Thursday, June 17, 2010

මතකයන් අවදිව


සීතලට හීන් පිනි හිරි වැස්ස වැටෙනවා
කවුළු දොර ලඟ ඔබේ හිනා හඬ ඇසෙනවා
තත්පරෙන් තත්පරේ මතක පොත ඇරෙනවා
විදුලි ඉර සේ පෙනී ඡායාව මැකෙනවා

සිනා මුව මල් පිපී ලෝකයම දකිනවා
සිනා යට කඳුළු මල් ඉකි ගසා හඬනවා
සිය දහක් සෙනඟ මැද තනි කමක් හැ‍ඟෙනවා
යලි නො එන සිහිල් මද නලක සුව දැනෙනවා

සඳේ නැත සඳ එලිය ඝනදුරක වෙලෙනවා
අහිමි සුවඳක මතක මල් සුවඳ කියනවා
කඳුළු නිම්නයක තරු නැගේදෝ සිතෙනවා
හිතට හොර රහසේම චිතකයක් දැවෙනවා

Saturday, June 12, 2010

සැනසිලි සුවය


තායිලන්තයේ වැඩවිසූ අග්‍රගණ්‍ය හිමිවරුන් අතරෙන් කෙනෙක් වූ අචාන් චා හිමියන්ගේ දේශනා අඩංගු " A Taste of Freedom" නැමැති ග්‍රන්ථය ඩ්බ්ලිව් සුගතදාස මහතා විසින් "විමුක්ති රසය" ලෙස පරිවර්තනය කර ඇති අතර මේ උතුම් මිනිසත් බවින් ධර්මය අත් දකින්නේ කෙසේද යන්න එහි ඉතා සරල ලෙස විස්තර කර ඇත. එහි සඳහන් එක් කොටසක් මෙසේ උපුටා දැක්වේ.
"සැනසිලි සුවය සඳහා මාවත වශයෙනුත්, අවබෝධත්වය සඳහා ක්‍රියා මාර්ගය වශයෙනුත්, බුදුන් වහන්සේ නියම කොට වදාළේ ශීලය, සමාධිය හා ප්‍රඥාවයි. නමුත් මේවා බුදු දහමේ හරය වශයෙන් ගණන් නොගැනේ. ඒවා හුදු මාර්ගය පමණක් ම වෙයි. බුදු දහමේ නියම හරය සැනසිලි සුවයයි. එම සැනසිලි සුවය සියලු දේවල් තුළ පවත්නා යථා ස්වභාවය දැක ගැනීම තුළින් උදා වෙයි. සතුට හා අසතුට ගැන සමීප ලෙස විමර්ශනය කරන විට එම දේවල් සැනසිලි සුවය නොවන බව අපට දැක ගත හැකි වෙයි. සත්‍යය යනු එවැනි කිසිවක් නොවේ.
සොයා දැන ගන්නා ලෙසත්, විමර්ශනය කර බලන ලෙසත්, බුදුන් වහන්සේ විසින් අනු දැන වදාරන ලද මනස එනම්, මිනිස් මනස ගැන දැක ගත හැකි වන්නේ ඒ තුළ පවත්නා ක්‍රියාකාරිත්වය තුළිනි. ප්‍රකෘති මනස මැණ බැලීම සඳහා කිසිවක් නොපවතියි. එය දැන ගැනීමට ක්‍රමයක්ද නැත. ඊටම අයත් ප්‍රකෘති ස්වභාවය තුළ එය නොකැළඹී නිශ්චලව පවතියි. සතුට පහළ වන විට සිදු වනුයේ මනස අරමුණක් තුළ මංමුලා වීමකි. එම නිසා ඒ තුළ චලනයක් හට ගනියි. මේ ආකාරයෙන් චලනය වන විට එම අරමුණු අල්ලා ගැනීමක් ඒ තුළ සිදුවන අතර ඒවා කෙරෙහි ඇලීමක්ද හට ගනියි"
(34 වන පි‍ටුව)

Friday, June 4, 2010

කියනු කෙසේ !!!


දෑස් නිල් මල් විලේ පතුලටම කිමි‍ඳෙමින්
උමතු දෑසින් ලංව දෙසවනට කොඳුරමින්
ආදරේදැයි මගෙන් අසන්නේ කිම මෙසේ
කියන්නේ කෙලෙසකද එය අකුරු හතරකින්

අහස සේ අනන්තව පැතිරිලා තියේ නම්
භාවනාවක් වගේ ගැඹුරු වී නිසල නම්
විශ්වයේ රිද්මයන් තරම් ගීතවත් නම්
කියන්නද මා කෙසේ වදනකින් එය ප්‍රියේ

