Wednesday, March 31, 2010

සංසාර මන්දිර

මීට වසර ගණනකට පෙර පණ්ඩිත කන්නිමහර සුමංගල හිමියන් විසින් පරිවර්තනය කරන ලද "සංසාර මන්දිර නොහොත් ඇමරිකානු දිවැසින් දු‍ටු කර්මය සහ පුනර්භවය" යන පොත මගේ ඇස ගැ‍ටුනේ අහම්බෙනි. මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකදී කියවීමට ලැබුන එය මගේ ජීවිත දැක්ම බොහෝ දුරට වෙනස් කළේය. මෙම කෘතියෙහි මුල් කතෘ ජීනා සෙර්මිනාරා (Gina Cerminara) මෙනෙවිය වන අතර එහි නම Many Mansions ය.  එමඟින් විස්තර කරන්නේ 1877 දී ඇමෙරිකාවේ කෙන්ටකිහි උපත ලබා පසුව "වර්ජිනියා වෙරළේ ප්‍රාතිහාර්යකාරයා" ලෙසින් ප්‍රසිද්ධ වූ දිවැසින් වෙදකම් කළ එඩ්ගා කේසී 
(edgar Cayce (http://en.wikipedia.org/wiki/Association_for_Research_and_Enlightenment), (http://www.caycegoldengate.com/)) 
පිළිබඳවය.  සම්මෝහ නිද්‍රා තත්වයට වැටී රෝගීන් තිස් දහසකට වැඩි පිරිසකට වෙදකම් නියම කොට ඇති මොහු හැම අවස්ථාවකදීම  ප්‍රතිකාර ඔෂධ වලින්, ශල්‍ය කර්මයෙන්, ආහාර මඟින්, විටමින් මඟින්, ජල චිකිත්සාවෙන්, අස්ථි චිකිත්සාවෙන් ආදී නොයෙකුත් ක්‍රම මඟින් ලබා ගන්නා ලෙස ඉතා පැහැදිලි ලෙස උපදෙස් දී ඇත. සාමාන්‍ය ජීවිතයේදී වෛද්‍ය විද්‍යාව ගැන කිසිත් නොදත් සහ ඒ පිළිබඳ කිසි පොතක් පවා කියවා නොසිටි ඔහු  රෝග විනිශ්චය වලදී ව්‍යුහවේදයට (Anatomy) සහ කායික විද්‍යාවට (Physiology) අයත් නියම වචන වලින්ම රෝග තත්වයන් විස්තර කිරීම පුදුම උපදවන සුලු විය. ඔහු හමුවට ආ හැම රෝගියෙකුම පිළිබඳ වාර්තා ඇමරිකාවේ වර්ජිනියා බීච් (Virginia Beach) හි ඔහු නමින් පිහිටවූ ආයතනයක (Association for Research and Enlightenment INC (http://www.edgarcayce.org/)) අදටත් සුරක්ෂිතව  පවතී. මෙම වාර්තා පරීක්ෂා කිරීමට කැමති ඕනෑම සුදුසු කම් ඇති අයෙකුට දැනටත් ඒවා පරීක්ෂා කළ හැක.
එඩ්ගා කේසී රෝගීන්ට වෙදකම් නියම කළා පමණක් නොව ඒවාට මුල්වූ කර්ම හේතුන්ද දැක්වීය. මුල් අවස්ථා වලදී කේසී මෙම කර්ම හේතූන් පිළිබඳව සිට ඇත්තේ බොහෝ කැළඹිලි සහගතවය. හේතුව ඔහු හැදී වැඩුනු ක්‍රිස්තියානු ආගමික පරිසරයේ නැවත ඉපදීමක් ගැන කතා නොකල බැවිනි. එසේම ඔහු බුදු සමයේ සහ හින්දු සමයේ එන ප්‍රධාන ඉගැන්වීමක් වන පුනර්ජන්මය ගැන දැන සිටියේද නැත. මේ කාලයේදී (1927) කේසී පිළිබඳව විස්තර ඇමරිකාව පුරා පුවත් පත් මඟින් පැතිරී යන්නට විය. එබැවින් මුදල් පසු පස යන්නවුන්ද කේසී කරා ආවේය. ඉන් සමහරුන්ට කොටස් වෙළඳ පොළ ගැනද, නිදන් වස්තු ගැනද, රේස් අශ්වයන් ගැනද දැන ගැනීමට උවමනා විය. කිහිප විටක් මෙවැනි දේ සඳහා උදව් කිරීමට උත්සාහ කළද ඒ බොහෝ අවස්ථාවල නිවැරදිව තොරතුරු සැපයීමට අසමත්වූ අතර එවැන්නක් අවසානයේදී තම ශක්තිය පිරිහී ඇති බවත් තමා තමන් සමඟම අමනාපයෙන් පසුවන බවත් ඔහු වැටහිනි. තම ශක්තිය යෙදිය හැක්කේ පීඩිතයන්ට උපකාරී වීමට පමනක් බව අවසානයේදී ඔහුට තේරුම් ගියේය. මෙවැනි උපකාර අන්‍යනට සිදු කළත් ඔහු ඉන් අසාධාරන ලෙස මුදල් ඉපයීමට සිතුවේ නැත. දීර්ඝ කාලයක් වෙහෙසී සේවය කිරීම ඔහුගේ ස්නායු ශක්තියට විශාල හානියක් වූ අතර 1945 ජනවාරි 3 වැනිදා හැටහත්වැනි වියේදී කේසී මෙලොව හැර ගියේය.
මෙම පොතෙහි කර්ම විපාක, කර්මය සහ සෞඛ්‍ය ප්‍රශ්න, මනුෂ්‍ය චරිත වර්ග, විවාහය සහ එහි ගැටළු, හුදකලා වීම, මාපියෝ සහ දරුවෝ, වෘත්තීය දක්ෂතා සහ චරිත ගති වේග පිළිබඳව කේසී වාර්තා මඟින් උපුටා ගැනුන අදහස් දක්වා ඇත. මුල් පරිච්ඡේදයේ (පි‍ටු අංක 32-33) එක් කොටසක් පමනක් ඔබේ අවධානය පිණිස මෙසේ දක්වමි.

