Tuesday, September 7, 2010

"ප්‍රේමයයි නුඹ"

ප්‍රේමයයි නුඹ ත‍ටු ලැබී නිල්
අහස් කුස සිට මට සිනාසුන
කුරුලු ගීයක තනුව සිහිකල
සුවඳ ගෙන ආ මල් පියල්ලක
අහිමි වූ සඳ නුඹ එදා මට
කඳුළු වැස්සෙන් දියව මා සිත
අතරමං වුන කිරිල්ලිය වුනි
යනෙන මඟ නැති මංමුලා වුන

ප්‍රේමයයි නුඹ කිසිත් නොපතන
විශ්වයම වී මට සිනාසුන
පන්සිළුගෙ වෙන නදට සමවුන
සඳ පහන් ‍රැය සේ උදාවුන
අහිමි වූවද නුඹ මෙදා මට
සිනාසෙන්නෙමි සිතින් අද මම
විශ්වයම මට අයත් වූ සඳ
හඬනු කුමටද මුලාවී සිත

Monday, September 6, 2010

"සුපෙම්වත"

සුසුම් දාහය නිවන
සිහිල් සලුවෙන් වෙලා
මගේ නෙත් දෙක මතට
මිහිරි හාදුවක් දී
ඉතින් මා සනසන්න
සදාකාලික ලෙසට
මරණයේ සුපෙම්වත
යලිත් නොනැගිටින ලෙස

කවරදාටත් වඩා
මං නුඹට ආදරෙයි
මගේ හද පතුලෙන්ම
මරණයේ සුපෙම්වත
පිසලමින් රිදුම් දෙන
මතකයන් මා සිතින්
යලිත් මට පිබිදෙන්න
අළුත් ජීවිතය ලැබ
වහා එනු මැන ඉතින්
පෙමින් මා සිප ගන්න

මගේ ප්‍රේමය නුඹට
නොවැටහෙන්නේ මන්ද
නෑවිදින් මා ලඟට
දුරස් වන්නේ ඇයිද
ඔබේ දෑතේ ‍රැදී
මලානිකවී ඉන්න
අනේ දැන්වත් ඉතින්
වහා මෙහි පැමිණෙන්න

Wednesday, September 1, 2010

"ස්ත්‍රීත්වය නුඹ"



සමනල් සිහින යායක
පාවී සිහින් සුළඟක
පුංචිම පුංචි වයසේ
ළදැරියක වුන සමයක
"ස්ත්‍රිත්වය" නුඹව මට
වෙනසක් ලෙසින් නොපෙනිනි
බාධකයෙකැයි නුඹ මට
කිසිම ලෙසකින් නොහැඟිනි



සුන්දර යොවුන් විය
කුමරියක වී ‍රැඟුවෙමි
බඹර ගුමු නද මැද
සසල බවකින් පෙලුනෙමි
"ස්ත්‍රිත්වය" නුඹ මට
ආකස්මිකව හිනැහුනි
‍රැකවරණය ඇවැසි බව
පසක් කොට දුන්නෙහි නුඹ
 
තුරුණු විය අවසන
දකිමි ලෝකය නිසි ලෙස
වෙනස් කම් හා සීමා
කෙතරම්ද යැයි තිර කොට
"ස්ත්‍රීත්වය" නුඹ දැන්
සැබෑ ලෙස මට පෙන්වයි
දෙවන පෙල හිඳ දක්නට
කරුමයක්වූ උරුමය

Tuesday, August 31, 2010

"පුතු අහිමි පිය සෙනේ"


දුක් කම්කටොළු බාධකයන් ගැන නොදොඩා
සිප සනසමින් මාගේ උකුලටද            වඩා
ආදරයෙන් හැදුවෙ මගෙ නෙත් දෙකට   වඩා
ඔබගේ වියෝවෙන් අද වැලපෙන්නෙ   හඬා

ඔබ වෙනුවෙන් මගේ ගත දහඩිය      හැළුවා
ලොකු මිනිසෙකු කරන්නට සරසවි     යැවුවා
රුදු වෙස් ගත් දනන් හද වෛරය       පිරුවා
මිතුරන් ලෙසින් ආ සතුරා මරු         මැව්වා

ඔබ දිනු දින රජෙක් වූයෙමි රටක්          ලද
ජීවන මගට පෑයූවා අළුත්                    හඳ
මෝරා ගෙන එද්දි ගුන මකු දනන්         හිඳ
ගිල ගත්තා වැනිය රාහූ සුපුන්               සඳ

අගයක් නොදන්නා මිනිසුන් ‍රැසක්        මැද
දියමන්තියක් වූවත් ඉන් පලක්            වෙද
දියමන්තිය ඔබයි පුතුනේ මගේ             හද
වටිනා කම දනීවිද රුපු දනන්                අද

ආදරයෙන් මට අප්පච්චීය                  කියා
අත්දෙක එකතු කර දෙපයේ සිරස         තියා
කිසිදින මරනයට මා බය නැතිය          කියා
පොඩි පුතු එදා මා හැරදා යන්න           ගියා

