Thursday, September 27, 2012

"Yes Sir"

ඒ අපේ සමාජය මෙතෙක් ගමන් කළ විදියයි. හරි හෝ වැරදි වේවා සියල්ලටම Yes Sir කියා නිහඬ වීම හෝ තමන් දරනා මතය  අවශ්‍ය අවස්ථාවේ කෙළින්ම නොපවසා තැන තැන මුමුණමින් විරුද්ධ අදහස් පල කිරීම තවමත් අපේ බොහෝ දෙනෙකු වඩා කැමති ආකාරයයි. සමහරවිට එය අපේ සංස්කෘතියට අනුකූලව අප ලද යමක් විය හැක (???). ඊට එක් හේතුවක් ලෙස මා දකින්නේ බටහිර රටවල් මේ තත්වයෙන් විතැන්ව ඇති නිසාය. ඔවුහු අනිකා කැමති වුවත් නැතත් තමන් දරන අදහස එළිපිට ප්‍රකාශ කරති. අකැමැති දේට තම අකැමැත්ත ප්‍රශ්නය පැන නැගුණ අවස්ථාවේම ප්‍රකාශ කරති. එහෙයින් ප්‍රශ්න ඔඩු දුවන්නට පෙර සංවාද විවාද මගින් ඒවා සමනය වනු දැකිය හැක.
එහෙත් අපි No Sir කියන්නට පැකිලෙමු. දිගු කලක් No Sir යැයි අසා නොමැති ඔවුහුද අපෙන් Yes Sir පිළිතුරම බලාපොරොත්තු වෙති. එහෙයින්ම තමන් කැමති දෙයක් තමන් රිසි ආකාරයට කිරීමට තමන්ට හැකි යැයි ඔවුහු සිතති. ඒ අනුව ක්‍රියා කරති. No Sir යැයි අහම්බෙන් හෝ ඇසුණ කල කිපෙති. මේ Yes Sir පිළිතුරු අපේක්ෂාව සමාජයේ පහළ සිට ඉහළ දක්වා ගමන් කොට ඔඩු දුවා අවසන්ය. දැන්වත් අපි No Sir යැයි සාමූහිකව හෝ කියන්නට උගත යුතු නොවේද?.

Monday, September 24, 2012

"හන්තාන අඳුරුය"

පරිසරය අඳුරුය. පාලු මං පෙත් දිග ඇවිද යමි. හන්තාන කඳු පෙළ මත අඳුරු වලාකුල් පතිතව ඇති සෙයකි. තාරුණ්‍යයේ  අයිතිය හිමි මේ බිම පිරී ඉතිරුන සිනාවන් වියැකී ගොසිනි. එහෙත් ඊයේ මෙන් අදද, හෙටද ජාතියක පෙර ගමන වෙනුවෙන් ඔවුන් කැප වෙනු ඇත. නන්දා මාලනියගේ සිහින් හඬ මට ඇසේ.

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු, සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ

කුසින් අඩක් දළ අහරින් සතපා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උනුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

පීඩනයෙන් තැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

හන්තාන අඩවියේ ....................




Thursday, September 20, 2012

"බුදිද බං???"


කෝ මේ සිංහයෝ
උන් බුදිද බං ?

නැත්නම් ඉන්නෙ 
තැන තැන මුමුනන
හිවල්ලුම විතරක්ද ?

මුසා බස් දොඩමින් 
කවටයින් සේ රඟන
කේවට්ටයන්ගෙ මුව
වසුරු අහුරක් ලන්න
අනේ එක සිංහයෙක්
බේතකටවත් නැද්ද?

Monday, September 10, 2012

"නියඟය අවසන්ද?"

මහ පොළොව ඉරි තලා යන නියඟයක අවසන අප නෙත ගැටෙන්නේ කර්කශ දූවිලි වලා නැගි පරිසරයකි. සිසිල් සුලඟද නෙතට ප්‍රිය නිල්වන් ගහ කොළද අප අතැර ගොස් ඇති සැටියකි. දැඩි නියඟයකින් අනතුරුව ලංකාවේ අපට අත් විඳින්නට සිදුවන අනෙක් අතවරය නම් විදුලිය විසන්දියයි. එය අප පසුගිය සති කිහිපයක් තිස්සේ අත් විඳිමින් සිටියෙමු. විදුලිය නිපදවන ටර්බයින කැරකීමට නම් වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ජලාශ පිරී තිබිය යුතුය. කලට වැසි වැටී වික්ටෝරියා ජලාශය පිරී ඇති විට ගත් ඡායාරුවක් පහත ඇත.

නමුත් මාස කිහිපයක් තිස්සේ වැසි නොලැබ මේ වන විට එය පැරණි තෙල්දෙනිය නගරයේ තිබූ පාලම සහ චෛත්‍යය වෙත නැවත යාහැකි තරමටම දිය සිඳී ඇත. සිහින් දිය පහරක් හැරෙන්නට ජලාශයක් තිබූ ලකුණකුදු දක්නට නැත.

කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයකට යන්තමින් වැසි වැ‍ටුනද තවමත් වික්ටෝරියා ජලාශය අවට පෙදෙස් දුර්වර්ණ නියං සුලඟින් බැට කයි. ජල හිගකමින් ගොවියන් මෙන්ම සත්ව පාලනයේ යෙදෙන්නවුන්ද පීඩාවට පත්ව සිටිති. ඒ අතර ජලාශය නිසා එගොඩ මෙගොඩ යා නොහැකිව සිටි වන අලින් ජලය නැති හිස් බිම හරහා යමින් අවට ඇති නගර, ගම්මාන වලට ලඟා වීමේ අවදානමක සේයා ඇත. ඉතින් තවත් කල් පමා නොවී
"වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන......!!!"

Tuesday, July 24, 2012

"අවසානය අත ලඟද?"

මුරුගසන් වරුසාව වැටෙනවා
උනුන් කා කොටා ගෙන මියෙනවා

නොදරුවන් නොහඳුනන
තිරිසනුන් සේ බමන
විපරීත කාලයක
ලකුනු දස අත පෙනෙයි

අධර්මය රජ කරන
පාපතරයන් සරන
විකල් ලොව නුදුරෙහිම
නිමාවක් දකින්නෙද?

මුරුගසන් වරුසාව වැටෙනවා
උනුන් කා කොටා ගෙන මියෙනවා

Thursday, June 21, 2012

"සිත් පෑරේද රුපියල, රුපියල් දෙකට"

යාන්තමින් වේගය බාල කළ බස් රථයට ගොඩ වුනා විතරයි ආ වේගයෙන්ම එය ඉදිරියට ඇදෙන්න වුනා. රේස් යන බස් වල අපේ ජීවිතත් ඒ රේස් එකේම කොටසක් වෙලා. බසයට ගොඩ වෙලා බැරිවීමකින් වත් පය පැකිලුනොත් ඉතින් නතර වෙන්නෙ එහා ලෝකයේ. ඊලඟට සිද්ද වෙනවා මාරු කාසි හොයන්න. මගේ මුදල් පසුම්බියේ නම් එක කොටසක රුපියලේ, දෙකේ, පහේ මාරු කාසි නිතරම තියනවා. අවශ්‍ය මුදල අතට අරන් හිස ඔසවා බලන විට රතු පාටින් මුද්‍රණය කර බසයේ ඉදිරිපස අලවා තිබූ දෙයක් ඇස ගැ‍ටුනා.
"මාරු සල්ලි දෙයි නම් කොන්දොස්තරට
සිත් පෑරේද රුපියල රුපියල් දෙකට"
හ්ම්... ඒ කතාවත් ඇත්ත. ඒත් මට නිතරම හිතුන දෙයක් තමයි දවස් පතා මේ බස් රථ වල එකතු වන මාරු කාසි වලට මොකද වෙන්නේ කියන එක. හේතුව මේ කොන්දොස්තර වරු වැඩි දෙනෙක් අත බොහොම වෙලාවට ඉතිරි මුදල දෙන්න මාරු කාසි නැතිලු. ඉතිරි මුදල ඉල්ලා නොසිටියොත් බොහෝ විට එය නොලැබී යා හැකි ඉඩ වැඩියි. මේ තමයි ඉතින් බස් කොන්දොස්තරවරු වැඩි දෙනෙක් ගැන සාමාන්‍යයෙන් අහන්න ලැබෙනදේ. එහෙම නොවන අසාමාන්‍ය කතාත් තියනවා.
මෑත දිනකදි වෙනදා වගේම නියමිත මුදල ගානටම දීලා මම ටිකට් පත ලැබෙන තුරු බලා හිටියා.
"මිස්. රුපියල් විස්සක් මට දෙන්න"
ගානටම මුදල දුන්න එකේ තව රුපියල් විස්සක් මොකටද? මට එහෙම හිතුනා.
"ඉතින් මම සල්ලි ගානටම දුන්නනෙ?"
"කමක් නෑ මිස්. රුපියල් විස්සක් දෙන්නකො"
මොකටද ආයෙ සල්ලි කියල හිත හිතා මම තව රුපියල් විස්සක් ඔහු අතට දුන්නා.
ඔහු මගේ අත මුදලක් තබා ටිකට් පතදී ඉදිරියට ගියා.
සිදුව ඇතිදේ තේරුනේ ඔහු දුන් මුදල දෙස බැලීමේදී. රුපියල් විස්සක් කියල මම මුලින් දී තිබෙන්නේ අර දම්පාටට තියන අලුත් රුපියල් පන්සීයක්. මම ඔහු දෙස බලා සිටියා.  මගේ වැරදීම නිසා ඔහු අතට පත්වුන විස්සේ කෑලි විසිපහක්ම ආපසු මටදී මහ හඬින් නොනවත්වා කෑගසමින් ඔහු බසයට මිනිසුන් එකතු කරනවා. ඔහුගේ ඒ උත්සාහය ඔහු ඇතුලු තම දරු පවුල ජීවත් කරවීම වෙනුවෙන් විය හැකියි. වංක බවින් තොරව තම උත්සාහයෙන්, සිතට එකඟව තමන්ගෙන් යැපෙන්නන් ජීවත් කරවීමට ඔහු දරන වෙහෙස ඔහුට ආඩම්බරයක්වී ඇතැයි මට ඒ මොහොතේ සිතුනා. සාමාන්‍යයන් අතර ඔහු අසාමාන්‍යයෙක්ව සිටිමින් ඔහුගේ ‍රැකියාව කරන අනෙක් අය පිළිබඳ මගේ ආකල්පයද වෙනසකට හැරවූවා. සොයුර ඔබට ස්තුතියි.