Monday, January 10, 2011

"දූෂණය කළ වරද"

සොබා දම් දියණියගෙ - සොඳුරු මිහි‍රැති සේල
ගලවමින් කුරිරු ලෙස - දූෂණය කොට ඈව
මනු සතුනි මේ ලෙසින් - යදින්නේ කිමද තව
සමාවක් විශ්වයේ - පියා, මිහිමවුන් ගෙන්

වගුරුවයි පියාණන් - උනු කඳුළු වැසි ලෙසින්
සැඩව ඇත මිහි මවද - නොපැතු නොවිරූ ලෙසින්
මනු සතුනි තොප ඉතින් - සියලු දේ හැර දමා
ජීවිතය දී යන්න - සැරසියව් නොපමාව

Friday, January 7, 2011

"සන්තූරිගෙ නමේ අරුම"

"ඇයි ආච්චි අම්මේ මට "සන්තූරී" කියන්නෙ?"
"මම දන්නෙ නෑ කෙල්ලේ. ඔය ඉතින් උඹෙ අප්පච්චි බොහොම සීරු මාරුවට හිතල දාපු නම නොවැ. මටත් ඔය නමේ වගක් විබාගයක් නැතිව දවසක් ඇහුවා..... මොකදෑ බොල මේ කෙල්ලට දාල තියන විච්චූරන නමේ අරුමෙ කියල. උන්දෑ ඔය කිව්වේ සන්තූරිය කියන්නේ සංගීත බාණ්ඩයක නමක් කියල."
"ම්හ්.. එහෙනම් මම සංගීත බාණ්ඩයක්.... ?"
" මොනවා නැතත් උඹෙ අප්පච්චිට ඉන්තේරුවෙන්ම දැනිලා තියනවා ඉපදිලා ඉන්න දෝනියැන්දැගෙ අරුමේ. උඹත් ඉතින් සංගීත බාණඩයක් වගේම නේන්නන්. ‍තෝර‍තෝංචියක් නැතිව කිචි කිචි ගගා කතා කරයි, නටයි, සිංදු කියයි, හිනාවෙයි. අනේ මේ ඇත්තමයි දුවේ. උඹ එක ඩිංගිත්තක් නැත්නම් මේ ගේම පාලුයි. කට කහනවටයෑ කියන්නේ ගේ දොර එලිය වැටෙන්න කෙල්ලෙක් ඉන්නම ඕනෙ කියල. "
"ආච්චි අම්ම මට ආදරෙයි එහෙනම්. ඒත් ඉතින් ආච්චි අම්මමනෙ කියන්නේ කොල්ලන්ට "කන්ට දී....ලා .........  මල් පුදා .....පිය" කියල".
"ම්හ්... අල්ලගත්තද අදත් කොනක් මා එක්ක පැටලෙන්ට"

Thursday, January 6, 2011

"සන්තූරිගෙ කළු කුමාරයා"

"කෙල්ලේ, මේ ගොම්මන් වෙලාවෙ උඹ කොහෙ යන්නද ඔය සූදානම හැබෑට?"
"ආච්චි අම්මේ, මම කළේ අරන් ඔයට යනෝ........."
" මම උඹට කී පාරක් කියල තියනවද ඔය ගොම්මන් වෙලාවල ළිඳ ලඟ, ඔය ලඟ ගැවසෙන එක උඹ වගේ ගැටිස්සියෙකුට හොඳ නැති බව?"
"මතකයි, මතකයි ආච්චි අම්මේ....., හා... හා... මම දන්නවා ඔය උඹ මට මතක් කරන්නේ කළු කුමාරයා ගැනනේ?. ආ ඒ යක්ෂයට මම බය නැ‍තෝ."
"ම්... උඹට කොහෙ තේරෙන්නද? උඹට කියල ඌ එන්නෙ නෑ. ඌ උඹව දැපනෙ දා ගත් දාට ඉතින් දෙයියන්ගෙම පිහිටයි උඹට."
" අන්න හරි ආච්චි අම්මේ. ... මං ලඟ ඉතින් දෙයියෝ ඉන්න කම් ඔය යක්ෂයො මට කිට්‍ටු වෙන්නේ නැහැ. මම දන්නවා ආච්චි අම්මේ, යක්ෂයො අරන් එන්නෙ ගින්දර, දුක. දෙයියෝ ලඟ විතරයි මට නටන්න හිනාවෙන්න සිංදු කියන්න හිතෙන සතුට තියෙන්නේ. දන්නවද ..... උඹට මම නොකීවට කළු කුමාරයා ඉතින් ඉඳ හිට මට බැල්ම දානවා. එතකොට ඉතින් මගේ හිත හූල්ලන්න ගන්නවා. ඒත්  උඹ ඉතින් දන්නවනේ.....මම කැමති සතුටෙන් ඉන්න විතරයි කියලා. මම එතකොට හනි හනික අඬ ගහනවා මගෙ දෙයියන්ට. අනේ දෙයියනේ මාව දාල යන්න එපා .......... කියල මම කිව්වම ඔය කළු කුමාරයා පැත්ත පලාතේ නොහිට දුවනවා. උඹ බය නොවී හිටපන් ආච්චි අම්මේ. මගෙ හිත හරි හයියයි."
" ම්හ්... ම්හ්.....උඹ ඉතින් මහ පණ්ඩිත කෙල්ලනේ"