"කෙසේ හෝ ඉකුත් දශක කීපය තුළදී අපි වඩාත් අති පණ්ඩිත වී සිටිමු. අපි දන්නා දේ ගැන නැතහොත් දන්නවා යයි සිතා ගෙන සිටින දේ ගැන වැඩි වැඩියෙන් සැක කරන්නට පටන් ගෙන සිටිමු. කිසිවකට ගරු සරු නොදක්වා ඉඳුරන් වහල් කොට ගෙන අප විසින් තනා ගන්නා උපකරණම සරදමකට මෙන් අනෙක් අතට හැරී ඇත. එසේ නිපදවා ගන්නා ලද උපකරණ වලින්ම අපගේ ඉන්ද්‍රිය නමැති ආයුධය අසම්පූර්ණ බවත් ඇති සැටියෙන් වූ ලෝකය පිළිබඳව අපට දැනීමක් ලබා දීම සඳහා ප්‍රමාණවත් නොවන බවත් පෙන්වා දී ඇත. මෙහිදී අපගේ කාලයෙහි මතුව ඇති අමුතු දේවලින් කීපයක් ගැන වත් සඳහන් කිරීම සුදුසුය. රේඩියෝ තරංග, විකිරණශීලතාව හා පරමාණුක ශක්තිය යන මෙවැනි ඉඳුරනට අසු නොවන තරංග වලින් හා ශක්ති ස්පන්දනයන්ගෙන් අප වටවී ඇති බවත් ඉතා කුඩා ද්‍රව්‍ය කැබැල්ලෙක පවා අපගේ සිතීමට වත් අසු කර ගත නොහැකි තරම් විශාල වූ ශක්තීන් අඩංගුව ඇති බවත් සැකයේ සේයාවකුදු ඉතිරි නොකොට ඔප්පු කරයි.
දැන් අපි තරමක් නිහතමානී වී සිටිමු. අපගේ ශරීරය ඇස් හා කන් නමැති කුඩා සිදුරු වලින් යුත් වැසුනු කුටියක් බඳුය. අපට බාහිර ලෝකය පිළිබඳව තොරතුරු එන්නේ මේ සිදුරු තුලිනි. දැන් අපි ඒ බව දැන සිටිමු. අප ආසන්නයෙහි පවා නොයෙක් තරාතිරම් වල ආලෝක හා ශබ්ද විශාල ප්‍රමාණයක් ඇති නමුදු අපට ඒවායින් හසුකර ගත හැකි වන්නේ ඉතා ස්වල්ප වූ ප්‍රමාණයෙකි. කඩයෙන් ශත පණහකට මිළට ගත් බලු නළාවෙන් නැගෙන හඬ අපේ බල්ලාට ඇසෙයි. එහෙත් ඒ හඬ අපගේ ඇසීමේ ඉහළම සීමාවත් ඉක්මවා ඇති හෙයින් අපට නො ඇසෙයි. දැකීම ඇසීම හා ගඳ සුවඳ දැනීම පිළිබඳ වූ අපගේ සීමා වලට වෙනස් වූ සීමා ඇති බොහෝ මෘගයෝත් පක්ෂීහූත් කෘමීහූත් ඇත්තාහ. ඉඳුරන් වහල් කොට ගෙන අපට අසු කර ගත නොහැකි බොහෝ දේවල් ඔවුන්ගේ ලෝකයේ ඇත.
බුද්ධිමත් මිනිසා උඩඟු වී සිටින මනුෂ්‍ය වර්ගයා ගැනම සිතා මවිත වෙයි. ඇති සැටිය දැකීමේදී මෘගයෝත් පක්ෂීහුත් කෘමීහුත් මිනිසාගේම නිපැදවීම් වන සියුම් උපකරණ සහ ඔහුත් ඉක්මවා ගොස් සිටිති. බුද්ධිමත් මිනිසා ඉඳුරනට අසු නොවන මේ නන් වැදෑරුම් වූ වස්තූන් ගෙන් කොටසක්වත් තමාටම අසු කර ගත හැකිදැයි සිතන්නට පටන් ගෙන තිබේ. නිදසුනක් ලෙසින් කිසියම් විදියකින් ආලෝකය හා ශබ්දය දැන ගැනීමට මිනිසාට ඇති ශක්තිය ටිකෙකින් හෝ වැඩි වන සේ අපගේ ඉන්ද්‍රියන් පුහුණු කර ගන්නට හෝ දියුණු කර ගන්නට හෝ හැකි වූවා යයි සිතමු. එවිට අපට කලින් ගොදුරු කොට ගත නොහැකි වූ බොහෝ වස්තූන් ගැන දැන ගන්නට නොලැබේද?. නැතහොත් ටිකක් විශාල වූ දැනීමේ සීමාවක් ඇති පුද්ගලයන් කීප දෙනෙකුන් අප අතර උපන්නාහයි සිතමු. සෙස්සන් දකින්නේ හෝ අසන්නේ හෝ නැති දේ ඔවුන් දකින්නේත් අසන්නේත් නැතිද? තමා තුළ පිහිටි රේඩියෝවකින් මෙන් ඔව්හු දුර සිට ශබ්ද නාසත්ද? තමා තුළ පිහිටි ටෙලිවිෂනයෙකින් මෙන් ඔව්හු දුර සිට රූප නොදකිත්ද?"

