Saturday, March 12, 2011

"ජංගම විහිළු 2"

ඊයෙ කතාව වැඩි දෙනෙක් කියවල බව තේරුන නිසා අදත් ඔන්න ඒ වගේම කතාවක්. අපේ ගම් පලාතේ ඉන්න සුනිල් පොල්ගස් කීපයක් තියන හැම දෙනාටම නැතිවම බැරි කෙනෙක්. මේ දවස් වල ගස් නගින්න පුළුවන් අය සීමිතයිනේ. ඉතින් සුනිල් තමයි මේ රාජකාරිය කාලයක් තිස්සේ නොකඩවා කරන්නේ. සුනිල් හොඳට දන්නවා ගමේ තියන පොල් ගස් වල ගෙඩි කඩන්න ඕනෙ කාලේ. කල් යල් බලල ඇවිත් සුනිල් අයිතිකාරයන්ට මතක් කරනවා පොල් පැහිල බව. ඉතින් අයිතිකාරයා එදාට පොල් කඩන්න කැමති නම් සුනිල් තමන්ගෙ කුලිය අරන් ගෙඩි ටික කඩල දීල යනවා. කුලිය කියන්නේ එක ගහකට මෙච්චරයි කියලයි. පොල් ගනන් යන්න පටන් ගත්තට පස්සේ කුලියත් බලා ඉද්දි නගින්න ගත්තා. කුලියෙ නැගිල්ල කොහොමද කියනව නම් දැන් නම් අයිතිකාරයො වැඩි දෙනෙක් පොල් ඉබේ වැටෙනකම් බලා ඉන්නවා.
දැන් අවුරුදු දෙක තුනකට කලින් ජංගම දුරකතන බෝවී ගෙන යන කාලෙ අපේ සුනිල් අතටත් කොහෙන් හරි ජංගමයක් ලැබිල තිබුනා. මුල් දවස් වල පොල් කඩන්න යන හැම ගෙදරකින්ම පොල් කඩන්න කලින් ගෙදර නොම්මරේ ඉල්ලගන්නවා. මොකටද නොම්මරේ කියල ඇහුවම කියන්නේ,
"හදිස්සියකට කතා කරන්න මහත්තයො"
කියල. හදිස්සිය තේරෙන්නේ ගහට නැග්ගට පස්සේ. ගහ උඩ ඉදන් මිනිහ ගෙදර නොම්මරේට කතා කරනවා. මහත්තයා පොල් ගහ ගාවා ඉඳල ටෙලිපෝන් එක ලඟට දුවනවා.
"මහත්තයා, පොල් එක වල්ලයි තියෙන්නේ. ගෙඩි දෙක තුනක් පැහිල මදි වගේ. එකක් කඩන්නම්. පැහිල ඇතිනම් කතා කරල කියන්න"
"වෙනදත් පොල් කැඩුවෙ ගහ උඩට ගිහින් මගෙන් අහලද. කඩපන් මනුස්සයෝ"
මහත්තයට කේන්ති ගිහින් කෑ ගහනවා. ඔන්න ඒ ගහේ කඩල අනිත් ගහට නගිනවා. ආයෙමත් කලින් වගේමයි. ඉතින් පොල්ගස් දහයක් දොළහක් තිබුනොත් දුරකතනයට උත්තර බැඳලම ගෙදර අය හති වැටෙනවා. ඒත් මේක මේ මනුස්සයට ගානක් නැහැ.  කොහොම කොහොම හරි ගමේ මිනිස්සුන්ට මේ වැඩේ නිසා පොල් කැඩිල්ලත් එපා වුනා. පැහෙන පොල් ටික නොකඩත් බැරි නිසා අන්තිමට ඉතින් සුනිල්ගෙ ජංගම දුරකතන භාවිතය නවත්තගන්න හොඳ උපක්‍රමයක් ගමේ අය හොයා ගත්තා. මේකයි උපක්‍රමය. පොල් කඩන්න එනකොටම සුනිල්ට කියනවා ගහ උඩ ඉඳල ටෙලිපෝන් කළොත් ගහකට දෙන කුලියෙන් රුපියල් දහයක් අඩු කරනවා කියල. යන්තම් ඒ වැඩෙන් කොහොම හරි සුනිල්ගෙ ජංගම පිස්සුව නැතිවෙලා වෙනදා වගේ තමන්ගෙ රාජකාරිය කරන්න පටන් ගත්තා.

