරාදේ .... ඇස් ඇරල බැලුව නම් ඉවරයිනේ. මම ඉතින් වරා මලක්. සිල් බි‍ඳෙන්න විදියක් නෑ. ලස්සන නැති, පාටක් නැති, සුවඳක් නැති, මං දිහා බලල ඉතින් තවත් හොඳට අනිත්‍ය මෙනෙහි කරන්න තිබුනනේ කියල වරා මලට හිතුනා.
"ඔව් ... හැම කෙනෙක්ම ලෝකය දකින්නෙ ද්විත්ව ස්වභාවයෙන්. මම උත්සාහ කරන්නෙ ඒ ද්විත්ව ස්වභාවය ඉක්මවා යන්න. සැප කියන්නෙත් දුකටම තමයි. සැප ඇතුලේ දුක වගේම දුක ඇතුලේ සැපත් තියනවා. ඔය අනිත් කොයිවත් එහෙම තමයි. "
"කොයිවත් එහෙමයි?. ඒ කියන්නෙ ස්ත්‍රී කියන්නෙත් පුරුෂ, පුරුෂ කියන්නෙත් ස්ත්‍රීද? එහෙම වෙන්න බෑ නේ"
"ස්ත්‍රී, පුරුෂ කියල අපි හඳුන්වන්නෙ ශරීර වලට. ඒත් ඒ ශරීර ඉක්මවා ගියාම ස්ත්‍රී පුරුෂ කියල දෙකක් නෑ. ඒක පෙනෙන්නෙ තුන්වන ඇසින් දකින අයට"
"එතකොට ඇස් අයිතිත් ශරීරෙටම නේද? තාපසතුමනි.., ශරීරය ඉක්මවා ගොස් මං දිහා බලන්න. මම නාරිලතා මලක් වෙන්නෙ ඔබ ඔහොම ඇස් පියාගෙන හිටියොත් විතරයි."
තාපසයා ඇස් ඇරියා. වරා මල පාවෙලා පාවෙලා ඈතට ගියා. වරා මලක් වුනත් තාපසයන්ගෙ සිල් බිඳින්නෙ මොකටද?

Sunday, June 19, 2011

"පරම නිවහන වෙතට"

මම මගේ නිවහනෙන්
පිටව ගොස් බොහෝ කල්
මග හසර නොම දැනම
අයාලේ පාවෙමින්
අතරමග නැවතුනෙමි
නාඳුනන මට නුහුරු
නවාතැන් පොළවල්හි

උරුම මනු සතුන් හට
නේක ව්‍යුහයන් තුල
ගැලී පැටලී නිතින
සෙවූයෙම් වෙද සතුට
ශෝක පරිදේව මිස
කිසිත් නැත උරුම උන
හති වැටී යලි යලිත්
අතරමං වුනා මිස

ඇතුලාන්තය නගන
හඬ ඇසෙයි පැහැදිලිව
හැරෙන්නට කාලයයි
නැවත නිවහන වෙතට
මම ඔබද
ඔබ මමද
කිසිත් වෙනසක් නොමැති
නිහඩතාවය පිරුනු
මගේ නිවහන වෙතට