සීතල සුලඟ වැද ගස් වල මල්           නැ‍ටුව
රුධිරය ගලා ඔබෙ සිරුරෙන් එහි         මුසුව
සුවඳයි දැනෙන්නේ පුතුනේ ඔබ        නැතිව
සැනසෙමි කෙලෙස යලි ඉතිනේ මා මෙලොව

යුක්තිය ඉදිරියේ එඩිතර හිස           නැමුවා
අයුක්තියට එරෙහිව ඔබ හඬ           නැගුවා
ඒ විරු හඬට තැති ගත් අය ඔබ        නැසුවා
එනමුත් පුතේ ඔබෙ නම නොනසයි   මරුවා

කවදා කොතැනකදි හෝ යලි හමු      වේවා
ඒ භවයෙදිත් ඔබ මාගෙම පුතු          වේවා
විමුක්තියේ ජය මාවත අත්              වේවා
අවසන කෙලෙස් දුරු කර ඔබ       බුදුවේවා

Monday, August 30, 2010

"ගංගාවෙන් ජීවිතයට"


ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලට පරිවර්තනය කරන ලද තිව් ඤතාන් යතිවරයාණන් ලියූ La Serenite De L'instant නම් ග්‍රන්ථය මණ්ඩාවල පඤ්ඤාවංස හිමිපාණන් විසින් "සංහිඳියාව කරා පියවරක්" ලෙස සිංහලයට පරිවර්තනය කොට ඇත. මෙම පොත සරල බසින් ලියවී තිබුණද එහි අදහස් ගැඹුරු හා දාර්ශනික නැඹුරුවකින් යුක්තය. එමෙන්ම වචනයෙන් දෙන අර්ථයට වැඩි භාවාර්ථයක් අන්තර්ගතය. සුන්දර කවියක් සේ රචිත පහත සදහන් කථාවෙන් (පි‍ටු 121 - 122) ජීවිතය පිළිබඳ ඉතා ගැඹුරු දර්ශනයක් දෙනු ලබන බව ඔබටද පැහැදිලි වනු ඇත.
 