Friday, March 11, 2011

"ජංගම විහිළු 1"

මේ කියන්නෙ යන්නෙ ජංගමය නිසා වුන පටලැවිල්ලක් ගැනයි. එළුගාලක්, කුකුල් කො‍ටුවක් එහෙම තියෙන අවුරුදු 70ක් විතර වයස සින්නයියට ඉන්නවා යාළු මහත්තයෙක්.  යාළු මහත්තයා එක්ක තනි නොතනියට ඇවිදින එකත් සින්නයියගෙ එක රස්සාවක්. එහෙම ගියාම කෑම බීම එක්ක කීයක් හරි සින්නයියගෙ අතට ලැබෙනවා. දවසක් යාළු මහත්තයා එක්ක සින්නයියා දුර ගමනක් ගියා. එදාම ආපහු එන්න අමාරු නිසා රෑ නැවතිලා පහුවදා උදේ එමු කියල යාළු මහත්තයා කිව්වා. මොනව කරන්නද? අකැමැත්තෙන් උනත් සින්නයියත් නැවතුනා. ඒත් කල්පනාව තමන්ගෙ එළුගාලයි, කුකුල් කො‍ටුවයි ගැන. සින්නයියගෙ පුතා බැඳපු ලේලි ගෙදර ඉන්නවා. සින්නයියට හිතුනා ලේලිගෙන් අහන්න සත්තුන්ට හරියට කෑම බීම දුන්නද කියල.
"මහත්තයෝ, මේ නොම්මරේට මට කෝල් එකක් අරන් දෙනවද?"
සින්නයියා යාළු මහත්තයට කිව්වා. මහත්තයා නොම්මරේ ඔබලා සින්නයිය අතට ජංගමේ දුන්නා.
"අලෝ.. අලෝ....  උඹට මං කියන එක ඇහෙන්නෙ නැද්ද? මොකක්... උඹ ඒ පාර ඉන්ගිරිසියෙනුත් කතා කරන්න පටන් ගත්තද? ඈ බං උඹ මාව විහිළුවකට ගත්තද. මං කියනදේ අහගෙන හි‍ටු දොඩවන්නේ නැතිව. හැබෑට මේකිට මම......හහ්..."
සින්නයියට හොඳටම කේන්ති ගිහින් යාළු මහත්තයා අතට ජංගමේ ආපහු දුන්නා. යාළු මහත්තයා තක්බීර් වෙලා බලා ඉන්නවා.
"මොකද සින්නයියා වුනේ?"
"බලන්ට මහත්තයා... මේකි මං නැති ටිකට ඉන්ගිරිසිත් ඉගෙන ගෙන. ඒක පෙන්නන්ට මං කියන එකට ඇහුන් කන් නොදී මේකි ඉන්ගිරිසියෙන් කියවනවනේ. මං බලාගන්නම්කො හෙට ගෙදර ගිහින්. පුතා නැති අතරෙ මේකි නටන නාඩගං"
කෝකටත් කියල යාළු මහත්තයා ආපහු නොම්මරේ ගත්තා. අර වෙලාවකට අපිට ඇහෙන්නේ "ප්‍රතිචාරයක් නැත. පසුව අමතන්න" කියල. ඔන්න ඒක සිංහලෙන්, ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් යනවා. ජංගමයකින් කතා කරල නැති සින්නයියා ඕක කොහෙ දන්නවද?. ඒකනෙ මේ පටලැවිල්ල.
"බලන්ට මහත්තයා, මේකි මට පසුව අමතන්න කියලත් කිව්වනේ",
යැයි විස්සෝප වෙමින් සිටින සින්නයියා දු‍ටු යාළු මහත්තයා බඩ අල්ලාගෙන හිනාවෙන්නට පටන් ගත්තා.