ඉතින් ඔබත් හැකිනම් මේ පොත කියවා බලන්න. බුදු දහමින් අපට උගන්වා ඇති බොහෝ දේ එවන් ආගමික පරිසරයකින් නොපැමිණි තැනැත්තෙකු විස්තර කර ඇති අපූරුව එවිට ඔබටත් පසක් වනු ඇත. එමෙන්ම ඔබගේ ජීවිත දර්ශනයත් යම් පමනකට හෝ වෙනස් වේ නම් මා මෙය ලියූ පරමාර්ථයද සපිරේ.

Tuesday, March 30, 2010

ගල්මල් ඔයේ ගල් වී

අපේ ලොකු අප්පච්චී හරියටම විශාල අතු පතර විහිදුන ලොකු ගසක් වැනි යැයි බොහෝ විට මට සිතී ඇත. අතුපත් විහිදී ඇත්තේ සිදාදියට වුවද අක්මුල් ඇත්තේ ගමේය. කොළඹ ගෙන්දගම් පොලොවට හිස රත් වන විට ඔහු දුව ඇවිත් නවතින්නේ ගල්මල් ඔයේ හෝ ගමේ ගහ කොල අතරය. ඊට හේතුව ඔහුගේ කුඩා කල සුන්දර මතක වැඩි හරියක් සැඟව පවතින්නේ ගමේ ගහ කොල අතර සහ ගල්මල් ඔයේ බැවිනි. ගල්මල් ඔය පිහිටා ඇත්තේ කරල්ලියද්ද නගරයත් මැදමහනුවරත් අතර මැදය. මයියංගනය පාරේ කරල්ලියද්ද පසු කොට මඳ දුරක් ගිය පසු ගල්මල් ඔය හමුවේ. ලොකු අප්පච්චිගේ ගම් පළාත මේ ඔයට උඩින් පිහිටි පුරාණ ගමකි.
කොළඹ අහස රත් වන විට හිටි ගමන් ලොකු අම්මා සහ දු දරු කැලත් සමඟ ඔහු ගම් පියසට පියඹා එයි. මයියංගනය ප්‍රධාන පාරෙන් හැරී තවත් සැතපුම් කාලක් පමණ ඇතුලට වෙන්න මෙම ගම පිහිටා ඇත. පුංචි සංදියේ ගමේ සිට එක වයසේ කොලු කැලත් සමඟ මේ මග ගෙවා අඹ දඹ නාරන් කකා පැමිණ ගල්මල් ඔයේ සීතල වතුරේ දිය බුන් ගැසූ අයුරු ඔහු අපට හැමදාමත් රස කර කියයි. බොහෝ විට ඔහු කොළඹ සිට පැමිණෙන විට ගමේ යන්නට පෙර ගල්මල් ඔයේ ගිලී සිසිල් දියෙන් දාහය නිවාගෙන යෑම සිරිතය. මේ එක් ගමනකට මා එකතු වූ එක් දිනක "අද නම් කවුරුවත් නෑ වගෙයි. ඕනෙ නම් ගල් වෙන්නත් පුලුවන්" යැයි කියමින් ලොකු අම්මා මහ හයියෙන් සිනා සුනාය. ලොකු අප්පච්චිගේ රස කතා අසා පුරුදු මගේ කුතුහලය මින් ඇවිස්සිනි. ලොකු අම්මා කී පරිදි ඒ කතාව මෙසේය. 
මේ සිද්ධිය සිදුවූ කාලයේ අපේ ලොකු අප්පච්චි විදුදය සරසවියේ පළමු වසරේ සිසුවෙකි. මහවැලි ව්‍යාපාරය මේ වන විට ඇරඹී තිබුනේ නැත. එතෙක් ජීවිතය මහනුවර සිසිල් පරිසරයේ ගෙවා දා සිටි ඔහුට මුල් කාලයේ කොළඹ ජීවිතය අතිශයින් වෙහෙසකර විය. මේ නිසා සතියෙන් දෙකෙන් නිතර නිතර ගමට පැමිණීමට ඔහු පුරුදුව සිටියේය. ගමට යාමට පෙර කොළඹ දාහය ගල්මල් ඔයේ පාකර හැරීමටද ඔහු වග බලා ගත්තේය. මෙසේ ආ එක් දිනක වෙලාව සවස දෙක පමණ වූ අතර යන්තමින් වැසි කළුවර පැවති නිසාදෝ පුරුදු දිය නාන තැන හිස්ව පැවතියේය. මේ වැසි අඳුර සහිත අවේලාවේ කිසිවෙකුත් නොපැමිනිතැයි සිතූ ඔහුට ගමේ කොලු කුරුට්ටන් සමග එක්ව දිය නෑ සංදියේදී මෙන් උපන් ඇඳුම පිටින් දිය නෑමේ ආසාවක් උපනි. මෙම ඇඳුමෙන් සැරසී ඔහු ටික වේලාවක් සුපුරුදු ආනන්දයෙන් දිය නාන විට ගමේ දන්නා හඳුනන ස්ත්‍රියක විශාල රෙදි පොට්ටනියක් අතැතිව නාන තො‍ටුපලට පැමිනියේය. දැන් කුමක් කරන්නද? ගොඩට ඒමට නොහැකි බැවින් ඔහු දිගටම දිය නාන්නට පටන් ගත්තේය. මේ වනවිට ඔහු පැය දෙක තුනක්ම වතුරේය. ටිකෙන් ටික සීතලෙන් වෙව්ලන්නටද පටන් ගති. "ලමයෝ මොකද තවමත් වතුරේ. ඔය නෑවා මදිදැයි" ස්ත්‍රිය අසයි.  කුමක් කියන්නද?. "නෑ නැන්දේ කොළඹ හරි ග්‍රීෂ්මයි නේ. තව ටිකක් නා ගත්තොත් හොඳයි" කියමින් ඔහු වෙව්ලමින් නායි.  ස්ත්‍රියද සැක මුසුව ඔහු දෙස බලයි. එහෙත් ඇය ආ කාරිය නිවාඩු පාඩුවේ කරයි. අවසානයේ ඈ පිටව ගොස් ඇත්තේ සවස හය පමනට ආසන්නවය. එතෙක් වේලා වෙව්ලමින් සිටි ලොකු අප්පච්චී දනි පනි ගා ගොඩට විත් ඇදුම් ඇඟලා ගෙන ගෙදර ගොස් අත්තම්මාගෙන් ලොකු උනු තේ කෝප්පයක් ඉල්ලාගෙන බී ඇත. ලොකු අම්මා කියන විදියට නම් එදායින් පසු ඒ ඇඳුමින් ඔහු කවරදාවත් ගල්මල් ඔයේ දිය නා නැත.

