-->

Thursday, May 26, 2011

"වෙසක් සැනකෙළි සහ මත්වීම"

ආගම අබිං යයි කිව්වේ කවුරුන්දැයි මට මතක නැත. ඒත් ආගම අබිං වන්නේ කෙසේදැයි මට බොහෝ කලක් යනතුරු වැටහුනේ නැත. අබිං යනු අවශ්‍ය ප්‍රමානයට යොදාගත් කළ ඉතා වටිනා ඖෂධයකි. ඖෂධයක් සේ භාවිතා කරන කළ ඉන් ශාරීරික මෙන්ම මානසික ලෙඩද සුව කර ගත හැක. එනමුදු ප්‍රමානය ඉක්මවා වැරදි ලෙස භාවිතා කරන කළ ඉන් විකල් සිහි ගෙන දෙමින් මත්ව යාමක් සිදුවේ. ඒ අබිං වල ක්‍රියාකාරිත්වයයි. ඉතින් ආගම අබිං වන්නේ කෙසේද?
වෙසක් සැනකෙළිද දොරින් දොර පැවති දන්සැල්ද අවසන්ය.දේශපාලනිකව මෙන්ම මාධ්‍ය මගින් දියත් කළ ආගමික කටයුතුද අවසන්ය. මේ සියල්ල දෙස බලා සිටින කළ ආගම අවභාවිත වන සෙයක් මට දැනෙයි. අබිං මෙන් අවශ්‍ය ප්‍රමානයට වඩා වැරදි ලෙස සමාජ ගත කරමින් මේ මොහොත අමතකව යනසේ මත්ව ගිය සමාජයක් නිර්මානය වෙමින් පවතීද? 
වෙසක් දිනට දෙදිනකට පෙර මායිම් ගම්මාන ලෙස කලක් හැඳින්වූ උතුරේ ගම්මාන කිහිපයක රාජකාරි අවශ්‍යතාවයක් වෙනුවෙන් සැරිසරන්නට සිදුවිය. තවමත් අන්ත දුප්පත් කමේ වෙලෙමින් අතිශයින් ශුෂ්ක පරිසරයක කුඩා ගෙපැලවල වෙසෙන ඔවුන්ගේ මුහුනු මට මේ වෙසක් සැනකෙළි මැද පෙනෙන්නට විය. බොහෝ වෙහෙස විඳ හදා වඩා ගන්නා බෝග එක්කෝ කර්කශ වියලි පරිසරයට අසුව විනාශව ගොසිනි. කොහෙන් හෝ වතුර සපයා ගෙන ඒවාට සාත්තු කළද, දෙපා කොටින්ගේ අතවර අහවර වුවද වල් අලින්ගෙන් ඒවා බේරාගත නොහී ඔවුන් ලතවෙයි. කුසට අහරක් සේ අවසන ඉතිරි වන කොස් ගැටයට පවා වල් අලින්ගෙන් හානි වුවද තවමත් ඔවුන්ට වල් අලින් ඔවුන්ගේ "පුල්ලෙයාර් දෙවියන්ය". එපමණකටම අවිහිංසකව කුසගින්නේ වුව සතා සීපාව සමග සංහිදියාවෙන් සිටීමට වෙර දරන ඔවුන් අබියස මගේ දෑසට කඳුලක් නැගුනේ මාද නොදැනීය.
ඉතින් අපේම රටේ එක් කොටසකගේ ජීවිත මෙසේ ගෙවී යද්දී හන්දියක් හන්දියක් ගානේ දන්සැල් පවත්වමින් අපි වෙසක් සැනකෙළියේ යෙදුනෙමු. පාට පාට විදුලි බුබුලු  සහ සැරසිලි වලින් නගර ගම් සරසා ඒකාලෝක කළෙමු. මේ සියලු සැනකෙළි එක පසෙකද බුදුන් වහන්සේ එක පසෙකද හිඳිමින් මසිත යලි යලිත් ප්‍රශ්න කරයි. බුදුන් වහන්සේ විවර කළ මග  දැනටමත් අප වරදවා ගෙන නැතිද? ආගම අවභාවිත වී ඉන් මත්ව ගිය කළ මේ මොහොතේ අවධානය බි‍ඳෙන බැවින් ආගමින් මත් කරවීම කවර පාලකයෙකුට වුවත් වටිනා ආයුධයක් නොවන්නේද?
අනේ පිං ඇති මහතුනේ..... බුදුන් ගිය මග යායුතු නම් .... අඩුම තරමින් පොසොන් දන්සැල් වත් ජනී ජනයාට විනෝදයට ආහාර සපයන ස්ථාන නොකර අවුරුද්දේ සෑම දිනකම ශුෂ්ක ආහාරයෙන් යැපෙන මේ දුශ්කර ගම්මාන කරා ගෙන යා හැකිනම් එය ආහාර ඇවැසි තැනකට දුන් මහා දානයක් වන්නේය. ඒ මොහොතේ බුදුන් වහන්සේ ඔබ තුල හිනැහෙනු නො අනුමානය.   

