-->

Saturday, August 13, 2011

"සැඟව ගිය පුද බිම"

සෙංකඩගලපුර  වීදි සරසමින් දළදා පෙරහැර ඇදෙයි. සාධු නද කඳු වළලු සිසාරා පැතිරෙද්දී දළදාව සෙංකඩගල පුරවරයට පැමිනෙන්නට පෙරාතුව වැඩ හිඳි පන්සල ගැන මගේ මතකය අවදි වෙයි. බොහෝ කලක සිට මේ පිළිබඳව ලියන්නට සිතා සිටි මුත් එය අතපසුව ගියද කල් නොයවා මෙය නිම කල යුතු යැයි මට සිතුනි. මෙහි සඳහන් කරුණු මා උකහා ගනු ලැබූවේ 1888 ජූලි 26 වැනිදා සිට දෙසැම්බර්. 28 වැනිදා දක්වා මැද මහනුවර රාජකීය නගරය පිළිබඳව ජේ එම් එස් හැමිල්ටන් මහතා විසින් කළ ඓතිහාසික පරීක්ෂණයෙන් පසු ඔහු විසින් ලියන ලද වාර්තාවේ සිංහල අනුපිටපත ඇසුරෙනි.
මහනුවර දළදා මාළිගයට දළදාව වැඩම කර වන්නට පෙර එය තැන්පත් කොට තිබී ඇත්තේ පුරාණ රජ මහා විහාරයක්වූ මැද මහනුවර පන්සලෙහිය. ඉහත සඳහන් පැරණි වාර්තාවෙහි පිටපතක් මට ලැබුනේ එම පන්සලෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙනි.

 මැද මහනුවර පිහිටා ඇත්තේ මහනුවර - මයියංගනය මාර්ගයෙහි කරල්ලියද්ද නගරය පසු කළ විට හමුවන ඌරුගල සිට ගුරු ඔය දෙපස සැතපුම් 1ක් පමන දුර ප්‍රමාණයක් තුළය. හැමිල්ටන් වාර්තාවට අනුව ක්‍රි. ව. 1840 දී පමණ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මැදසිය පත්තුව, දකුණ උඩසියපත්තුවෙන් වෙන් කරන ලද්දේ ගුරු ඔයෙනි. මැදමහනුවර යන නාමය මෙම රාජකීය නගරය පිහිටි පාලන කොට්ඨාශය වන මැදසිය පත්තුව යන අර්ථයෙන් හෝ මෙම නගරය අළුත් නුවරටත් සෙංකඩගල නොහොත් මහනුවරටත් සම මධ්‍යයේ පිහිටි නිසා හෝ ලැබෙන්නට ඇතැයි මෙහි දක්වා ඇත. දුම්බර පිළිබඳ එතිහාසික තොරතුරු අලලා සම්පාදනය කර ඇති පැරණි පොත් වල මෙම රාජකීය නගරය "මැදසියපත්තු නුවර" නමින්ද හඳුන්වා තිබේ.
මැදමහනුවර පිහිටා තිබුන රාජකීය මාළිගයක විස්තරද මෙම වාර්තාවේ අඩංගුය. ඊට අනුව මෙම මාළිගය ක්‍රි. ව. 1706 - 1739 අතර කාලයේදී ශ්‍රී විජය රාජසිංහ රජු හෝ "කුන්ඩසාලේ කුමාරයා" ලෙස පරසිදු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් හෝ සාදවන්නට ඇතැයි සඳහන්ය. කනගා‍ටුවට කරුන නම් මෙම විහාරස්ථානයට මෑතක ගිය කළ මාළිගය තිබුනා යැයි සැලකෙන ස්ථානයේ  එය ගොඩ නැංවූ ගල් කිහිපයක් හැරෙන්නට වෙනත් නටබුන් කිසිවක්ම දක්නට නොලැබීමය. එම ප්‍රදේශය දැනට කුඹුරක්ව පවතින අතර පුරා විද්‍යා දෙපාර්තමේතුවේ අවධානය යොමු නොවුන හොත් එම ගල් ගොඩැලි පවා සොයා ගැනී අපහසු වනු ඇත. මාළිගයට පහලින් ගුරු ඔයෙහි ඉවුරක රජු හා දේවීන් ස්නානය කළා යැයි සැලකෙන ස්ථානය අදද දැකිය හැකිය. මැද මහනුවර පන්සල පිහිටා ඇත්තේ මෙම මාළිගයෙහි නටබුන් ආසන්නයේම වන අතර හැමිල්ටන් වාර්තාවට අනුව දළදා වහන්සේ මැද මහනුවර තැන්පත් කරන ලද්දේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේය. එකළ දළදා වහන්සේ තැන්පත් කළ විශේෂ කරඬුව තවමත් මෙම විහාරස්ථානයෙහි තිබේ. හැමිල්ටන් වාර්තාවට අනුව මෙම කරඬුව පෘතුගීසින් විසින් විමලධර්මසූරිය රජුට තෑගි දුන් එකකි. දළදාව වැඩ සිටි සමයේ මෙම විහාරස්ථානය වන්දනාකරුවන් බෙහෙවින් ගැවසුන ස්ථානයක්ව පැවතියද අද වන විට එය අභාවයට යමින් පවතින පුද බිමක් බවට පත්ව ඇති යැයි මට හැඟුනි. "මඩමේ වත්ත", "ඉරහඳ කෙටූ ගල" ආදී වෙනත් ඉපැරණි ස්ථානද මේ ආසන්නයේ පිහිටා ඇති බැවින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මෙම ස්ථානයට වහා යොමු විය යුතු නොවේද?.

3 comments:

  1. හ්ම්....මේ වගේ ස්ථාන අපේ රටේ කොච්චර ඇද්ද

    ReplyDelete
  2. මේ විදිහෙ ඓතිහාසික වටිනාකමකින් යුතු වුවත්, අප නොදන්නා තව කොපමණ තැන් තියෙනවද? ස්තුතියි මැණික්, පින්තූරත් සමගින් මේ තොරතුරු මෙහි බෙදාගත්තාට

    ReplyDelete
  3. අපේ තාත්ත මැදමහනුවර මහා විද්‍යාලේ උගන්නන කාලේ මාව මේ පන්සලට එක්කගෙන ගියා හරිම අපුරු තැනක්..

    ReplyDelete