Friday, March 26, 2010

ඔබටත් දිවැස් තිබේද

බෞද්ධාගමිකයන් ලෙස මාර්ග ඵල ලාභීන් සතුව පවතින එක් විශේෂ හැකියාවක් ලෙස දිවැස (Clairvoyance) ගැන අප අසා ඇත. බටහිර ආභාෂය අනුව විද්‍යාත්මක නිරීක්ෂණ සහ නිගමන මත පදනම්ව පසිඳුරන් ඇසුරෙන් ලෝකය දැකීමට පුරුදු පුහුනුව ඇති අපි මෙවැන්නක් පවතීදැයි සැක සංකා ඇති කර ගැනීමටද පෙළඹෙමු. එසේ නමුත් අපේ පසිඳුරන්ට හසු වන්නේ මිනිස් ජීවීන් ලෙස ඊට අයත් පරාසයන් බව විද්‍යාවෙන්ම සනාථ කොට ඇත. නිදසුනක් ලෙස අපේ ඇසට පෙනෙන පරාසයට වඩා සමහර සතුන්ට පෙනෙන පරාසයන් වෙනස් බැවින් අපට නොපෙනෙන සමහර දේ මෙම සතුන්ට පෙනේ. ජීවීන් ලෙස අපට පෙනීම ලැබෙන්නේ ආලෝක තරංග වල එම ජීව කොට්ටාශයට අයත් සංඛ්‍යාත පරාසය තුල වන අතර ඇසෙන ශබ්දද එම ජීව කොට්ටාශයට අදාල පරාසයන්ට අනුකූල වේ.
නමුත් ජීවින්ට අයත් මෙම පරාසය සමහර පුද්ගලයන්ට ස්වභාවයෙන්ම වැඩි විය හැක. එවැන්නන් පිළිබඳ විස්තර විටින් විට ලොව එක් එක් පෙදෙස් වලින් අසන්නට ලැබේ. බුදු දහමට අනුව මේවා සවැනි ඉන්ද්‍රියට අයත් ශක්තීන් වන අතර භාවනාව වැනි අධ්‍යාත්මික ක්‍රම මගින් ඒවා වැඩි දියුණු කර ගත හැක. කිසියම් පුද්ගලයෙකුට මෙවන් ශක්තියක් පවතී නම් එය ඔහු හෝ ඇය සතු අධිමානසික ශක්තියක් ලෙස  හැඳින්වේ. අධිමානසික ශක්තීන්ට අයත් එක් ශක්තියක් වන්නේ දිවැසයි. එය අතීන්ද්‍රිය ඥාණයට (Extrasensory Perception - ESP) අයත් එක් අංශයකි.
බටහිර විද්‍යා ඥානය වැරදි ලෙස අල්ලා ගෙන දිවැස වැනි අපේ ඇසට නොපෙනෙන සිද්ධීන් පිළිබඳව අප සැක සංකා මතු කළද බටහිර ලෝකය බොහෝ කලක සිට මෙම අධිමානසික ශක්තීන් පිළිබඳව පරීක්ෂණ පවත්වයි. ඇත්ත වශයෙන්ම ඔවුන් දියුනු කළ විද්‍යා ඥානයට හේතුව කිසියම් සැක සහිත කල්පිතයක් අවඥාවෙන් බැහැර නොකොට ඒ පිළිබඳව පරීක්ෂණ  පැවැත් වීමයි. දිවැස පිළිබඳ පරීක්ෂණ වල ආරම්භය 1830 තරම් ඈත කාලයකට දිවෙන අතර ඔවුන්ගේ පරීක්ෂණ වල ප්‍රතිඵල සඳහන් බොහෝ පොතපත පළව ඇත. මේ පොත් සමහරක් පිළිබඳ විස්තර http://en.wikipedia.org/wiki/Joseph_Banks_Rhine සහ
http://en.wikipedia.org/wiki/Parapsychology
යන වෙබ් අඩවි වලින් ලබා ගත හැක. අධිමානසික විද්‍යාව පිළිබඳ පරීක්ෂකයන් බොහෝ දෙනෙකු බටහිර සරසවි වලට අනුයුක්ත විද්‍යාඥයන් වන අතර එම සරසවි ලොව පිළිගත් ආයතනද වේ. නිදසුන් ලෙසින් ඇමෙරිකාවේ හාවර්ඩ් සරසවියේ ආර්. හඩ්සන් (R. Hudgson), ඩියුක් සරසවියෙහි ජේ බී රයින් (J. B. Rhine) සහ කොළොම්බියා සරසවියෙහි ජේ. එච්. හයිස්ලොප් (J. H. Hyslop) මෙන්ම රුසියාවෙහි ශාන්ත පීටර්ස්බර්ග් සරසවියෙහි ඩී. මෙන්ඩලීව් (D. Mendeleev) මෙම ක්ෂේත්‍රයෙහි පරීක්ෂණ පැවැත්වූ විද්‍යාඥයන් වේ.   
ඩියුක් සරසවියෙහි අධිමානසික විද්‍යාගාරයෙහි සේවය කළ J. B. Rhine සහ  William McDougall 1937 දී ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල විද්‍යාත්මක සමාජයෙහි ප්‍රචලිත කිරීම සඳහා අධිමානසික විද්‍යා සඟරාව
Journal of Parapsychology(http://www.rhine.org/researchjournal.htm)
ආරම්භ කළ අතර තවමත් එම විද්‍යාඥයන්ගේ සිසු පරපුර එය පවත්වාගෙන යයි. දැනට ප්‍රධාන වශයෙන් මෙවැනි පරීක්ෂණ සිදු කරන එක් ස්ථානයක් වන්නේ  ඇමෙරිකාවේ රයින් පර්යේෂණායතනයයි. මෙම පරීක්ෂණායතනයට බ්ලොග් අඩවියක්ද (http://rhineonline.blogspot.com) ඇති අතර වැඩි විස්තර එමගින් සහ රයින් පර්යේෂණායතනයෙහි (Rhine Research Center-http://www.rhine.org) වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
දිවැස පරීක්ෂා කිරීම සඳහා මෙම පරීක්ෂකයන් සෙනර් කාඩ් පරීක්ෂණය (Zenner Card Test) භාවිතා කරයි. මෙම පරීක්ෂණය 1920 දී  ඩියුක් සරසවියෙහි සේවය කළ මහාචාර්ය  ජේ බී රයින්ගේ සිසුවෙක් වන ආචාර්ය කාල් සෙනර් (Dr. Karl Zenner) විසින් හඳුන්වා දෙන ලදී. මෙය සම්භාවිතාවයෙහි සරල නියාම මත පදනම් වූ පරීක්ෂණයක් වන අතර එයට පහත දැක්වෙන සංකේත පහ (රවුම, කතිරය, තරංගය, කො‍ටුව සහ තරුව) එකක් පස් වරක් බැගින් සඳහන් වන පරිදි වූ කාඩ් පත් 25 ක් භාවිතා කරයි.