සවන් දෙනු මැනවි ඔබෙ හදවතේ රිද්මයට
බිඳ දමා එහි අගුල් මුදා හැර අනන්තෙට
ඇසෙනු ඇත ! දැනෙනු ඇත ! ඒ ආදරේ මිහිර
කවියක්ව මෙතෙක් මා නොකී සවනට ලංව

Thursday, June 3, 2010

කඳුළු නිම්නයේදී

ජීවිතේ සිහින මියගිය
නිම්නයේ
වැතිරී තනිව හිඳිනෙමි
පැතුම් මිලිනව
ශේෂවූ ගිම්හානයේ

මතක මංපෙත් චිතකයක
ගිනිලූ පැයේ
සිත නොමළ මුත්
මා සිටිනුයේ
අද සුසානයකය ජීවිතේ

තරු ඇස්ද නොනිදන රාත්‍රියේ
ඇය සෙමෙන් පිය මැන
කරන හිරිහැර
සදයි කඩතොලු
ආත්මයේ

උන්මාදනීයවු ප්‍රේමයේ
ඇස් අගින් වත් ඇය
බලයි නම්
එක වරක් වත්
යලි සිනාසෙමි මේ ජීවිතේ




Wednesday, June 2, 2010

දියණියකගේ වෙනස


ගහට මලටද සිනා සලමින්
විපිලිසරවී බලා හිඳිමින්
කිමද දියණියනේ සසලව
මෙසේ වැලපෙන්නේ

මල් පියල්ලක් විලස දෝතට
කිරි සිනා පා එකළු කර හද
එදා ඔබ ආදා
දැල්වුනා රන් පහන් අප විජිතේ

දිනෙන් දින විකසිතව වැඩෙමින්
රුවද සුවඳද හිමිවෙමින්
යොවුන් විය වෙත පිය නගනු ඔබ
බලා සිටියා සෙනෙහසින්

අබැටකුදු හෝ දුකක් වන්නට
නොදී වෙර වීරිය පුරා
ඔබටවත් නොදැනෙනා විලසට
දුනිමි ‍රැකවරනය සදා

පිය සෙනෙහෙ මහ මෙරක් තරමට
දියණියෙනි හද ඇවිල ඒ
කියනු මැන කවුරුන්ද ඔබගේ
හිත මගෙන් වෙන් කොට ගියේ

Monday, May 31, 2010

පියවරු කොහිද



අසූචි වලක හිනැහෙන මේ       දරුවන්නේ
ඉරණම මෙලෙස ලිව්වේ ඇයි    දෙවිඳුන්නේ
මහමෙරකට උසලු දරු පෙම      පියවරුනේ
පියවරු කොහිද අම්මේ මේ       දරුවන්නේ

දවසින් දවස අසන්නට ලැබෙන්නේ ගඟකට දැමූ, අසූචි වලකට වීසි කල, කසල ගොඩකට වීසිකල දරුවන්ගේ කතාය. මේ කතා වල පසු බිම තවත් බොහෝ කතා තිබෙන්නට පුළුවන. ඒ අතර දරිද්‍රතාවයද, නූගත්කමද, පියෙකු නැති දරුවෙකුට මවක වීමට නොහැකි ලංකාවේ සංස්කෘතික පසුබිමද තිබුනා වන්නට ඇත. එහෙත් මෙවන් තත්වයකට පත් නොවීමට ස්ත්‍රියකගේ වගකීම එක් පසෙක තිබෙනු මෙන්ම ඊට වගකිවයුතු තවත් පාර්ශ්වයක්ද තිබෙන බව අපට බොහෝ විට අමතකය. දරුවෙකුට ස්වභාවිකවම මවකගේ අයිතිය උරුම වේ. එහෙත් ස්වාභාවික පියකු සිටියද පියකුගේ අයිතිය බොහෝ විට ලැබෙනුයේ නීතිය මගිනි. එබැවින් මෙවැනි සිදුවීමකදී බොහෝ විට මාධ්‍ය මගින්ද අනාවරණය වන්නේ දරුවාගේ මව පිළිබඳව පමණි.  අවසන් වරද සිදුවී ඇත්තේ මව අතින් බැවින් දඬුවම ඇයට පමණි. මට මෙහිදී මතක් වන්නේ බයිබලයේ සඳහන් පව්කාරයාට ගල් ගැසීමේ සිද්ධියයි. එහෙත් නීතිය ඉදිරියේ දරුවන්ගේ භාරකාරත්වයද ඔවුන්ගේ පෝෂනයද පවරා ඇත්තේ පියවරුන්ටය. දෙවියන් බඳු පියවරුන්ද සිටින අප සමාජයේ මෙවැනි දේ හැකිතාක් දුරකට වලක්වාලීමට නම් මේවාට සම්බන්ධ පියවරුද හෙලිදරව් විය යුතු නොවේද?