-->

Thursday, July 7, 2011

"ජානගත වානර වත"

එස් එම් බන්දුසීල මහතා විසින් පරිවර්තනය කළ ඩෙස්මන් මොරිස් විසින් රචිත (පළමු මුද්‍රණය 1978) නිරුවත් වානරයා කියවීමි. මොහොතක් කියවූදේ පුනරීක්ෂනයට ලක් කළ විට මට බකස් ගා සිනහ ගියේය. ඒ මන්ද යත් අද වන විට මේ නිරුවත් වානරයාට අයත්ව ඇති සන්තෑසිය සිහිවීමෙනි. එකින් එක ගෙන බලන කල තවමත් මොහුට තම වානර ගති අත් හැර ගත නොහැකිව පඹ ගාලක පටලැවී ඇති අයුරු පෙනේ.
වානර යුගයෙන් දඩයම් යුගයට පිවිස ඊට අනුරූප ලෙස ක්‍රමයෙන් නොගැලපෙන වානර ගති ඉවතලමින් ඉදිරි ගමනක් යෑමට යත්න දැරූවද තවමත් යටි සිතේ සැඟව පවතින වානර ගති වලින් අත්මිදීමට හැකිවී නොමැත. සාමූහික බන්ධන වෙනුවට ස්ත්‍රී පුරුෂ යුගල බන්ධනද, එක් නායකයෙකු විසින් මුදා හරින ප්‍රබල බලයට යටත්ව පෑගී සිටිනු වෙනුවට සහයෝගිතාවද , සමානාත්මතාවයද වර්ධනය කිරීමට යත්න දැරුවද තවමත් මේ නිරුවත් වානරයා කාලානුරූපව හැඩ ගැසී නැත. ආගම, සංස්කෘතිය මෙන්ම නීති පද්ධතීන් මේ සඳහා පිහි‍ටුවා ගත්තද ඔහුටද නොදැනීම වරින් වර විසුළු ආකාරයෙන් සමාජය තිගැස්මට ලක් කරවමින් මේ ජාන ගත වානර ගති ඉස්මතුව එයි. සමාජයෙන් සමාජයට වානර ගති ලක්ෂණ හුවා දැක්වීමේ වෙනස්කම්  දැකිය හැකි අතර මෙම ලක්ෂණ අඩු යැයි හැ‍ඟෙන සමාජයන්හි මිනිස් නිදහස පිළිබඳ වැඩි ප්‍රවණතාවක් ඇති බව පෙනේ. අනෙක් අතට එවන් සමාජ තමන් කලින් කලට සමාජයේම යහපත උදෙසා දමා ගන්නා තහංචි වෙනස් වන ජීවන රටාවන්ට අනුකූලව පැකිලීමකින් තොරව අදාළ ආකාරයෙන් වෙනස් කම් කරන බැවින් නොනැවත ගලන පරිනාමයට ඔරොත්තු දීමේ හැකියාවක් ඒ සමාජ ලබා ඇති යැයි හැඟේ. ඔවුන්ගේ සමාජ ගත දියුණුවට හේතුවද මෙම වෙනසට අදාළ සීඝ්‍ර වෙනස් කම් සිදු කර ගැනීමේ හැකියාව විය හැක.
නිදසුනක් ලෙස යුගල බන්ධන ඇතිවූ මුල් කාලයේ ඇතිවූ පවුල් ඒකක වලට වඩා බොහෝ සෙයින් වෙනස් ඒකක අද දක්නට ඇත. දඩයම් කිරීම වෙනුවට මුලින් පිරිමින් පමණක් වැඩ බිමට යාම සිදු වුවද අද තත්වය ඊට හාත් පසින් වෙනස්ය. මෙම වෙනසට අනුකූල ලෙස හැඩ ගැසීම සඳහා මුලින් ඇති කළ ආකාරයේ පවුල් ඒකක වලට දැඩි පීඩනයක් ඇතිව ඇති බව පෙනෙන්නට තිබේ. ඇතිව ඇති නව වෙනස යුගල බන්ධන පමණක් නොව පවුල් ඒකකද දෙදරවීමට යම්තාක් දුරකට හේතුව තිබේ. මෙම ඒකකයන්හි කාලානුරූප වෙනසක් කරනු වෙනුවට මුල් පැවැත්ම සුරකිනු පිණිස  ආගම සහ සංස්කෘතිය මඟින් ඇති කළ නීති පීඩනයකින් යුතුව මුදා හැර ඇත. එහෙත් යටපත් කර ගෙන සිටින ජාන ගති ලක්ෂන ඉස්මතුව මෙම ඒකකයන් වෙව්ලුම් කවමින් වානර වත එළි දැක්වේ.
අපේ සමහර නායකයන්ගේ විසුළු පිලිවෙත්ද මීට අනුගාමීය. ගෝත්‍රික නායකයා වෙනුවට පසු කාලීනව කණ්ඩායම සමඟ සහයෝගයෙන් සහ සමානාත්මතාවයෙන් වැඩ කරන මඟ පෙන්වන්නෙකු බලාපොරොත්තු වුවද තවමත් සමාජ පරිනාමනයට අනුරූපවූ නායකත්ව ලක්ෂණ දක්නට නොමැත. පෙන්වන්නේ වානර ගතිමය, ගෝත්‍රික ලක්ෂනමය. ආගමෙන්, සංස්කෘතියෙන් හෝ නීතියෙන් මේ නිරුවත් වානරයා සතු ජාන ගත ලක්ෂණ යටපත්  කර ගත නොහැකිව ඇති බව පෙනෙන විට අප හැඬිය යුතුද  නැතිනම් සිනා සිය යුතුදැයි මට නොතේරේ.