පරීක්ෂණය කරන ආකාරය
1. පළමුව කාඩ් පත් හොඳින් අනා ගන්න.
2. කාඩ් පත් එක එකක් බැගින් ගෙන කාඩ් පතෙහි ලකුන සඳහන් පැත්ත යට අතට සිටින සේ තබමින්  පරීක්ෂණයට භාජනය වන පුද්ගලයාට සංසුන් ඒකාග්‍ර මනසින් එහි සඳහන් ලකුන අනුමාන කර පවසන ලෙස කියන්න.
3. මෙම අනුමානයන් ලකුනු කර ගන්න.
4. කාඩ් එකක් පිට එකක් තබමින් කාඩ් 25 ම අවසාන වන තුරු මෙය සිදු කරන්න.
5. අවසානයේ කාඩ් කුට්ටම උඩ අතට හරවා නිවැරදි කාඩ් සලකුන සමඟ පරීක්ෂණයට සහභාගි වූ පුද්ගලයා අනුමාන කළ සලකුනු සසඳන්න. නිවැරදිව අනුමාන කළ සංඛ්‍යාව ලකුනු කර ගන්න.
6. මෙය වැඩි වාර ගනනක් කරන්න.
නිදසුනක් ලෙස ඔබ මෙම කාඩ් කුට්ටම භාවිතයෙන් හතර වතාවක් මෙම අනුමාන කිරීම් සිදු කළේ නම් ඔබ අනුමාන කිරීම් 100 ක් සිදු කර ඇත. සම්භාවිතා නියමයන් අනුව මෙවිට සසම්භාවී අනුමාන කිරීම් බලාපොරොත්තු විය හැක්කේ 20 ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවකි. පරීක්ෂණයට භාජනය වූ තැනැත්තා 40 හෝ ඊට වැඩි වාර ගනනක් අනුමාන කොට ඇත්නම් එමගින් ඔහු හෝ ඇයට දිවැස් ඇතැයි සැකකළ හැක.  
මෙම පරීක්ෂණය පරිගනකය භාවිතයෙන් කිරීමටද අවකාශ සලසා දී ඇත. පහත වෙබ් අඩවි වලින් එය ඔබට අත් හදා බැලිය හැක.
1. http://www.psychicscience.org/esp3.aspx
2. http://www.psychic-experience-for-you.com
3. http://www.freepsychicnetwork.com/Free_Psychic_Abilities_Test.html
මෙම වෙබ් අඩවි මගින් ඔබේ අනුමාන කිරීම් වලට අදාල සම්භාවිතා අගයන්ද දෙනු ලබයි. ඉතින් බලන්න ඔබටත් දිවැස් තිබේද කියා. වඩා හොඳ ප්‍රථිපල ලබාගැනීමට සංසුන් පරිසරයක සංසුන් මනසකින් යුතුව පරීක්ෂා කර බලන්න. පෘතග්ජන මට නම් දිවැස් නැහැ. එහෙත් ඔබ එවන් වාසනාවන්තයෙක් නම් !!

Thursday, March 25, 2010

ගණිතයේ සොඳුරු බව

අද ටිකක් වෙනස් මාතෘකාවක්. ගණිතය අමාරුයි කියල හිතන අයට පුංචි ගණිත විජ්ජා ටිකක් තමයි මේ.
බලන්න මේ රටා වල තියෙන සමමිතික බව.
       1 x 8 + 1 = 9
       12 x 8 + 2 = 98
       123 x 8 + 3 = 987
        1234 x 8 + 4 = 9876
       12345 x 8 + 5 = 98765
        123456 x 8 + 6 = 987654
        1234567 x 8 + 7 = 9876543
        12345678 x 8 + 8 = 98765432
       123456789 x 8 + 9 = 987654321