Tuesday, March 8, 2011

"බෙදා වෙන් කිරීම"

පුනර්ජන්මය සහ අධිමානසික ක්ෂේත්‍රය සම්බන්ධව පරීක්ෂණ කටයුතු වල නියැලෙන ජිනා සර්මිනාරා කතුවරිය විසින් රචිත The World Within නම් කෘතිය පණ්ඩිත කන්නිමහර සුමංගල හිමිපාණන් විසින් ආධ්‍යාත්මික ලෝකය ලෙස පරිවර්ථනය කරන ලද අතර 2002 පෙබරවාරි මස ප්‍රථම මුද්‍රණය රත්න පොත් ප්‍රකාශකයන් විසින් එළි දැක්වීය.  මෙම කෘතියට 2002 දී විවිධ විෂය පරිවර්තනය යටතේ රාජ්‍ය සම්මාන හිමිවිය. මෙම කෘතියෙහි සඳහන් එක් කොටසක් මම මෙසේ උපුටා දක්වමි.

"සෑම ජාතියක්ම එයට අයත් මතවාදයන්, සංස්කෘතික රටාවන් හා ආගමික සම්ප්‍රදායයන් තුළින් මනසේ සංවර්ධනයට, මෝක්ෂයට, වෙනස් චින්තන රටාවන් ඇති කිරීමට සුදුසු වටපිටාවක් සපයා දෙයි. පුනර්ජන්ම වාදය පිළිගන්නා කිසිවෙකුට අන් කිසිම වෙනස් ජාතියකට හෝ වෙනස් වර්ගයකට ගර්හා කිරීමට නොපිළිවන. ඔහු එසේ කරන්නේ නම් අතීතයේදී හෝ අනාගතයේදී එය ඔහුටම කරගන්නා අවමානයකි.
ශරීරය හුදෙක් ආත්මයේ අනිත්‍ය වූ වාහනයක් ලෙස හඳුනා ගැනීමේදී මනුෂ්‍යයාහට ඔහුගේ ජාතිය වර්ගය හෝ සමෙහි පැහැය ආදී දේ නිසා තවකකු හෙළා දැකීම කෙනෙකු හැඳ සිටින වස්ත්‍රය නිසා ඔහු හෙළා දැකීම පමණටම හාස්‍ය ජනක දෙයක් බව හැ‍ඟෙනු ඇත.
මෙම කරුණ පිළිබඳ දීර්ඝ වශයෙන් කල්පනා කිරීමේදී තමා අනුන්ගෙන් වෙනස්ය. තමා අනුන්ට වඩා වැදගත්ය යන හැඟීම පහව යන්නේය. මගේ ආත්මය අතීත ජීවිත වලදී කළු, සුදු, රතු, දුඹුරු හා කහ සිරුරු තුළ තිබුණේ නම්, එම ජාතීන්ට අයත් සංස්කෘතීන් හා ශිෂ්ටාචාර වල හැදී වැඩුනේ නම් මා දැනට ඉපදී සිටින ජාතිය, සංස්කෘතිය හා ශිෂ්ටාචාරය අනිකුත් සංස්කෘතීන්ට හා ශිෂ්ටාචාරවලට වඩා උසස් යයි හෝ නිර්මල යයි පවසන්නේ කෙසේද? අප සියලු දෙනාටම හඬනගා කිව හැකි දෙයක් තිබේ.
මා සියලුම ජාතීන්ගේ එකතුවකින් සැදුනෙක්මි. මම මා තුළ සිටින්නාවූ සෑම ජාතියක්ම, සෑම මනුෂ්‍ය වර්ගයක්ම වැළඳ ගනිමි. මන්ද මා සියලු දෙනාගේම කොටසක් නිසාද සියලු දෙනාම මගේ කොටසක්ද නිසාය"  (පි‍ටු අංක 179-180)