Monday, January 3, 2011

"සන්තූරීගෙ නටන වැස්ස"

"සන්තූරී.... මේ නා කපන වැස්සේ උඹ මොනව කරනවද කෙල්ලේ?
"ආච්චි අම්මේ... මං නටන.....වා........ මේන් බලන්නකෝ"
" අනේ සීවරන් දෙයියනේ උඹට මොන යකා වැහිලද මේ මහ වැස්සේ තෙමෙන්නේ? මට නම් පේන්නේ උඹට ඉස කුඩිච්චියක් දාන්න වෙයි වගේ?"
" හිහ් ..... හිහ් ....හී ... උඹ කියනදේ මට තේරෙන්නෙ නැහැ ආච්චි අම්මේ. අහගෙන හිටපන් ටිකක් වෙලා. එතකොට උඹටත් ඇහෙයි වැස්ස රබන් ගහන සද්දේ. පේන්නේ නැද්ද මේ උඩ පැන පැන වැස්ස නටන හැටි. වැස්ස මට කියනවා..."සන්තූරී... හිතේ පිරිය යනකම් ඇති පදන් නටපන්. මම රබන් ගහන්නම් කියල."
"අනේ මන්දා... මෙව්වා පිට එකෙක් දැක්කොත් නම් මට උඹ කවදාවත් දීගෙක දෙන්න නම් ලැබෙන එකක් නැහැ.උන් සහසුද්දෙන්ම හිතයි උඹට ඔල්මාදෙ කියල".
"ම්හ්... දීගද ආච්චි අම්මේ .....එව්වා එපෝ.. මට මෙහෙම හොඳා. බලපන් මම වැස්සේ ඉගිලෙන කිරිල්ලියක් වගේ නේද? උඹෙ සීවරන් දෙයියෝ දෙන වැස්ස සංගීතෙත් දාල දෙන්නේ අපිට නටන්න මිස වෙන මොකකටද? ඇයි උඹල මාව දීග දීල අර සුගතන් අයියට විතරක් "හිර" ගේන්නේ?"
"එහෙම තමයි බං. කෙල්ලෝ දීග දෙනවා. කොල්ලන්ට "හිර" ගේනවා"
" ඔය මොන බොරුද ආච්චි අම්මේ?. මම හිතුවා ඌට හිර ගෙනාවම වත් ඌ ගම පුරා ‍රැයක් දවාලක් නැතිව ඇවිදින එක නවතියි කියල. මොන... ඔය යස අගේට ඉන්නේ. ඌ වැටිල ඇති "හිරයක්" නැහැ. අර ඌ එක්ක ආව සුගුනවතී නම් ඔන්න හිටි පිළිමෙ වගේ ඉන්නවා. බයෙන්.... බයෙන්...... කාටවත් කතා කරන්නෙත්. හිනාවෙන්නෙත්. ගමන බිමනත් බිම බලාගෙන. ඒත් මම දැක්කා ඒකිගෙ ඇස්. ඒකිටත් මම වගේ දඟලල හිනාවෙලා ඉන්න ඕනෙ. ඒත් බයයි වටපිටේ උන් බනියි කියල. ඉතින් කවුද ආච්චි අම්මේ හිරේ වැ‍ටුනෙ.?"
" අනේ උඹෙ ඔය විච්චූර්ණ ප්‍රශ්න වලට උත්තර දෙන්න මං දන්නෙ නෑ බං. දැන්වත් වරෙන් ගෙට. තෙමිලා නහින්නෙ නැතිව"