       1 x 9 + 2 = 11
       12 x 9 + 3 = 111
       123 x 9 + 4 = 1111
        1234 x 9 + 5 = 11111
        12345 x 9 + 6 = 111111
        123456 x 9 + 7 = 1111111
        1234567 x 9 + 8 = 11111111
        12345678 x 9 + 9 = 111111111
       123456789 x 9 +10= 1111111111

       9 x 9 + 7 = 88
       98 x 9 + 6 = 888
       987 x 9 + 5 = 8888
       9876 x 9 + 4 = 88888
       98765 x 9 + 3 = 888888
        987654 x 9 + 2 = 8888888
        9876543 x 9 + 1 = 88888888
       98765432 x 9 + 0 = 888888888

       1 x 1 = 1
       11 x 11 = 121
       111 x 111 = 12321
       1111 x 1111 = 1234321
       11111 x 11111 = 123454321
        111111 x 111111 = 12345654321
        1111111 x 1111111 = 1234567654321
       11111111 x 11111111 = 123456787654321
       111111111 x 111111111=123456789 87654321

හිතා ඉන්නවට වඩා වැඩි කරන එක ලේසියි නේද?

Tuesday, March 23, 2010

උතුරු සුළඟ


"මා තොටින් එන උතුරු සුළඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුලු හංගන - සරෝජා මගෙ දෝණියේ
 වෙඩි හඬින් පොඩි අකුරු ඇද වෙයි - මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මම සිසුවියයි ඔබ - ඒත් අපි එක පංතියේ"
 