ඉහත සඳහන් කොටස මා විශේෂ කොට උපුටා දැක්වූයේ අප ජාතියෙන් ආගමෙන් රටෙන් හා වෙනත් නොයෙක් සීමාවන් තුළ බෙදෙමින් කුලල් කාගැනීම කෙතරම් නිරර්ථක ක්‍රියාවක්දැයි පෙන්වා දීමටය. මේ මිහිතලය මත අප කොතැන, කවර අයුරකින් සිටියත් අප ඒ මොහොතේ එතැන සිටින්නේ අප විසින් සිදු කළ යුතු කිසියම් මෙහෙවරක් උදෙසාය. ඉතින් අප කළ යුත්තේ අනිකුන්ගේ වැරදි අඩුපාඩු සහ උස් පහත් කම් සොයමින් කාලය කා දැමීම නොව ඒ මොහොතේ අපට හිමිව ඇති මෙහෙවර නිම කිරීම නොවේද?.

Monday, March 7, 2011

"සන්තූරිට දුක හිතිලා"

"සන්තූරී... මොකදෑ මේ බලාගත් අතේ බලාගෙන අහස පොළොව ගැටලන්නැහේ කල්පනා කොරන්නේ. උඹට කවුරු හරි සෝලි තිව්වා වත්ද මයෙ දුවේ?"
" නෑ ආච්චි අම්මේ... මට තේරෙන්නෙ නෑ. මට මහ මොකද්ද මොකද්ද වගේ. වෙලාවකට හිතෙනවා අම්මයි අප්පච්චියි ගිය දිහාට මටත් යන්න තිබුන නම් කියල. එදා මං අසනීප නූන නම් මාත් කතරගං ගිහින් අර සුනාමියද මොකද්ද කියන එකත් එක්ක අන්තරස්දාන වෙන්න තිබුනා. ඇත්තටම ආච්චි අම්මේ උඹට හිතෙන්නෙ නැද්ද අම්මයි අප්පච්චියි හොරු අරන් ගියා වගේ කියල?"
" අනේ මයෙ රත්තරනේ, ඔව්වා ගැන දැන් විස්සෝප වෙන්න කාරි නෑ. උඹට මං ඉන්නවනේ."
"ආච්චි අම්ම ඉතින් කොයි කාලයක් ඉඳියිද. ඊට පස්සේ මං ...?"
"ඒක නෙවැ මේ උඹෙ නැන්දම්මයි මායි උඹට පෙළවහක් කරල දෙන්න තනන්නේ."
"ම්... හ... පෙළවහ පැත්තක තියල මට හිතෙනවා අර සිල් ඇත්තෝ ඉන්න උපාසිකාරාමෙට යන්න. මයෙ හිත නිතරෝම කියන්නෙ ඒ ගැන."
"උඹ ඉතින් පුංචිම පුංචි සංදියෙදිත් යන්තං කකුල් උස්සල ඇවිද ගන්න පුලුහන් කාලේ අර ගුරු පාර දිගේ හාංදුරු නමක් වඩින කොට දුවගෙන ගොහින් එතනම දණ නමාගෙන වැඳ වැ‍ටුන එකීනේ. එව්ව කරේ ඉතින් මොකදෑ අපි උඹට කරහන් කියල කියල යෑ. මට මතකයි උඹ ඒ කාළෙත් අනික් පොඩි වුන් ලොකු වුනාම ඉස්කෝළෙ නෝනලා, දොස්තර නෝනලා, නේස් නෝනලා වෙනවා කිව්වත් උඹ කිව්වේ ඉතින් මහණ වෙනවා කියලනෙ. අනෙ අප්පා මං දන්නෑ උඹ මෙව්වා සංසාරේ අරගෙන ආව දේවල්ද කියල. නැත්නන් අහවල් කාරියකට බං ආයෙත් වංගියක් මේ මහණ වෙන කතා කියවන්නේ?"
"දන්නෑ ආච්චි අම්මේ, මටත් හිතා ගන්න බෑ ඇයි මට එහෙම හිතෙන්නේ කියල. මට ලඟකදි ඉඳල හිතිල තියෙන්නේ මගේ මේ දිග කෙස් වල්ලත් මහ කරදරයක් කියල. වෙලාවකට හිතෙනවා සේරෝම ටික බූ ගාලා දාන්න."
"මං දන්නවා අර සාෂා කොල්ලා තමයි උඹෙ ඔය විකාර කතා වලට පොහොර දැම්මේ කියල. ආවදෙන්කෝ උන්දෑ මේ හතර මායිමේ මට මුලිච්චි වෙන්න. කියාපන් ඌට උගෙ ඔය බණ කියන්න වෙන කාව හරි හොයා ගන්න කියල."