Tuesday, June 14, 2011

කාන්තාරයේ කුසුම

වාරිස් ඩයිරි නම් ජගත් නිරූපිකාව විසින් රචිත Desert Flower නම් කෘතියේ සිංහල පරිවර්තනය (පරිවර්තක රංජිත් කුරුප්පු) වන කාන්තාරයේ කුසුම කියවූයෙමි. එසැනින් මා සිතූයේ අප්‍රිකානු ගෝත්‍රික සමාජයක නොඉපදේවා යන්නයි. සෝමාලියාවේ එඩේර පවුලක උපත ලද වාරිස් ඩයිරි අනේක විධ දුක ගැහැට විඳ ඒ සියල්ල අභිබවා යමින් ලෝ පතළ නිරූපිකාවක් වූ අයුරු මෙම කෘතියේ විස්තර කරන්නීය. අද ඇය නිව්යෝක් නුවර ජීවත් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියකද වේ.
රටින් රට තැනින් තැන ඇති විවිධ සංස්කෘතීන් ලෝකයට සුන්දරත්වයක් එක් කළද සංස්කෘතියට අයත් යැයි හඳුන්වන සමහර චාරිත්‍ර කෙතරම් ම්ලේච්ඡ දැයි කෙනෙකුට අදහා ගන්නට පවා අසීරුය. ස්වභාවධර්මයේ නිර්මාණ මනුෂ්‍යත්වයට අනුචිත අයුරින් තිරශ්චීන ලෙස සංස්කෘතිය යන ලේබලය යටතේ වෙනස් කෙරෙන්නේ නම් ඊට එරෙහිව නැගී සිටිය යුතු නොවේද?
දිළිඳු කම සමග අනවරත අරගලයක යෙදෙන අතර තුර ස්ත්‍රියක් වීම හේතුවෙන්ම තමාට ලක්වන්නට සිදුවූ අනේක විධ ලිංගික හිංසන වාරිස් ඩයිරී මෙම චරිතාපදානයේ විස්තර කරන්නීය. ඉන් වඩාත් සිත කම්පා කරවන සිදුවීම වන්නේ ස්ත්‍රී චර්මඡේදනය පිළිබඳව ඇය කරන විස්තරයයි. ස්ත්‍රී යෝනියේ ඇති භගශිශ්නිකාව සහ යෝනි තොල් සුන්නත් නොකල සෑම යුවතියක්ම අපිරිසිදු අධම ස්ත්‍රියක් ලෙස අප්‍රිකානු සමාජයේ සැලකෙන බැවින් එවන් ස්ත්‍රියක් විවාහ කර ගැනීමට කිසිම පිරිමියෙක් ඉදිරි පත් නොවේ. මෙම චර්මඡේදනය සිදු කරන්නේද අපිරිසිදු තත්ව යටතේ අහිකුණ්ඨක ගැහැණුන් විසින් බැවින් බොහෝ යුවතියන් විශබීජ සිරුරට ඇතුලුව මරණයට පත්වේ. මෙම වනචාරි ක්‍රියාවේදී ස්ත්‍රී යෝනියේ ඇති භගශිශ්නිකාව සහ යෝනි තොල් කපා දමා එම අවයව කපා දැමූ ස්ථාන මසා දමයි. මින් පසු එය සිදුකළ ස්ත්‍රියට කිසිදා ලිංගික තෘප්තියක් ලබා ගත නොහැකි වන අතර ඇය විවාහ කර ගන්නා අයෙකුට නිසැකයෙන්ම කන්‍යාවියක ලබා ගැනීම සහතික කෙරේ. මෙම සිදුවීම ඇයගේම වචන වලින් මෙසේය.
"මම හිස හරවා ගල් පොත්ත දෙස බැලුවෙමි. සතෙකුගේ ගෙල කපා මරා දැමූ කලක මෙන් ගල් පොත්ත මත ලේ විසිරී තිබුන අතර, මගේ යෝනියේ කොටස්, මගේ ස්ත්‍රී භාවය පමණක් නොව මගේ මුළු ආත්මයම තද හිරු රශ්මියෙන් ගල් පොත්ත මත වියලී යමින් තිබෙනු මම දු‍ටුවෙමි"
තමන් ලද කුරිරු අත්දැකීම් නිර්ව්‍යාජව ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙවන් ම්ලේච්ඡ ක්‍රියා වලට එරෙහිව වාරිස් ඩයිරීට ලෝක ජනමතයක් ගොඩ නැගීමට හැකිවූ අතර දැන් ඇය කාන්තා ජනනේන්ද්‍ර කොටස් සුන්නත් කිරීම තුරන් කරලීම සඳහා ක්‍රියාකාරී වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂ තානාපති වරියක ලෙස කටයුතු කරයි. මිල රුපියල් 375 වන මෙම සිංහල පරිවර්තනය මේ වන විට සත්වන මුද්‍රණයද නිකුත් කොට ඇති අතර වාරිස් ඩයිරීගේ මුල් කෘතිය 1999 වසරේ ලොව වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර් ජාතික කීර්තියට පත්විය. කියවන්න ඔබත් නොවැරදීම වාරිස් ඩයිරීගේ ජීවිත කතාව.