Friday, April 30, 2010

සඳක් වී


සිතාරය වී මගේ හද තුල
වැයෙන්නට ඔබ පෙරුම් පිරුවත්
ගයා නිම කළ ගීතයකි මම
නැවුම් බව එහි නෑ

සඳක් වී ඔබ මගේ ලෝකයෙ
දිලෙන්නට හිමි වෙතැයි සිතුවත්
අමාවක නම් මගේ හද තුල
කිසිදු එලියක් නෑ

ගඟක් වී මට සිසිල සදමින්
ජීවිතය තුල ගලා යන්නට
පැතූවත් ඔබ වියලි පොලවට
එයින් කිසි පල නෑ

සිනාවක් වී  කඳුළ වියලන
පහන් සිල වුව හදේ දැල්වුන
කතා කරනා ඔබේ ලෝකෙට
එන්න අවසර නෑ

Thursday, April 29, 2010

මහාචාර්යවරයා සහ සිසුවා


පිළිතුරු පත්‍රය බොහෝ වැරදි වලින් ගහනය. සිසුවාගේ දෑස් කඳුලින් පිරී ඇත. මුහුනේ කලකිරීම දෝරේ ගලයි. මහාචාර්යවරයා සිනාසෙයි.
" ගුරුතුමනි, ඔබ සිනාසෙන්නේ මටද? ඔබ මහාචාර්ය වරයෙකි. ඔබට වැරදෙන්නේ නැත"
" නැත, ඔබේ අදහස වැරදිය. මටද වැරදී ඇත. තවමත් වරදී. එහෙත් මා ඒ සියල්ල මට ලැබුනු ආශිර්වාදයන් සේ සලකමි. මම මට වැරදුනේ කොතනදැයි සොයමි. ඒ වැරදීම් වලට හේතුව සොයමි. නැවත එය නොවරදින්නට කළ හැකි අයුරු විමසා බලමි. මට සිනහා ගියේ ඔබ වැරදීම් වලට දැක්වූ ආකල්පයටය. මතක තබා ගන්න. මගේ ආකල්පය මා මහාචාර්ය වරයකු කළේය."
පි‍ටුපා යන ඔහු දෙස සිසුවා බලා සිටී. ඇත්තෙන්ම ඔහුට එය සුදුසුය.

Tuesday, April 27, 2010

පිඹුරන්ගේ ලෝකය


අහිංසකයන්ගේ ජීවිත සිහින
අනුකම්පා විරහිතව
ගිල දමන ...........
ලතෙත් බව සිඳුනු
පිඹුරන්ගේ ලෝකය


මෙය සියලුම වර්ගයේ පිඹුරන්ට අදාලය.

Saturday, April 24, 2010

චන්ද කින්නරී


පිච්ච මල් පිහා‍ටුව උඩ
සප්ත ගිරි ශිඛර පාමුල
චන්ද කින්නරී කුමරිය
මන්ද වළපිනේ

වංක ගිරි හිමව් කුස තුල
සිද්ද වුන විපත් දැක දැක
සක්‍ර දෙවියනුත් අද නැත
කිම්ද මේ වුනේ

අන්න අර බලන් සකිසඳ
කින්නරා හිඳියි නුබ කුස
වන්දනා කරන සිත ලඟ
සුර්ය දෙවි ලෙසේ

අන්ධ වූ අතිර සසරෙහි
වින්ද දුක් ඉතින් නම් ඇති
යන්න එතෙර වී සසරින්
කින්නරී මගේ


මෙය අප රටේ වෙසෙන සියළුම චන්ද කින්නරියන් වෙනුවෙනි. යුද්ධය සහ වෙනත් නොයෙකුත් හේතුන් නිසා සඳ කිඳුරියන් සේ සිතින් වැලපෙන සිය දහසක් ළඳුන් අපට අමතකය.  තම ලබැඳියන්ගේ ජීවිතය ඉල්ලා හැඬූ ඔවුන් සැනසීමට එදා මෙන් සක් දෙවිඳු නාවේය. එහෙත් ඉර පායන සෑම දිනයකම තම කඳුළු සිත තුල සඟවා ඔවුන් දිරියෙන් ජීවිතයට මුහුන දේ. ඒ සියලු චන්ද කින්නරියන්ගේ සිත් සුවපත් වේවායි අපි එක්වන්ව පතමු.

Friday, April 23, 2010

මගේ දෙවියන්

මගේ හැම සැප දුකම සම සිතින්        දරමිනා
සෙවනැල්ල වගේ මා පසුපසම      ගැවසෙනා
කඳුළු පිසලන ඇසේ හිතට නිවනක්      වෙනා
වෙන කවුද ඔබම හැර දෙවියන්ව   ගැවසෙනා

අපහාස උපහාස සුළඟ සැඩ වෙස්         අරන්
වියරු වෙයි විටෙක හිත් අහස දෙවනත් කරන්
දනිමි මේ ලොව එකම එක හිතක් මා   නමින්
පවතිනා බව බියක් කුමට වනුදෝ       ඉතින්

ගිලන්වී සිටින කල නිදි නැතිව මා      රකින
වරදකට කිසි විටක ඉඩක් හසරක්   නොදෙන
ඔය දෑස මා යනෙන සියළු මඟ තනි    රකින
දයාබර මවුනි ඔබ දෙවියන්ය මට       සිටින
 

Thursday, April 22, 2010

දෝණි

පොඩි දෝණිගෙ මල් හිනාවෙ
ගලා හැලෙන ගී සද්දෙට
වක්කඩ ලඟ තිත්ත පැටව්
උඩ පනිනව එක පොදියට

තිත්ත මලේ කහ පාටට
ගවුම් පොඩිය ඇඳ නැ‍ටුවට
පාන් කිරිත්තෝ තාලම්
ගහන්නෙපා මහ සද්දෙට

බොරු තරහක් හිතේ මවන්
කතා නොකර දැන් හිටියට
කොක්කු රෑන වගේ ඉතින්
සිල් රකින්න බැහැනෙ ඇයට