Saturday, March 5, 2011

"පාරමී"

නිසසලය මේ බිම් කඩ
නැත කිසිවෙකුත් අහලක
පන්හිද සුරත ‍රැඳි
තනි රකී නොවෙනස් ලෙස

කුරුලු කූජන මිස
කුමටදෝ සත් සර හඬ
අවසර නැත ඔබට
ඇතුලු වන්නට අරණට

සෙවනැල්ල පමණකි
ඇවැසි මගෙ තනි රකිනට
විඩාබර සිතකට
වෙනත් කිසිවක් වුවමනා වෙද?

සැනසුමෙන් හිඳිනට
පෙරුම් පුරණෙමි මේ ලෙස
වහංවී ලෝකෙන්
මහද පත්ලෙහි කිඳී ඉන්නට

මරණයේ සීතල
දෑත ලංවී ආ කළ
නොකියා කිසිවෙකුට
පිටව යන්නෙමි නිසලව

Tuesday, March 1, 2011

"බොරුවෙන් නො‍රැවටීම"

ජර්මානුවන් ගැන සිහියට නගන විට අපට නිතැතින්ම සිහි වන්නේ ලොවම හෙල්ලු හිට්ලර් නම් ආඥාදායකයාය. එමෙන්ම බොහෝවිට අප අසා ඇත්තේ ජර්මානුවන් ආඩම්බරකාර ජාතියක් ලෙසය. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ජර්මන් ජාතිය හිට්ලර් බල ලෝභයෙන් කළ කුරිරුකම් පසෙක තැබූවිට ලෝකයට බොහෝදේ දායාද කල ජාතියක් ලෙස ප්‍රකටය. එබැවින් එක් අතකින් ඔවුන්ට ආඩම්බරවීමට තරම් බොහෝදේ පවතී.
ජර්මානුවන් ලේසියෙන් පිට‍රැටියන් හා මිතුරු වන්නේ නැත. සිනාවන්නේද  ඉතා කලාතුරකිනි. එහෙත් කිසියම් අයුරකින් අප ඔවුන්ගේ සිත් ගෙන  මිතුරු වුවහොත් එය කාලාන්තරයක් පවතින බව මගේ අත්දැකීමයි.
ගාබී මට සිටිය ඉතා ලෙන්ගතු  ජර්මන් මිතුරියකි. කතා බහ අඩු තමන්ගේ පාඩුවේ නිශ්චලව අධ්‍යාපන කටයුතු කර ගෙන ගිය ඇය මට මුන ගැසී ටික කලකින්ම අප ඉතා සමීප මිතුරියන් වුනා. අප දෙදෙන එක්ව දහවල් ආහාර ගැනීම නොකඩවා සිදුවූ අතර බොහෝවිට ඇගේ පෙම්වතා  බර්නාඩ්ද අපට එකතු වුනා. බර්නාඩ් කුඩා දරුවෙකු මෙන් නිතර සිනාසෙන කිසිවක බරක් පතලක් සිතට නොගන්නා සැහැල්ලු චරිතයක් ඇත්තෙක්. ගාබී කියන කරන කුමක් හෝ අල්ලාගෙන විහිළු කරමින් සිනාසෙන බර්නාඩ් නිසා ගාබීට බොහෝ විට ඔහු සමග කේන්ති ගියා. මේ දෙදෙනාගේ තරහ මරහ මැද මට සිදුවුනේ තුෂ්නිම්භූතව බලා සිටීමටයි. අපේ රටේදී මට දැක පුරුදුවී තිබුනේ පෙම් කරන කාලයේ අනෙකාගේ සිත