Thursday, December 30, 2010

"සඳත් ඇවිත්"

අහන්නෙපා මගෙන් ප්‍රියේ වරින් වරේ
නොහිම් සෙනේ කියම්ද මා කෙසේ ලයේ
වසත් කලේ ගෙවී ගොසින් සිතත් සැලේ
ගයන්න පෙම් කවක් නොකිව් මෙලෝ තලේ

මිලාන හිරු නිදන්න සිඳු කුසේ ගිලේ
සියොත්හු යයි පියාඹමින් වරින් වරේ
‍රැයක් ඇවිත් කියයි හොරෙන් රහස් ලයේ
කියන්න ඇයි නිදන්නෙ සීතලෙන් මෙසේ

සඳත් ඇවිත් සිනාසෙමින් හිඳී බලා
කුමාරි රෑ මලින් පිරී සුගන්ධවී
බි‍ඳෙන් බිඳේ වැටේවි මල් වැසිත් අනේ
හිඳින්නෙ ඇයි දුරස්ව නෙතු පියන් වසා

Wednesday, December 29, 2010

"සන්තූරී මම"

"සන්තූරී.... කෝ මේ කෙල්ල? කොහේ ගියාද උඹ?"
"ආච්චි අම්මේ... මං මෙහේ ...."
" අනේ දෙයි හාමුදුරුවනේ, උඹට අමතක වුනාද උඹ කෙල්ලක් කියල. ඔය ගහ උඩට වෙලා මොනව කරනවද? බැහැපන් බැහැපන් ඉක්මනට කළේ වතුර කඳුලක් නැහැ."
"ආච්චි අම්මගෙ දෙයි හාමුදුරුවෝ තමයි මට කිව්වේ ගහට නැගල බලපන් කියල. මේ මී අඹ හරි රහයි ආච්චි අම්මේ. උඹටත් ගෙඩියක් දාන්නද?"
"උඹ ඔය තකහනියක් ගහට නැග්ගේ අඹ කන්ටමද? ඇයි බං මේ ටිකේම අර කොල්ලෝ කුරුට්ටෝ ගහට නැග්ගමත් උඹ හිටියේ ඔය ගහ යටම නේද?"
"හ්ම් ... හිටියා නේන්නම් ගහ යටට වෙලා ........උන් ඇති පදම් කාල උන්ටම ඇතිවෙලා වීසි කරන එකක් ඇහිඳගෙන කාලා. ඉතින් දෙයියෝ මට කිව්වා "සන්තූරී" නැගපන් ගහට බලපන් ලෝකය දිහා. උඹ ඔය එක එකා කියන ඒවා අහන්න එපා. උඹට හිතෙන තරම් අඹ කඩා ගෙන කාපන්. ඕවා මම මැව්වේ උඹල හැමෝටම කන්න පංගු පේරුවක් නැතිව. එක එකා එක එක කතා කියල උන්ට විතරක් අයිති කර ගන්න බලයි. අහු වෙන්න එපා ඕවට. ඉතින් මං නැග්ගා ගහ උඩටම"
" අනේ කෙල්ලේ, උඹෙ අතක් පයක් කැඩුනොත් මම කාට කියන්නද? බැහැපන් දුවේ ගහෙන් බිමට"
"හ්ම්.. අරුන් නැග්ගමත් ආච්චි ඔහොම කියනවද? ඇයි උන්ට අතපය නැද්ද? ආච්චි අම්මේ... හරි ලස්සනට මෙතනට ලෝකෙම පේනවනෙ. උඹට ඒක හිතා ගන්නවත් බැහැ. අනේ ඇයි උඹල ඒක දකින්නෙ නැත්තේ?. ඇයි උඹලා මාව "කෙල්ලෙක්" කියලා කූඩු කරල මට මේවා දකින්න දෙන්නේ නැත්තේ? ඒත් උඹේ දෙයි හාමුදුරුවෝ හොඳයි ආච්චියේ. ඒකනෙ මට "සන්තූරී.." උඹ, උඹ කැමති දේ කරපන් කියන්නේ. දෙයි හාමුදුරුවනේ..., උඹට ඇහෙනවද? උඹට ගොඩක් පිං සිද්ද වෙනවා. උඹ මවපු ලෝකෙ කොටසක් මම අද දැක්කා. හී..... හී.... හී.... මං සන්තූරී ..... "