ඊයෙ හවස් යාමේ ආයෙමත් දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන මේ ගීය අහන්න ලැබුනා. හැමදාමත් වගේ මේ ගීය ඇසෙන කොට මගේ ඇස් අගට කඳුලක් උනන්නේ මටත් හොරෙන්. හේතුව මේ ගීතයක් එක්ක මගේ පුංචි සම්බන්ධයක් තියන නිසයි. කාලය 1999 සිට ගිය වසර (2009) දක්වා දිව යනවා. උතුරු කොනට තරම්ම නොවුනත් දකුනේ හිටි අපිටත් ඒ වසර තිහක කාලය ගෙවුනේ එක්තරා විදියක නොසන්සුන් සිතකින්. ඒක කොයි තරම් අපේ සිත් වලට බලපාල තිබුනද කියන එක තේරුනේ යුද්දේ ඉවරයි කියන ආරංචිය ලැබීමත් එක්ක දැනුන සහනදායි හැඟීම අපේ සිත් වෙලා ගත් අසිරිය මතකයට නැගෙන කොටයි.
1999 වසරෙ ඉඳලා හැම වසරකම එක්තරා අධ්‍යාපනික වැඩ සටහනකට උතුරේ අපේ සහෝදර සහෝදරියනුත් සහභාගි වුනා. මේ අයගෙන් සමහරු ඒ තමයි දකුනට ඇවිත් තිබුන පළමු වතාව. වෙඩි හඬවල් මැදින් සැකෙන් බියෙන් බොහොම අමාරුවෙන් ආව ගමනක් ඒක. තව පැත්තකින් ඒ අයගෙන් සමහරුන්ට මේ ගිනිගත් දේශයෙන් පිටමන් වෙන්න මේ වැඩසටහන හරහා අවකාශයක් ලැබෙයි කියන පූංචි බලාපොරොත්තුවකුත් තියෙන්න ඇති. ටිකක් හිතන්න, ඉපදුන දවසෙ ඉඳලා තමන්ගේ සතුරෝ කියල හඳුන්වන මිනිස් කොට්ටාශයක් ලඟට එන්න වෙන පළමු දවසේ ඒ අයගේ හැඟීම් කොහොම වෙන්න ඇත්ද කියලා. ‍තෝරා ගැනීමේ පරීක්ෂනයට මුහුන දුන්නට ඒ අයගෙන් වැඩි දෙනෙක් හිටියේ බය වෙලා වගෙයි. ඒ ඇස්, ඒ මුහුනු තාමත් මට මැවිලා පෙනෙනවා.  වැඩ සටහනට සහභාගි වෙන්න ඒ අයට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් තිබුනත් කිසිම කෙනෙක්ගෙ මුහුනේ ආසාවටවත් දකින්න හිනාවක් තිබුනේ නැහැ. අහන ප්‍රශ්නෙකටත් දුන්නෙ ඉතාමත් කෙටි පිළිතුරු. ඒත් වාසනාවකට මේ අයගෙ මේ තත්වය ‍තෝරා ගන්නා මණ්ඩලයේ වැඩි දෙනෙක් තේරුම් අරන් තිබුනා. ත්‍රස්තවාදීන් කියන ඇසෙන් බලන්න ඒ කාටවත්ම ඕන උනේ නැති නිසා ආව වැඩි දෙනෙක්ම හැම වසරකම වැඩ සටහනට තේරුනා. වැඩ සටහන ඇරඹුන පසු හැමදාමත් මගේ ඇස් ඒ අයටත් හොරෙන් එයාල ලඟ නතර වෙලා තිබුනා. දවසින් දවස ඒ අය හිනා වෙන්න ඉගෙන ගත්තා. වසර අවසාන වෙනකොට හිනාව පිරුනු ඒ මුනූ දිහා බලලා මටත් හිනාවෙන්න පුලුවන් වුනා.
