හිටි ගමන් ඇද හැලුන ගත්ත පොද වැස්ස යට ඇයත් ඔහුත් නිශ්ශබ්ද කාලාන්තරයක. අහන්න ඇගේ යටිහිත මුමුනන මේ ගීය.
අහන් ඉන්න........... අහගෙන... ඉන්න.
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේනු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා
සිලි සිලියේ හමන සුලඟ
කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි අහන් ඉන්න අහගෙන ඉන්න මගෙ හිත මොනවද මුමුනනවා
මේ ගීතය ගැන මගේ මිතුරෙක් ගෙන් ලැබුන විචාරයයයි මේ. ඉතින් මට හිතුනා ගීතයත් එක්කම ඒ විස්තරයත් ඔබට දෙන්න.
"මේ ගීතය අලුත් පරපුරේ ගීත අතරට පැමිණි උසස් මට්ටමේ වින්දනීය ගීතයක්. ගායනා කරන්නෙ මේකලා ගමගේ කියන නව ගායිකාවක්. පද රචනය කරල තියෙන්නෙත් මීට පෙර ගීත රචනා නොකල රචිකාවියක්. ඒ වගේම සංගීතයත් ගීත ක්ෂේත්රයේ මීට පෙර හරියට නමක් නොකියවුණ සංගීතවේදියෙක්ගෙ. මේ මේකලා ගමගේ කියන ගායිකාව අන්ධ කෙනෙක්, ඇඹිලිපිටිය පැත්තෙනුත් එහා දුර ප්‍රදේශයක. ඒත් ඇය ආබාධිත අයට උගන්වන පාසලකින් බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගත්ත අයෙක්. ඇය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරුණත් ඇයට සංගීත අංශයෙන් ඉගෙන ගන්න ඉඩ දීල නෑ ඇය අන්ධ නිසා සංගීතයේ එන යම් යම් ස්වර ප්‍රස්ථාර වැනි දේවල් බ්‍රේල් ක්‍රමයට නෑ කියල. ඒත් ඇයගෙ දක්ෂතාවය හඳුනාගත් කෙනෙක් තමයි "අහන් ඉන්න... අහගෙන ඉන්න" කියන ගීතය කෙළින්ම ගායනා කරවල තියෙන්නෙ. ඉතින් ඇයගේ ගායන හැකියාව ඉහළයි. මේ ගීතයේ එතරම් සුමට නොවන පද ගැලපුම ඇය ගීතවත් කරල තියෙන්නෙ ඒ ඉහළ ගායන හැකියාව නිසයි. මෙතෙක් ඇය ගායනා කරල තියෙන්නෙ ගීත දෙකක් පමණයි වගේ. ඒත් ඒ දෙකේදීම ඉස්මතු වෙන්නෙ පද රචනයේ සුමට බවට වඩා උසස් ගායන විලාසය විසින් ගීතය ජීවත් කරනවන බවයි. ඒ සඳහාම අපූරු සංගීත නාද සංකලනයක් මේ සංගීතවේදියා යොදාගෙන තියෙනව. අඩු සංගීත භාණ්ඩ ප්‍රමාණයකින් යොදාගෙන ඉතාම සියුම් ගීතවත් සංගීතයක් තමයි මේ ගීත වලට මුසු කරල තියෙන්නෙ. මමනම් හිතන්නෙ සංගීතවේදියෙක් ගායකයාගේ හෝ ගායිකාවගේ කටහඞ, ගායන විලාශය හඳුනාගෙන ඊට සරිලන විදියට සංගීතය මුසු කිරීම තමයි ඉතාම සාර්ථක වෙන්නෙ. කොහොම වුණත් මේ ගීත දෙකේ සංගීතය එහෙම මුසු වුණාද මම දන්නෙ නෑ. ඒත් සංගීතය විසින් මෙහි ගීතය අයිතිකර ගැනීමට වඩා ගායනයට මියුරු සහයක් දක්වන බව තමයි මට හැගෙන්නෙ. නව පරපුරේ ඝෝෂාකාරී ගායනයන්ට, සංගීතයන්ට ලොල් නොකරන නව පරපුරේ රසිකයන්ට මේ ගීත දෙකම හොඳ රසාස්වාදයක් ගෙන එනව. කොහොම වුණත් මේ කවුරුත් ආරම්භයෙන් පසු තමයි සියල්ලන් අතරම ජනප්‍රිය වෙන්න ගිහින් තමන්ගෙ හැකියාව විනාශ කර ගනිමින් ආප්ප හදනව වගේ සිංදු කියන්න හදන්නෙ. කොහොම වුණත් අන්ධ බව කියන එක බොහෝ සියුම් දේවල් වලට උපත ලබා දෙනව. සාමාන්‍ය ඇස් පෙනෙන අයට වඩා අන්ධ අය සංගීතයේදී වගේම තවත් බොහෝ කලා ක්ෂේත්රවල ඉහළ හැකියාවක් දක්වනව. ඒක තමයි ඔවුන්ගෙ මුඵ අවධානයම කෙළින්ම ඒ වෙත නාභිගත වීම. ඒ නාභිගත වීම සම්පූර්ණ නොකරන්න පෙනෙන ඇස් හේතුවක් වෙනව."
ගීතය වගේම විචාරයත් අපූරුයි නේද. ගීතය අහන්න මෙතනින්.