7 comments:

  1. හ්ම් ඒ කතාව ඇත්ත... දානයක් දෙන්න ඕනේ දානයක් ලබන්න සුදුසු කෙනෙකුට.

    ReplyDelete
  2. එහෙම තමා කට්ටිය පිළිවෙතින් පෙළ ගැහුනේ

    ReplyDelete
  3. ඒ කතාවනම් ඇත්ත අක්කේ.. අපිට ඒ වගේ අසරණ මිනිස්සුන්ට එක වේලක් හරි කන්න දෙන්න පුළුවන්නම් එක කොයි තරම් දෙයක්ද...

    ReplyDelete
  4. ආගම,අධ්‍යාපනය සහ නීතිය කියන සියල්ලම හුදෙක්ම මේ වන විට දේශපාලනීකරණය වූ දේවල්ය. අනෙකාගේ දුක කඳුළ හඳුනාගෙන පරිත්‍යාගවීම වෙනුවට මේ සියල්ල මගින්ම සිදු කලේ කවදත් පටු ආත්මාර්ථකාමී දේශපාලනයට අවශ්‍ය අරමුණු සහිත වීමය. එනිසා හැම දෙයක්ම නිකම්ම මතුපිටින් කරන ලාභ ජනප්‍රිය දේවල් මිස තමන්ගේ භූමියේම වෙසෙන සහෝදර ජනතාව වෙනුවෙන් සිදු නොවන දේවල් බවට මේ රටේ හැම ක්ෂේත්‍රයක්ම අද පත් වී ඇත්තේ එබැවිනි. අද කරමින් සිටින්නේ බුදුන්ව වෙන්දේසි කිරීමකි. බුදුන්ගේ මාර්ගයට සැබවින් පිවිසෙන්නේනම් මේ සියල්ලම සම්පූර්ණයෙන් උඩුයටිකුරු විය යුතුය.

    ReplyDelete
  5. ස්තුතියි හැමෝටම
    මැණික්

    ReplyDelete
  6. මේ ටිකේ මගෙ වැඩවැඩි කම නිසා මේව කියෙව්වත් වචනයක් ලියන්නට නොහැකි උනා. මේ කියන කතාව මමත් අනුමත කරනවා නංගි. ගොඩක් තැන් වල දන්සැල් දුන්නෙ කන්න තියෙන අයටමයි. මෙහෙම වත් හඬක් නගන්නට පුලුවන් උන එකට සතුටුයි. මේ ගැන ඉදිරියට වත් හිතාවි කියල හිතනවා.

    ReplyDelete
  7. සහතික ඇත්ත.දුප්පතෙකුගෙ දුක නොතේරෙන සන්වෙදි හදවත් නැති යාන්ත්‍රික වුනු සමාජයක මොඩ්ෆයි උන බොහෝ අයගේ මොල සොදනයට කාලය එලබ ඇත,.............බුදුනේ බුදු පියානනේ මනුසත් දෙරනෙ අදුර මකන්නට පුනරාගමනය කල මැනව්..........

    ReplyDelete