Thursday, November 11, 2010

"වරද කාගෙද?"

අදත් බන්ධනාගාර කතාවක්. මේ කතාවෙ කතා නායිකාවට අපි  සුමනා කියලා කියමු. ඇගේ මුහුනෙ නම් සතුටක සේයාවක් වත් නැහැ. මලානික වුන ඇස් අග කඳුළු.
"මොකද්ද සුමනා වුනේ?"
මගේ ප්‍රශ්නයට ඇය එකවර පිළිතුරු දුන්නෙ නැහැ. මොහොතක් මගේ මුහුණ දෙස බලා සිටියා.
"ඇයි, කියන්න අකැමැතිද?. එහෙම නම් කමක් නැහැ."
අකැමැත්තෙන් ඇගේ තොරතුරු අහන්න මට සිත් දුන්නේ නැහැ.
" නැහැ, මම කැමතියි කියන්න. මමත් දන්නේ නැහැ මට එහෙම වුනේ ඇයි කියලා. මගේ වයස දැන් පනස් දෙකයි. වින්නඹු සේවිකාවක් විදියට වැඩ කලා. අවුරුදු විසි දෙකේ ඉඳලා දෙමව්පියෝ සහෝදරයෝ මට විවාහ යෝජනා හෙව්වා. ඒත් ... ඒ එකක් වත් හරි ගියේ නැහැ."
තවමත් ඇය කෙරෙන් ළඳකගේ සොඳුරු බව දක්නට ලැබෙයි. එසේනම් විවාහයක් හරි නොගියේ ඇයි?
"ඒ කියන්නෙ තවමත් ඔයා අවිවාහකද?"
" ඔව්, නීතියෙන් අවිවාහක. විවාහ වෙන්න නොලැබුනේ මගේ කේන්දරේ ප්‍රශ්නයක් නිසා. ඒකට ගැලපෙන එකම කේන්දරයක් වත් ලැබුනේ නැහැ. කේන්දර නොගැලපී විවාහ වෙනවට ඒ අය කැමති වුනේ නැහැ. අන්තිමට මට විවාහ හෙවිල්ල ඒ අයටම ඇතිවුනා. ඔහොම ගිහින් බැරි තැන අවුරුදු හතලිස් හයේදි මමම එකක් මගේ කැමැත්තට හොයා ගත්තා."
"ඉතින්, ගෙදරින් ඒකට කැමති වුනාද?"
මගේ ප්‍රශ්නයට ඇය නිහඬය. අසරණ බැල්මකින් මදෙස බලා සිටී.
"කියන්න විදියක් තිබුනේ නැහැ. එයා බැඳපු කෙනෙක් බව දැන ගන්න කොට මට ළමයෙක් ලැබෙන්න හිටියේ. කොහොම කියන්නද?. අන්තිම වෙන කම් එයා හැම දෙයක්ම හැංගුවා. ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියල දැන ගත්තම මාව මග හැරලා යන්න ගියා."
දෙනෙත් අග නැගුන කඳුළු පිසලමින් ඇය මදෙස බලයි.
"ඉතින්...?"
"විවාහ නොවී ළමයෙක් ඉන්න එකේ පල විපාක නෝනා දන්නවනේ. ගෙදරට මුහුන දෙන්න, වගේම ඒ අයට වෙන ලැජ්ජාව ගැන මම ලොකු බයකින් හිටියේ. ඒ වෙන කොට  ළමයා ඉපදින්න කලින් නැති කරන්න විදියක් තිබුනෙත් නැහැ. අන්තිමට කාටත් හොරෙන් ළමයා ලැබෙන කොට ......"
ඇය ඉකි බිඳියි.
" .....ළමයා මගේ අතින් නැතිවුනා. මම මොනව කරන්නද? ඒ වෙලාවෙ මට ඇතිවුන දුක, වේදනාව ලැජ්ජාව අනිත් හැම දෙයක්ම යට කර ගෙන ආවා. ඒත් වැරදි කරලා ගැලවෙන්න බැහැනේ. අන්තිමට ඒක එලි වුනා."
"මොනව කරන්නද? දැන් හිත හදාගන්න. මේ දඬුවම් කාලේ ඉවර වුනාම ඔයාට ගෙදර යන්න පුළුවන්නේ." මගේ ඒ වචන වලින් ඇගේ දුක නොනිවෙන බව වැටහුනද මම එසේ කීමි.
"ආයෙමත් මට එහේ යන්න බැහැ. අය්යලා ඒකට කැමති වෙන එකක් නැහැ."
පිළිසරණයක් අයදිනසේ ඇය මදෙස බලයි. මම සිතමි. 
වැ‍රැදී ඇත්තේ කොතනද? 
සමාජ සම්මතයන් අතර හිර කල ඇය, ස්වාභාවික ආශාවන්ට යටවීම වරදක්ද?. 
ඇය ‍රැවටූ "ඔහු" ට මෙහි වගකීමක් ඇත්තේම නැතිද?. 
දඬුවම් දිය යුත්තේ අවසාන වරදට පමණක්ද?. 
පව් කාරයාට පමණක් ගල් ගසා සතු‍ටු වෙමුද?
මේ සියල්ල සිදුවන්නේ මේ අති උතුම් දහම් දිවයිනේමය.