"එකෝමත් එක කාලයක කඳුවැටි, වනාන්තර හා තණබිම් හරහා ගලාගෙන ගියාවූ සුන්දර ගංගාවක් වූවාය. ඕ තම ගමන ආරම්භ කළේ ආහ්ලාදයෙන් පිරීගිය ජලධාරාවක් වශයෙනි. එම සන්තුෂ්ටිය ප්‍රකට කරනු වස් ඕ කඳු වැටි පහළට බැසගෙන එද්දී නිරන්තරයෙන් ගී ගයමින් රංගනයේ යෙදුනාය. එම අවස්ථාවේ ඕ ඉතා ළාබාල එකියක් වූවාය. ඈ පහත් බිම් කරා පැමිණෙද්දී තම ගමනේ වේගය බාල කළාය. ඇගේ පැතුම වූයේ සාගරය කරා ගලා යාමය. එම ගමනේදී ඕ වැඩුණාය. කඳුවැටි අතරින් සහ තණබිම් හරහා ඇදවෙමින් මනහර ආකාරයෙන් ගලා යමින් ඕ සුන්දර වන්නේ කෙසේදැයි ඉගෙන ගත්තාය.
එසේ ගමන් කරද්දී ඕ එක් දිනක තම සිරුර මතවූ වළාවක් දු‍ටුවාය. එය සියලු වර්ණ සහ ආකාරයන්ගෙන් යුක්ත වලාවක් විය. එම දින ඈ ගත කළේ එම වළාව පසුපස දුව යෑම සඳහාය. ඇගේ අරමුණ වූයේ ඈටම වළාවක් අයිති කර ගැනීමය. එහෙත් වළාවෝ අහසේ පාවෙමින් ඇවිදිමින් සිටියෝය. ඔවුහු නිරන්තරයෙන් තම ස්වරූපය වෙනස් කරමින් සිටියෝය. වළාවන් තුළවූ අනිත්‍ය ස්වභාවය හේතු කොට ගෙන, ගංගා තොමෝ අනන්තවත් දුකට, වේදනාවට පත් වූවාය.
එක් දිනක් මහා සුළි සුළඟක් හමා ගෙන විත් ඈට ඉහළින් අහසේ පාවෙමින් තිබුණු සියලු වළාපටලයන් පලවා හැරියේය. අහස මුළුමනින්ම හිස් බවට පත්වූයේය. ගංගාවට පසුපස යාමට වළාවක් නොපැවති බැවින් තව දුරටත් ජීවත්වීමෙන් පලක් නොවෙතියි සිතන්නට වූවාය. ඈට මිය යන්නට ඕනෑ විය.
එදින රාත්‍රියේ පළමුවැනි වතාවට ගංගාවට තමා කරා යාමට අවස්ථාවක් ලැබුණේය. එතරම් දිගු කාලයක් තිස්සේ ඈ තමන්ගෙන් පිටස්තරවූ දෙයක් පසු පස හඹා යමින් සිටියාය. ඈට ඈ සැබෑ ලෙස දකින්නට කිසිදාක අවස්ථාවක් ලැබී නොතිබුණි. පළමුවැනි වතාවට එම රාත්‍රියේ ඈට තමාගේම හැඬීමට සවන්දීමට අවස්ථාව ලැබුණි. එනම්, ගංගාවේ ඉවුරුවල තම ජලය හැපෙන හඬය. ඇගේම හඬට කන් දීමට පුළුවන් වූ බැවින් ඈට ඉතා වැදගත් වූ දෙයක් සොයා ගන්නට හැකි විය.
ඈ ලබා ගැනීමට දිවගිය දේ තමා තුළම පවතින බව ඕ අවබෝධ කර ගත්තාය. වළාවන් යනු වෙන කිසිවක් නොව ජලයම බව ඕ වටහා ගත්තාය. වළාවන් ජලයෙන් උපදින්නේය. නැවත වතුර කරා ආපසු එන්නේය. ඈ ඈත් ජලයම වන බව වටහා ගත්තාය.
පසු දින සූර්යයා අහසේ බබළන්නට පටන් ගත් සැනින්ම, ඕ පළමුවන වතාවට නිල් අහස දු‍ටුවාය. ඊට කලින් කිසිම දාක ඈ එය දැක නොතිබුණි. ඈ උනන්දුවෙමින් සිටියේ වළාවන් පිළිබඳව පමණය. එහෙයින්ම ඈට සියලු වළාවන්ගේ නිවාසය වන අවකාශය දැක ගැනීමේ අවස්ථාව නොලැබී ගියේය. වළාවෝ අනිත්‍ය වෙති. එහෙත් අහස එකසේම පවතී. ආරම්භයේ පටන්ම අනන්තවූ අවකාශය ඇගේ හදවත තුළ පැවති බව ඕ වටහා ගත්තාය. එම ශ්‍රේෂ්ඨ දැකීම හේතුකොට ගෙන ඈ තුළ සාමය සහ සන්තුෂ්ටිය පහළ විය. අනන්ත වූ නිල් අහස දකිද්දී, ඇගේ සාමය සහ සංහිඳියාව නැවත කිසි දිනක ඈ අතහැර නොයන බව ඕ වටහා ගත්තාය.
එදින සන්ධ්‍යා භාගයේ පලවා හරින ලද වළාවෝ නැවත ආපසු පැමිණියෝය. එහෙත් මෙවර එයින් එකක්වත් අයිති කර ගැනීමේ ආශාවක් ඈ තුළ නූපන්නේය. ඈට හැම වළාවකම සෞන්දර්යය දැක හඳුනා ගන්නට පුළුවන් විය. ඈ ඒ සියල්ලම ආදරයෙන් පිළිගන්නට සමත් වූවාය. වළාවක් ඈ කරා පැමිණි කල, ඕ එයට කරුණා මෛත්‍රියෙන් පිරි හදින් ආශිර්වාද කළාය. එම වළාවට ඉවත යන්නට ඕනෑවූ කල්හි, ඈ ඉතා සතුටින් එම වළාව වෙත තම සුබ පැතුම් පිරිනැමුවාය. සියලුම වළාවන් තමාම වන බව ඕ වටහා ගත්තාය. ඈ සහ වළාවන් අතර වෙනසක් ඕ නොදු‍ටුවාය. ඈ සහ වළාවන් අතර සාමය සහ සංහිඳියාව පැවතියේය."

Thursday, August 26, 2010

අතීතයෙන් ආ සුවඳ


දෙතොලින් ගලා ගිය සුවබර ගී                නාදේ
හදවත කොනේ තවමත් පෙර මෙන්        විහිදේ
ලංවිය නොහැක සිහිනෙකි අප කල           කීදේ
සුදු ඔබ වෙරළ මම වෙමි සිතිජය             මුහුදේ

ඔබ මා ලඟ සිටින විට මුදු සිනහ                 පපා
ආදර හැඟුම් පිබිදෙයි සිත හඬනු                 එපා
සොඳුරිය හලන විට මුතු පිනි කඳුළු             අපා
මට බැහැ ඉන්න පි‍ටුපා පසු         තැවෙන්නෙපා

අත්වැල් බැඳන් ජීවන ගමනේ              එන්නම්
හැකි හැම ලෙසින් ඔබෙ සතුටට කැප  වෙන්නම්
හද බැඳි කුමරියක් ඇති බව            සලකන්නම්
ඔබ හට සදා සුව සහනය                සලසන්නම්

නිළුපුල් දෙනෙත් සැනෙකින් රතුවට      හැරුනා
දෙකොපුල් ඔබේ සුදුමැලි වනසේ         පෙනුනා
සිරුරම මගේ සීතල වී හිරි                     වැ‍ටුනා
ඔබගෙන් එදා වෙන් වන්නට දුක            හිතුනා