8 comments:

  1. ආගම, සංස්කෘතිය, මෙන්ම නීතියත් අනවශ්‍ය විදියට බලවත් වෙලා තියෙන්නෙ සුඵ කොටසක් විසින් බහුතරය සූරාකන සමාජයකය. අදායම් බෙදීයාමේ විෂමතාවයන් ඉතාම සීමිත ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ආගමික, සංස්කෘතික හෝ නීතිමය බලපෑම් වලට ඇති බලය නිරායාසයෙන්ම අවම වේ.
    ඉතින් ආගමට, සංස්කෘතියට වගකීම පැවරීම අතසෝදා ගැනීමක් මිස වානර ලක්ෂණ වලින් මිනිස්කම නිදහස් කිරීම වෙනුවෙන් කිසිවක් සිදු නොකරයි.

    ReplyDelete
  2. කොයි තරම් නීති දාගෙන ඒව රැකගෙන ඉන්නව වගේ පේන්න හිටියත් ඇත්තටම එහෙම ඉන්න බෑ... කොහොමත් සත්ත්ව පරම්පරා ගණනාවකින් උරුම වුණ දේවල්වලින් කවදාවත් ගැලවෙන්න පුළුවන් වෙන එකක් නැති වෙයි. එහෙම නැත්තං ඒකට අවුරුදු මිලියන ගානක් යන්නත් පුළුවන්... මොකද මේ නීති වලින් හදල තියෙන සිස්ටම් එක හැමෝටම සාධාරණ නැති නිසා ඒකෙන් අසාධාරණයක් වෙන තැන් වලින් සත්තු මතු වෙනවා...

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත. මාත් ටික කාලෙක ඉස්සර ඔය පොත කියෙව්වා. ඔයා මතක් කලාම ආයේ කියවන්න හිතුනා

    ReplyDelete
  4. හොඳ සටහනක් මැණීක්...

    ReplyDelete
  5. වනර ගති පමණක් ඉතිරිවී ඇත්නම සිනාසී අමතක කල හැකිය.. එහෙත් වැඩිපුරම ඉතිරිවී ඇත්තේ දඩයම් යුගයේ ගතිගුණය.. වනචාරී ගති ගුණය. වඳුරටවත් නැති ජුගුප්සාජනක පැවතුම්ය..

    ReplyDelete
  6. දිලීප ජයකොඩි සිංහලට පරිවර්තනය කල දෙස්මොන්ඩ් මොරිස් ගේ නිරුවත් ගැහැණිය පොතත් කියවල බලන්න.

    ReplyDelete
  7. @``` Outsider``` : එකඟයි.
    @hare : ශරීරයට අන්‍යය වීම ඉතින් කොහොමත් නවත්තන්න අමාරුයි.
    @ayesha, Charmi : ස්තුතියි ayesha, Charmi
    @සරත් ලංකාප්‍රිය: මොනව කරන්නද ලෝකයේ පැවැත්ම එහෙමයි.
    @Anonymous: ස්තුතියි . හොයාගෙන කියවල බලන්නම් ඒ පොතත්. ඒත් නිරුවත් වානරයා පොතේ සඳහන් කරුනු ගැහැණියටත් සාධාරණයි.
    මැණික්

    ReplyDelete
  8. Menik-P
    ලින්ක් එකක් දානකොට HTML a ටැග් පාවිච්චි කරන්න. එතකොටයි ඒක කෙලින්ම වැඩ කරන්නේ.

    මෙන්න මෙහෙම:

    ඔබේ මේ ලිපියට සබැඳියක් ඔබ දාන්නට හැදූ මගේ ඩෙස්මන්ඩ් මොරිස් ගේ නිරුවත් වානරයා පොත ගැන කතන්දරය මෙන්න.

    ReplyDelete