මේ සිදුවීම හැම වසරකම මේ විදියට සිදු වුනත් එක් වසරකදි මට අමතක නොවන සිදුවීමකට මුහුන දෙන්න සිදුවුනා. ඒ වතාවේ ඇවිත් හිටියා ඉතාමත් ලස්සන ගැහැනු ළමයෙක්. හරියටම උතුරු සුළගට පාවෙලා ආ සමනලියක් වගේ. ඒත් එක්තරා ප්‍රශ්නයක් නිසා මේ සිසුවිය එදාම වැඩ සටහනට බඳවා ගන්න පුලුවන් වුනේ නැහැ.  ඒ බව ඇයට දැනුම් දී අවශ්‍ය අනෙකුත් සහතික සපයන ලෙස කිව්වා. මට තේරුනා ඉන් ඇය හුඟක් කළබල වුන බව. ඇය නොතේරේදෝ යන සැකය ඇයට ඇතිවුන බවත් පෙනුනා. මම දැක්කා අනික් හැම දෙනෙක්ම ‍තෝරා ගැනීම් අවසානයේ පිටව ගියත් ඇය තවත් පුද්ගලයෙක් සමඟ ‍රැදී සිටිනවා. ඒ තැනැත්තා ඉදිරියට විත් මා සමග කතා කරන්න අවශ්‍ය බව කිව්වා. ඒ ඇයගේ පියා. ඔහු රජයේ සේවකයෙක්. දිර්ඝ කාලයක් දකුනේ සේවය කර 1983 කළබල නිසා දරුපවුල සමග යාපනයට ගිහින්. "මට හොඳට සිංහල කතා කරන්න පුලුවන්" ඔහු කතාව පටන් ගත්තා. ඇය ඒ අවස්ථාවේ ‍තෝරාගැනීමට ඇති අපහසුව මා විස්තර කර දුන්නා. ඒත් ඒ පිළිතුර ඔහුගේ දෙගිඩියාව සමනය කලේ නැහැ. ඔහුටත් තිබුනෙ තම දියණිය මේ වැඩ සටහනට නොතේරේවිදෝ යන සැකය. ඔහු තවත් විස්තර කියන්න උත්සාහ කළත් එකපාරටම කටහඬ බිඳී ගියා. ඔහුට ඔහුවම පාලනය කර ගත නොහැකි වුනා. මට කිසිම සම්බන්ධයක් නැති වැඩිහිටි පිරිමියෙකුගේ හඬාවැටීම හමුවේ මම නිරුත්තර වුනා.  ඒ පියෙකුගේ කඳුලු. ඔහුට තවත් තම දියනිය ඒ යුදපිටියට ගෙන යන්න අවශ්‍ය වෙලා තිබුනේ නැහැ. ‍රැක ගත යුතු වයසේ සිටින සුන්දර දියනියක් ‍රැක ගැනීමේ වගකීම ඒ පියානන්ට කෙසේ තිබෙන්නට ඇත්දැයි කීමට තවත් අ‍ටුවා ටීකා කුමකටද? ඉතා අපහසුවෙන් නැවත වරක් ඔහුට ඇතිව තිබෙන අඩුපාඩු පැහැදිලි කලා. මේ සිදුවීමත් එක්ක ඇතිවුන කම්පනය දින, සති ගනනාවක් මගේ හිතේ ‍රැදුනා. දීපිකාගේ මේ ගීය ඇහෙන සෑම අවස්ථාවකදීම එම කම්පනය නැවත අවදිව මගේ ඇසට නිරායාසයෙන් කඳුලක් ගෙන එනවා.
යුද්ධය ඉවරයි. ආයෙමත් එවැන්නක් කවමදාකවත් ප්‍රාර්ථනා නොකරමු. යුද්ධයට අප දෙන කවර හේතුවක් වුනත් අවසාන විග්‍රහයේදී අතිශයින්ම අසාධාරණයි. ජාති කුල මල ආගම් ආදී මෙකී නොකී හැම කො‍ටු පවුරකටම ඉහලින් සිහිල් සුළඟක්ව අපට පවතින්නට හැකිනම්!!

Monday, March 22, 2010

නොරත-රත

අසම්මත කවියක
අරුත් සුන් පද වැල ඔබ
හසරක් නොදැක ගයනා
කවිකාරියයි මම

සසර මඟ ඇමිනුන
ක‍ටුවැල් පඳුර ඔබ
පිපෙන්නට ඉකි ලන
නොපිපි පරසතු මල මම