නොරිදවමින් හැකි උපරිම අයුරින් තමන්ගේ වැරදි වසා ගනිමින් අනෙකා ඉදිරියේ හැකි තරම් විනීතව හැසිරීම බැවින් මේ දෙදෙනාගේ කුලල් කා ගැනීම් මට වටහා ගත නොහැකි වුනා. මේ වෙනස නිසාම ඔවුන් එකිනෙකාට නොගැලපෙන්නවුන් බව මට බොහෝ විට සිතුනා. එහෙත් කුමක් සිදුවුනත් බර්නාඩ් නැවත සිනාසෙමින් පසුදාත් ඇය සොයා පැමිණියා.
එක් දිනක් කිසියම් දෙයකට සිත රිදී ගාබී ඈ තුල තිබූ සියළු තරහ එක විට පිට කරන විට බර්නාඩ් ඇය අස්වසන්නට තැත් කලා. මින් තවත් කිපුන ඇය,
"මේ මගේ විදිය. මේ තමයි ඇත්ත මම. ඔයා ඒ ඇත්තට කැමති නම් විතරක් මා සමග ඉන්න. මාව වෙනස් කරන්න පුලුවන් කියල හිතල මාව ආශ්‍රය කරන්න එපා. මට එහෙම වෙනස් වෙන්න බැරි වුනොත් අපි දෙන්නම අමාරුවේ. අනික ඇයි මම මාව බලහත්කාරයෙන් වෙනස් කරගන්නේ. මම මාව විදියට පිළිගන්න."
කියමින් ඉවතට ගියා. පෙම්වතුන් පෙම්වතියන් කෙසේ හෝ තමන් වෙත රඳවා තබාගැනීමට උත්සාහ කරන පරිසරයකින් ගිය මට මෙය අළුත් අත්දැකීමක් වුනා. මේ ගැන ඇගෙන් පසුව විමසන විට  ඇය මට දුන්නේ මෙවන් පිළිතුරක්.
"මට දෙතුන් වරක් විවාහ වෙන්න වුවමනා නැහැ. ඒ නිසා මට අවශ්‍ය මගේ ඇත්ත චරිත ලක්ෂණ පෙන්වා ඊට කැමති අයෙක්. එසේ නැතිව මට අවශ්‍ය නැහැ ඔහු ප්‍රිය කරන චරිතයක් මා තුල බලහත්කාරයෙන් ඇතිකර පෙන්වා ඔහු සමග එක්වී මගේ සිතේ නිදහස අහිමි කර ගැනීමට"
හ්ම්.... ඉතින් මම මොනව කියන්නද. කතාව සම්පූර්ණ ඇත්තනේ?
ඕනෑම මිනිසෙකු හෝ ගැහැණියක තුල දේව ගතිද, යක්ෂ ගතිද, තිරිසන් ගතිද සම්මිශ්‍රණයවී ඇත. විවාහයට පෙර තමන් විවාහ වීමට බලාපොරොත්තු වන තැනැත්තාට අයත් මේ සියළු ගති ලක්ෂණ යම් පමණකට හෝ හඳුනා ගත හැකි නම් එවිට තමන්ට ගැලපෙන යක්ෂණියක හෝ යක්ෂයෙකු ‍තෝරා ගත හැකි වනු ඇති අතර, විවාහයෙන් මද කලකට පසු තමන්ට ලැබී ඇත්තේ තමන්ට නොගැලපෙන යක්ෂණියක් හෝ යක්ෂයෙකු බව කීමට සිදු නොවනු ඇත.  මේ අරුතින් ගන්නා කළ මගේ මිතුරිය ගාබී ඉතා නිවැරදි නොවේද?