Wednesday, November 3, 2010

"අවවාදයයි"

නවතන්න දැන්වත්
ඔය හැංගිමුත්තම
ඉරි තැලී ලේ ගලන
මා එක්ක සෙල්ලම

ඔය දඩබ්බර කමෙන්
නොමිදුනොත් දැන්මම
කෑලි අහුලන්න වෙයි
හදවතයි නුඹෙ මම

Monday, November 1, 2010

"කියන් මට"

ලෙච්චමී මං  කඳවුරේ බිම
ඉන්න හිස් බැල්මෙන්
කම්බි වැට ලඟ  දරු පැටව් ටික
තවම සාගින්නෙන්

යුද්දෙ ඉවරලු සාමිනේ
වෙඩි හඬ ඇහෙන්නෑ දැන්
යුද්දයක මගෙ හිත තවම
ගිනි ගින්දරක් මැද්දෙන්

ඉන්න ගෙපැලක් ලැබී
කූඩාරමෙන් යා හැකි නම්
දරු පැටව් හාමතේ නොතබමි
අත් දෙකේ හයියෙන්

ජීවිතේ අත් දෙකින් අරගෙන
ගින්දරක් මැද්දෙන්
ආවෙ පුදුමාතලන් පසුකර
දෙපා වල හයියෙන්

නින්ද යන් නෑ තුන් යමේ මට
කන්ද සාමිනි දැන්
මං ලඟින් සිටි මගේ අත්වැල
බින්දෙ මොන හිතකින්

අනේ පින් ඇති මහතුනේ
මේ ගින්දරේ නිවමින්
මෙන්න වැන්දා කියන් මට මගෙ
සින්න සාමි කොයි ???

Friday, October 29, 2010

"සොයමි"

..... බුදු පියාණෙනි .....
වෙහෙසයි බොහෝ මට
ක්ලාන්තය දැනේ
විඩාවට පත්වී ඇත
 
........පිහිට වුව මැන ........

ජීවිතය දීර්ඝය
කලුවර ‍රැයක් මෙනි
ආලෝකය කොහිද  ...?
සොයමි මම

Thursday, October 28, 2010

"ගිලන්වූ මතකයන්"

සිහිල් නුග සෙවනක්ව
සිසිල දුන් මා සිතට
ඔබ කොහේ සැඟවුනිද
දැනෙයි පාලුව සිතට

සුනිල දිය දහරක්ව
ලඟින් සිටි ඔබ කොහිද
නිවෙන්නට නෙතු කඳුලු
දකින්නේ කවදාද ...?

ගිලන්වී ගත සිතද
අතරමංවී හිඳිමි
නෑවිදින් යලි මවෙත
සැඟව ඉන්නේ මංද ....?

කඳු ශිඛර නිල් අහස
වන දුර්ග සතර දෙස
සොයමි යලි දකින්නට
ඔබේ ඔය සිනා වත

ජීවිතයෙ පාලමෙන්
එතෙරවී ලඟින් හිඳ
සිනාසෙන්නට වරම්
ලැබෙන්නේ කවදාද ..... ?

Wednesday, October 20, 2010

"නොහඬන්න"

උකුල් ඇටයෙන් උපන්
දෙවැනි පෙල ගැහැණියැයි
කියා ගරහන එවුන්
වෙත දෑස් නොහෙලන්න

යටි අරුත් නොම දන්න
උන් කියන බස් අසා
ප්‍රිය සොඳුර මේ ලෙසින්
වැලපීම නවතන්න

ඔබ මගේ සිරුරේම
කොටසකැයි සිතෙන විට
හැ‍ඟෙයි මට කොයිතරම්
සමීපද ඔබ ඉතින්

මගේ සිරුරෙන් උපන්
බැවින් එය කියා දෙයි
පියෙකුගේ සෙනෙහසින්
ඔබ ‍රැකිය යුතු බවක්

මගෙම කොටසක් බැවින්
මගේ සිරුරට මෙන්ම
ආදරය කරන මම
"ආදම්"ය ඔබ "ඒව"